වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
විස වෙද රෝහලෙන් විෂ වෛද්‍ය ග්‍රන්ථයක්
ගෙවීගිය අතීතය සිහිපත් කිරීම ඇයට සතුටකි. ඇගේ පියාගේ මෙන්ම ඇගේද අයෝමය ශක්තියෙන් ගොඩනැඟුණු විෂ වෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යාලය දිනෙන් දින ලබන දියුණුව මෙන්ම තම දැනුම බෙදා හදා ගනිමින් රටපුරා විසිරී යන විෂ වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සේවය හා දියුණුව මෙන්ම ආයුර්වේදය වටා ගොඩනැඟුණු දිවිමගේ ඇය නෙළූ අස්වැන්න දෙස බලා සැනසෙන්නට කරුණු කාරණා ඕනෑවටත් වඩා ඇය සතුය. මේ ගෙවී යන්නේ ඇගේ දිවියේ සුවිශේෂී කාල පරාසයකි.
තම පියාගේ ඇසුරේ සිටිමින් විෂ වෙද කලාවට වයස අවුරුදු 9 දී අත්පොත් තැබූ ඇය වර්තමානයේ කැලණිය විෂ වෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය අධිකාරිනිය සහ විදුහල්පතිනිය වන වෛද්‍ය විනීතා කල්‍යාණි පතිරාජයි. කුඩා කල සිටම අසරණ ගැමියන්ගේ ලෙඩ දුක් පිළිබඳ ඕනෑවටත් වඩා අත්දැකීම් ලද ඇය ආයුර්වේද වෛද්‍ය වෘත්තිය රැකියාවක් නොව සමාජයට වටිනා සේවාවක් ලෙසම සලකන්නීය. මේ නිසාම වසරක් පාසා සිය වෛද්‍ය විද්‍යාලයේ සංවත්සරය සහ එහි නිර්මාතෘවරයාගේ ගුණානුස්මරණය අරභයා ඇයත් ඇගේ සහෝදර වෛද්‍ය පිරිසත් ශිෂ්‍ය ප්‍රජාවත් එකතුව වටිනා සමාජ සද්කාර්යයන් දියත් කරන්නේ මහත් ඕනෑකමකිනි.
පසුගිය වසරේ සුබසෙත පුවත්පත සමඟ එක්ව ඡ්‍යොතිෂායුර්වේද සායනයක් සාර්ථකව පැවැත් වූ ඇය, මෙවර කැලණිය විෂ වෙද රෝහලේ 45වැනි සංවත්සරය වෙනුවෙන් වටිනා ආයුර්වේද ග්‍රන්ථයක් වන ‘ආයුර්වේද මූල ධර්ම සහිත විෂ වෛද්‍ය විද්‍යා ශිඛාමණී’ දොරට වැඩුමට නියමිතය. මේ ඒ පිළිබඳ වෛද්‍ය විනීතා කල්‍යාණි පතිරාජ මහත්මිය සමඟ යෙදුණු කතා බහකි.
කැලණිය විෂ වෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යාලයෙන් සිදු කරන්නට නියමිත සුවිශේෂී කාර්යය ගැන මුලින්ම කතා බහ කරමු?
කැලණිය විෂ වෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යාලයේ 45වැනි සංවත්සරය සහ එහි නිර්මාතෘ මාගේ පියා වන දිවංගත ආයුර්වේද වෛද්‍ය අමරවංශ පතිරාජ මහතාගේ 29වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් මා රචනා කරන ලද “ආයුර්වේද මූලධර්ම සහිත විෂ වෛද්‍ය විද්‍යා ශිඛාමණී” ග්‍රන්ථය දොරට වැඩුම දෙසැම්බර් මස 08වැනිදා පස්වරු 1.00ට කොළඹ තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී සිදුවෙනවා. එය තමයි මේ වසරේ විෂ වෙද රෝහල සහිත වෛද්‍ය විද්‍යාලයෙන් සිදුවන සුවිශේෂී කාර්යය වන්නේ.
මේ කෘතියේ අන්තර්ගතය පිළිබඳ දැනගන්නට කැමැතියි.?
