ඡ්‍යොතිෂය තිරශ්චීනය

අප්‍රේල් 19, 2024

 

අලුත් අවුරුද්දේ අලුත් සිතිවිලිවලින් අනූනව ඉදිරි කාලය පිළිබඳ සිතීමට අපි සූදානම් වී ඇත්තෙමු. සියලු දෙනා සුබ පැතුවේ සතුට සැපත සෞභාග්‍යය නීරෝගි බව සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා කියාය. එය අප සිත් සතන්වල නව ජවයක්, උද්යෝගයක් ඇති කිරීමට සමත් විය.

මේ අතර කිසිවකු අපට නිවන් දකිත්වා කියා පැතුවේ නැත. අති බහුතරයක් බෞද්ධ ජනතාව සිටින රටක වුව එසේ පැතුවා නම් අපට පළමුව ඇති වන්නේ ළඟ එනු ඇතැයි සිතෙන මරණ බියක් සහිත හැඟීමකි. එහෙත් නිසි අයුරින් නම් අප අඩුම වශයෙන් පැතිය යුත්තේ නිවන් අවබෝධ වෙත්වා හෝ නිවන් මඟට පිවිසිය හැකි සත්‍යාවබෝධය ලබන අලුත් අවුරුද්දක් වේවා කියා නොවේද? එයට අප බිය විය යුතුද? නැත එවන් සුබ පැතුමක් කිරීමට සහ ලැබීමට තරම් වාසනාවක් අපට නැති වීම කෙරෙහිය අප බිය විය යුත්තේ. එයට හේතුව පෘථඞජන අප කෙතරම් පින් දහම් කෙරෙහි උනන්දු වුවද එයින් අප බලාපොරොත්තු වන්නේ මේ භවය හැකි තාක් සැපවත් වීමත් මතු උපදින භවයක් පාසා දුකක් නොලැබීමත් මතු සසරේ අප නොදන්නා භවයකදී නිවන් අත්කර ගැනීමටත් හැකි තරම් පින් රැස් කිරීමත් නිසාය.

ඒ කෙසේ වෙතත් මේ භවය දුකින් ගත කිරීමට අප කිසිවකු ප්‍රිය කරන්නේ නැත. එනිසා කණ කැස්බෑවා විය සිදුරින් පුර සඳ දකින්නා සේ අපහසුවෙන් ලද මේ මිනිස් භවයේ නිදුක් නිරෝගීව, සැප කෙසේ වෙතත් අඩුම තරමේ දුකක් නැතිව සිටීම සැම ගිහියකුගේම අභිප්‍රාය වීම වරදක් නොවේ. වරද ඇත්තේ ඒ තදබල අවශ්‍යතාවයෙන් සිටින අතර එයට උපකාර වන දෑ කෙරෙහි දක්වන ආකල්පයය. එය සැබැවින්ම ළිඳෙන් වතුර බී එයට ගල් ගැසීම වැනිය. යන එන මං නැතිව ගහේ එතී ගිය වැල ගස මරා දමන පිළිලයක් වීම වැනිය.

ලෞකික ජීවිතයේ අපට ඇති බොහෝ දුෂ්කරතා මඟ හරවා ගන්නේ මිනිසා විසින් භාවිතය ගන්නා විවිධ ශාස්ත්‍ර සහ විද්‍යා මඟිනි. ඒ අතරින් පෙරදිග විද්‍යාවලට ඇත්තේ බටහිර විද්‍යාවන්ට වඩා බොහෝ ඈතට විහිදෙන අතීතයකි. ඒ උරුමයන්වල වටිනාකම හඳුනාගත් බටහිරයන් ඒවා සොරා පැහැරගෙන ගොස් අලුත් දේ ලෙස අපටම ඉදිරිපත් කළේ යටත් විජිතවාදය සමඟ පැතිරුණු අනෙක් බොහෝ දෑ සේම මොළ ශෝධනයත් සමඟිනි. හේතුඵල දහමට අනුව හේතුවට පිළියම් කරන පෙරදිග ක්‍රමයට වඩා පලයට පිළියම් කරමින් ඉක්මන් පැලැස්තර යොදන බටහිර ක්‍රමයේ ඇති පහසුව මේ මොළ ශෝධනය ද තවත් ලේසි කළේය. ඒවා හිස මුදුනේ තබාගත් කළු සුද්දන් බුදු හිමියන් දෙසූ දහම ද තමන්ට ඕනෑ අයුරින් අර්ථ කථනය කොට දක්වන්නේ මේ යුගයේ ඇතැම් මාධ්‍ය නාළිකාවල පුද්ගලයන්ගේ ප්‍රකාශවලින් තමන්ට අවශ්‍ය කොටස පමණක් ගෙන තමන්ගේ මතය හුවා දක්වන්නට යොදා ගන්නා ලෙසින්මය. ඡ්‍යොතිෂ් ශාස්ත්‍රය, බටහිර හෝ පෙරදිග වෛද්‍ය විද්‍යා වර්ග, අංක විද්‍යාව, වාස්තු ශාස්ත්‍රය, හස්ත රේඛා ශාස්ත්‍රය ආදි සියලු විෂයයන් තිරශ්චීන යැයි බුදුන්වහන්සේ දෙසූ බව කියමින් ළිඳට ගල් ගසන බොහෝ දෙනා පිපාසයට දිය බොන්නේ ඒ ළිඳෙන්ම බව ප්‍රසිද්ධ රහසකි. ඔවුන් තිරශ්චීන යන්නෙහි යොදා ගන්නේ එක් අර්ථයක් පමණි. ඒ සිවු පා සතුන් යන්නය. එනයින් ගෙන මේ ශාස්ත්‍ර හා විද්‍යා තිරිසන් සතුන් වෙනුවෙන් භාවිත කරන්නක් පමණක් වන නිසා මනසින් උසස් මිනිසුන්ට නොවටී යැයි කියා මහා විදවත්බවක් මවා පාන්නට ඔවුන් වෙහෙස ගනු පෙනේ. එය ස්නේහය යනු තෙල් යැයි අර්ථ කථනය කරන්නාක් මෙන් පටු අදහසකි. සකු බසෙන් බිඳී එන වදන්වල පමණක් නොව ඉංගිලිසියෙන් හෝ වෙන යම් ඕනෑම බසකින් කියන වචනයට තවත් බසකින් ඇත්තේ එක අරුතක් පමණක් නොවේ.

