වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
විදු ඇසට නොපෙනෙන ආභස්සර බඹ ලොව
මෑතක කරන ලද විද්‍යාත්මක පර්යේෂණයකින් ජීවය, විශ්වය පුරා ඇසට නොපෙනෙන, ඉතා සියුම් අංශු ලෙස විසිරී ඇතැයි මතයක් ප්‍රකාශ කර තිබේ. එයින් ඔවුන් කතා කිරීමට බලාපොරෝත්තු වන්නේ ජීවය ක්ෂීරපථය පුරා වෙන වෙනම ග්‍රහලෝකවල පවතින්නේද? නැත්නම් වෙනත් ස්ථානවලත් විසිරී පවතින්නේද යන්න සොයා බැලීම පිළිබඳවයි. ඔවුන් පවසන අන්දමට ඒ පර්යේෂණය මඟින් විශ්වීය දුහුවිල්ලක් ලෙස මේ ජීවය සරල ප්‍රාථමික සෛලයක් වැනි යමක් ලෙස පැවතිය හැකිය. ඒ සරල ජීවය වසර බිලියන 3.5ටත් වැඩි කාලයක සිට පෘථිවියේ පවතින්නට ඇත. එහෙත් එය උත්පාදනය වී ඇත්තේ පෘථිවිය මත නොවන බවද ඔවුන්ගේ පර්යේෂණයේ විශ්වාසයකි. වෙන කොහේ හෝ නිෂ්පාදනය වූ ජීවය පරාග සුළඟේ පාවෙන්නා වැනි ක්‍රියාවලියකින් විශ්වය පුරා පැතිර ඇති අතර ඒ වන විට තරුණ වියේ පසු වූ පෘථිවියෙහි එය රෝපණය වන්නට ඇතැයි 2024 වන විට ඔවුන් විශ්වාස කරන්නට පෙලැඹී ඇත.
ඒ සමඟම ලොව පළමු වරට කළ තවත් සොයා ගැනීමක් ලෙස විද්‍යාඥයන් පිරිසක් පවසන්නේ පෘථිවිය සූර්යයා වටේ ගමන් කරන කක්ෂය අතීතයේ ගමන් කළ කක්ෂයට වඩා වෙනස් වී ඇති බවත් එය දිගු කාලීනව තව තවත් වෙනස් විය හැකි බවත්ය. එය පෘථිවියේ කාලගුණික හා දේශගුණික වෙනස්කම්වලට හේතු වන බව ද ඔවුහු පෙන්වා දෙති.
මේ අතර ගුරු ග්‍රහයා වටා ඇති චන්ද්‍රයන් 95 දෙනා අතරින් යුරෝපා නම් වූ චන්ද්‍රයා මත ප්ලැටිපසෙකුගේ හැඩයෙන් දිස්වන අයිස් කුට්ටිය විශ්වයේ තවත් ජීවීන් සිටීදැයි සෙවීමට ඇති හොඳම ස්ථානය බවටද දැන් නාසා ආයතනයේ විද්‍යාඥයන් තුළ අදහසක් මතු වී තිබේ.
අපට නොපෙනෙන ආලෝක වර්ෂ ගණනක් ඈත විශ්වයේ කොනක සිටින ජීවියකු පිළිබඳ විසි එක්වැනි සියවසේ සිටින විද්‍යාඥයන් තවමත් සොයමින් සිටියදී අග්ගඥ්ඥ සූත්‍රයේ ලෝකය සහ සත්ත්වයාගේ බිහි වීම පිළිබඳ පැහැදිලි කිරීම් ඉදිරිපත් කළේ මීට වසර දෙදහස් පන්සියයකටත් එපිට යුගයේදීය. පෘථිවියේ උපත පිළිබඳ මහා පිපිරුම ආදි මතිමතාන්තර ඔස්සේ විද්‍යාඥයන් දුවමින් සිටියදී සංවර්ත කාලය හෙවත් ලෝක විනාශයකදී එහි වෙසෙන බොහෝ සත්ත්වයෝ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙහි උත්පත්තිය ලබන බවත් ඔවුන් ඔපපාතිකව චිත්ත බලයෙන් ජනිත වූවන් වන බවත් ප්‍රීතිය ආහාර කොට ගෙන තම ශරීරයේ ආලෝකයෙන්ම එළිය ලබන ආකාශයේ සැරිසරන දීර්ඝායු ඇත්තෝ බවත් අග්ගඥ්ඥ සූත්‍රයේ පැවසෙයි.
ලෝකය නැවත වැඩෙන විවත්ත කල්පයෙහි ඒ ආභස්සරයෝ බඹ ලොවින් චුතව මෙලොව ඕපපාතිකව උප්පත්තිය ලබන්නේ සුපුරුදු පරිදි ප්‍රීතිය ආහාර කොට ගෙන තමන්ගේම ශරීරාලෝකයෙන් එළිය ලබා ගනිමිනි. ඒ වන විට මේ සක්වල ගණඳුරින් වැසී ගිය එකම ජලාශයකි. එහි සඳ හිරු තාරකා නැත. ස්ත්‍රී පුරුෂ භේද නැත. දිගු කලක් ගතවද්දී ඒ මහා ජලාශයේ මිදුණු මතුපිට රස ආස්වාද කරන විට ඇති වන තෘෂ්ණාව නිසා තිබුණු ප්‍රීතිය ද අලෝකයද නැතිව ගොස් අද පවතින තෘෂ්ණාධික මිනිසා දක්වා වැඩුණු ආකාරය ද ඊට සමානුපාතිකව විවිධ දේ ඇති වූ අයුරු මෙන්ම ඒවායේ ගුණාත්මකභාවය පිරිහුණු හේතු ද එහි සඳහන් වෙයි.
එසේ බලන කල යළිත් මේ නව විද්‍යාඥයන් ඇසට නොපෙනෙන ධූලි මෙන් වූ ජීවයක් යනුවෙන් සොයා යන්නේ ආභස්සරයන් පිළිබඳවදැයි සැකයක් මතු වෙයි. එහෙත් විවිධ හේතු මත මේ විද්‍යාඥයන් අග්ගඥ්ඥ සූත්‍රය හෝ ආභස්සරයන් පිළිබඳ පැවසෙන බුදු දහමේ කොටස් වෙත අවධානය යොමු නොකරන බවක් පෙනී යයි. පෘථිවියේ කක්ෂය වෙනස් වන්නේ නම් හා ගුරු ග්‍රහයාගේ චන්ද්‍රයකු මත ජීවීන් සිටිය හොත් ඒවායින් නිකුත් කරන කිරණවල මෙන්ම, පෘථිවි කම්පනයේ වෙනස්වීම් මත අනෙකුත් ග්‍රහතරුවලින් අපට ඇති කරන බලපෑම සොයා ගැනීමට ජ්‍යොතිෂය ශාස්ත්‍රය යොදා ගත හැකිවා මෙන්ම ඒ පිළිබඳ විද්‍යාත්මක ඇසකින් ඡ්‍යොතිෂ් ශාස්ත්‍රය දෙස බලන්නන් උනන්දු විය යුතු නොවේද?