මේ කෘතියෙන් ප්‍රධාන වශයෙන් කියැවෙන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අදාළ කරුණු කාරණායි. බොහෝ සෙයින්ම සියලුම පාරම්පරික වෛද්‍යවරුන්ට ආයුර්වේද වෙදකම් සම්බන්ධව විශාල දැනුමක් ලබා දීම මේ පොත රචනා කිරීමේ මූලික අදහස වූවා. මෙහි අන්තර්ගතය ගැන කතා කළොත්, ආයුර්වේදය වගේම ඊටත් එහා ගිය සර්ප විෂ විද්‍යාව පිළිබඳ කරුණු කාරණා ගැන විශාල විග්‍රහයක් ද මෙහි අන්තර්ගත වෙනවා.
ඒ ගැන තවදුරටත් කතා කළොත්?
මෙහෙමයි. ආයුර්වේදය ප්‍රධාන වශයෙන් පැරණි ඍෂිවරු අංග අටකට බෙදා දක්වා තිබෙනවා. ඒ අතුරින් හයවැනි අංගයට අයත් වන්නේ, විෂ වෛද්‍ය විද්‍යාවයි. මෙහිදී මේ කෘතිය ඔස්සේ සර්ප විෂ වෛද්‍ය විද්‍යාව ගැඹුරින් විමසුමට ලක් කෙරෙනවා. මේ කෘතියේ, සර්ප විෂ වෛද්‍ය ක්‍රමය ගැන විවරණයක් සම්පූර්ණ ලෙස සිදුකර තිබෙනවා. එහි දී විෂ උත්පත්තතියේ සිට ඒ සඳහා ප්‍රතිකාර ක්‍රම දක්වා විමසුමට ලක්වෙනවා.
ඒ මොනවාද?
ඒ කියන්නේ, මේ ලෝකෙට විෂ කියන දේ එකතු වුණේ කොහොමද? කියන තැන සිට විෂට ප්‍රතිකාර අවසානය දක්වා විග්‍රහ කරනවා. ඇත්තෙන්ම, එය රසවත් කතාන්දර ගොන්නකින් සැදුම් ලත් දෙයක්. පුරාණ දේව කතා බොහොමයක් මෙයට සම්බන්ධයි. මේ ගැන රසවත් හෙළිදරව්වක් මේ කෘතිය ඔස්සේ සිදුවෙනවා.
ඒ ගැන තව දුරටත් පැහැදිලි කරනවා නම් පුරාණ දේව කතා, ශ්ලෝක පදනම් කර ගනිමින් එය ඉතා සරල බස් වහරකින් මේ කෘතියේ දක්වනවා. විශේෂයෙන් කිවයුතු දෙයක් තමයි මේ කෘතිය සමාන්‍ය සරල බස්වහරකින් රචනා කර තිබෙනවා කියන දෙය.
සර්ප විෂට මේ කෘතියේ සුවිශේෂී පරිච්ඡේදයක් වෙන්වෙන බව ඔබ පැවසුවා?
ඔව්. මේ කෘතියේ විෂ ප්‍රභේදයන් පිළිබඳ එකිනෙකට විග්‍රහ කර තිබෙනවා. ඒ ඒ සර්ප වර්ගයන් පිළිබඳවත්, ඔවුන්ගේ විවිධ විෂ තත්ත්වයන්, ප්‍රභේදයන් පිළිබඳවත් ඉතා විමර්ශනාත්මක විග්‍රහයක මෙහිදී මා යෙදී තිබෙනවා. මේ වන විට ලොව පුරා සර්ප විශේෂ 85,400ක් පමණ වාසය කරනවා. ඒ අතුරින් සර්පයන් ප්‍රධාන වශයෙන් වර්ග 4 කට බෙදා දක්වා තිබෙනවා.
එම වර්ග හතර මිනිස් සිරුරේ වා, පිත්, සෙම් යන ත්‍රිදෝෂ අනුව බෙදා දක්වා තිබෙනවා. නාග වර්ගය ගත්විට නාග දෂ්ටනයේ දී වාතය කෝප කරනවා. පොළොන් දෂ්ටනයේ දී පිත කෝප කරනවා. ඒ වගේම දෙමුහුන් සර්පයින්ගෙන් මිශ්‍ර දෝෂ ඇති වෙනවා. මේ ගැන ඉතා පුළුල් විස්තරයක් මේ පොතේ දක්වා තිබෙනවා.