තිරස්චීන නැතහොත් තිරච්ඡාන ආදි වචනවලින් හඳුන්වන්නේ මෝක්ෂ මාර්ගයට හරස්ව යන, මොක් සුව අවහිර කරන අංගවිද්‍යා අදිය බව සුමංගල ශබ්ද කෝෂයෙන් පවා දක්වා තිබේ. ඊට අමතර සිවුපාවුන් ආදි සතුන්ට ද මෝක්ෂය බොහෝ දුර බැවින් තිරිසනුන් ලෙස හඳුන්වයි.

එසේ ගත් කල වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ඡ්‍යොතිෂය, වෛද්‍ය විද්‍යා, අංක, සාමුද්‍රිකා, වාස්තු වැනි සියලුම විෂයයන් පමණක් නොව නවීන විද්‍යාව ද තිරශ්චීන ධර්මයන්ය. හේතුව ඒවා අපට මෝක්ෂ මාර්ගය අවහිර කරන බැවිනි. කෙසේද? මේ ලෞකික ජීවිතයේ දුක අපට දුරස් කර දෙන්නේ ඒ විෂයයන් මඟිනි. අපි රෝගී බවේ දුක අවබෝධ කර ගැනීමට වඩා ඉන් මිදීමට වෛද්‍ය විද්‍යාව උපයෝගී කර ගන්නෙමු. අපට ඇතිවන උවදුරු කලින් හඳුනාගෙන ඒවායින් මිදීමට හෝ බේරී සිටීමට අනෙක් ශාස්ත්‍රයන් ආධාර කර ගන්නෙමු. විද්‍යාවේ දියුණු අංගවලින් ඒ ක්‍රම ද පහසු කර ගන්නෙමු. එවිට අපට දුක අවබෝධ කර ගැනීමේ අවස්ථාව අවම වේ. භව දුක අවබෝධ වීම දුරස් කරන තරමට මොක්ෂ මාර්ගය අවහිර වේ. තව තවත් සංසාරය දිගු කර ගැනීමට සිත් වේ. එනිසා මේ ලෞකික සුව සදන සියලු දහම් තිරස්චීන හෙවත් මෝක්ෂ මාර්ගයට හරස් කපන ධර්මයන්ය. බුදුහිමියන් දැන වදාළේ ඒවා පිළිබඳ අවබෝධයෙන් භාවිත කරන ලෙස මිස උදෑසන ලූ කෙළ පිඩක් මෙන් ඉවත ලන ලෙස නොවේ. ලෞකිකත්වය විඳීමට, භෞතික දියුණුවට කැමැති ලෝ වැසියෝ මේ විෂයයන්ගේ උපරිම පල නෙළා ගනිති. විභාගයට හොරෙන් පාඩම් කර යාළුවන් වළ බස්සන අය මෙන් ඇතැම්හු මේවා හොරෙන් ප්‍රයෝජනයට ගෙන තම දියුණුව සකසා ගනිති. විමසුම් ඇසින් තොරව යමෙකු කී පමණින් දේවල් පිළිගන්නා අය විභාගය අසමත් වෙති. එනිසා ඡ්‍යොතිෂය තිරස්චීන දහමකි. මේ ලැබූ ජීවිතයේ දියුණුව ලබන්නට උපකාරී වන මාර්ගයකි. මධ්‍යම ප්‍රතිපදාවේ සිට මේ සියල්ලේ නිසි ප්‍රයෝජනය ගෙන ලැබුවා වූ වසර සරු කර ගැනීමට වාසනාව උදා වේවා!

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.