මිනිස් සිරුරට විෂ ගමන් කළාට පසුව සකල ශරීරයේ විෂ ගමන් කරන ආකාරය කොහොමද කියන දෙය, එයට ආයුර්වේද මූල ධර්ම අනුව ප්‍රථමාධාර, ප්‍රතිකාර කළයුතු අන්දම වගේම මිනිස් ශරීරයේ නිර්මාණය ගැන පවා මෙතැන දී විග්‍රහ කර තිබෙනවා.
කෘතියේ විග්‍රහවන සර්ප දෂ්ටනය ගැනත් කතා බහ කරමු?
ප්‍රධාන වශයෙන් ආයුර්වේදයේ දී සර්ප දෂ්ටනයක් සිදුවීමට බලපාන ශරීරයේ අසුබ ස්ථාන මොනවාද? පරිසරය ආශි‍්‍රත ස්ථාන මොනවාද? සර්ප දෂ්ටනයකදී විෂ හට ගැනීමේ ක්‍රම, විෂ හට ගන්නේ මොන ආකාරයකටද යන්න අවබෝධයක් මේ කෘතිය කියැවීමෙන් ඔබට ලබා ගත හැකියි. සමහරුන්ට ඈත ඉන්න සර්පයා දුටුවිට ඇගේ හිරිගඩු පිපෙනවා. උණ ගැනෙනවා. ඒ ආකාරයට සර්ප බිය පිළිබඳව ද මෙහි විග්‍රහයක් තිබෙනවා.
සර්පයකු දෂ්ට කළ විට විෂ නැසීම ලෙහෙසිද?
ආයුර්වේදයේ සුවිසි වැදෑරුම් විෂ නැසීමේ උපක්‍රම තිබෙනවා. ඒ ඒ සර්ප වර්ගයන්ගේ විෂ නැසීම සඳහා විවිධ වූ ප්‍රතිකාර ක්‍රම මේ කෘතියේ දක්වා තිබෙනවා. නාගයකු දෂ්ට කළවිට කරනු ලබන ප්‍රතිකාර නෙමෙයි පොළඟකු දෂ්ට කළ විට ලබා දෙන්නේ. නයෙක් දෂ්ට කළ විට නයාගේ විෂ තැබීම සඳහා කළයුතු ප්‍රතිකාර තිබෙනවා. ඒ ඒ විදිහට වෙනස් වෙනස් විෂ තැබීමේ ප්‍රතිකාර ආයුර්වේදයේ පවතිනවා. ඒ ගැනත් පුළුල් විග්‍රහයක් මේ කෘතියේ ඇතුළත්. ඒ වගේම මේ දෂ්ටනවලට වෙනත් ප්‍රතිකාර පමණක් නොව චිකිත්සා ක්‍රමද බහුලව හඳුන්වා දී තිබෙනවා. විශේෂයෙන්ම කසාය, ගුලි, කල්ක, තෙල් ඊට අමතරව දුම් අල්ලන හැටි බෙහෙත් ආලේපනය අන්තර් ගත කර තිබෙනවා.
වර්තමාන සමාජයේ ආයුර්වේදය තුළ පවතින විෂ වෙද කලාව පිළිබඳව දැනුම ප්‍රමාණවත්ද?
මා දකින ආකාරයට සර්ප විෂ වෙදකම පිළිබඳ සමාජයේ මිනිසුන්ගේ දැනුම්වත්වීම යම් ආකාරයක මතභේදයකට ලක්වී තිබෙනවා. මොකද අපේ රටේ සර්ප විෂට තිබුණේ එකම වෙදකමයි. එය දේශීය විෂ වෛද්‍ය විද්‍යාව පමණයි. එදා ජනතාවගේ පිහිටට සිටියේ අපේ දේශීය වෙදකමයි. අද වන විට මේ වෙදකම විවිධ අභියෝගවලට මුහුණ දී තිබෙනවා. එනිසා අපිට වගකීමක් තිබෙනවා දේශීය වෙදකම රැක ගැනීමට. ඒ අරභයා මේ කෘතිය ද මහත් මෙහෙවරක් කරයි යන විශ්වාසය පවතිනවා.ෂාරි වික්‍රමසිංහ