වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
මිහිදුමෙන් මතු වූ රණශූරයා...
මිහිදුමෙන් මතු වූ රණශූරයා...සූර්යයා ක්‍රමයෙන් අස්තයට ඇදෙත්ම, රාස්සිගේ අව් රශ්මියෙන් මුළු ප්‍රදේශයම නැහැවී යන්නට පටන් ගත්තේය. නැගෙනහිර බලනගිර බළකොටුවේ සිට සබරගමු පුරවරයේ සමනළ පව්ව දක්වා වූ ඒ සැතපුම් සිය ගණනක දුර ප්‍රමාණය කඟවේනෙකු ගේ නැතහොත්, හොඹුව මත පිහිටි ස්වාභාවික අඟක් සහිත අශ්වාකාර සත්වයෙකු ගේ පිට නැගී හුදෙකලාව ගමන් කිරීම යනු ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. සතුරු සේනාවන් සිව් දෙසින්ම දේශය ආක්‍රමණය කළ මොහොතක, මහා මාර්ග මග හරිමින්, කඳු හෙල් අතරින් දුර බලමින්, ඉතා පරීක්ෂාකාරීව එසේ ගමන් කිරීම කෙනෙකුට ඉතා අවදානම් කටයුත්තක් විය. විශේෂයෙන්ම හුදෙකලා කාන්තාවක හට එය ඉතා භයානක ක්‍රියාවක් වන්නේ එම සතුරන් හට හසු වුවහොත් අත්වන ඉරණම ඛේදවාචකයක්ම වන බැවිනි. තනිවම සිය විශ්වාසී කඟවේනා වූ ධමූලා ගේ පිට නැගී ජයමාලී දේවිය මේ යන්නේ ඉර අස්තගත වන්නට පෙරාතුව සමනළ ගිරට හෝ, අවම වශයෙන් සමනළ අඩවියට හෝ ඇතුළු වන්නටය. එසේ වුවහොත් ඇයගේ ගමන නිසැකයෙන්ම සාර්ථක වන්නේය.
ජයමාලී දේවිය එසේ ශීඝ්‍රයෙන් ගමන් ගත්තත්, ඇය තමාගේ බර දරාගෙන ගමන් ගන්නා සත්වයාට ඕනෑවට වඩා වෙහෙස දීමෙන් වැළකුණාය. මන්ද යත්, කිසිදාක හෙළ ගෝත්‍රයේ කිසිවෙක් තමන් වැඩ ගන්නා සත්වයන් පීඩාවට පත් නොකළ බැවිනි. ගෙදර දොර වාසය කළ සත්වයන් වූ ගවයන්, එළුවන්, බැටළුවන්, බූරුවන් මෙන්ම බලු බළල් ආදී සත්වයින් කිසිවෙකුටත් හෙළයෝ කිසි විටක තළා පෙළා වැඩ නොගත්හ. එසේම රාජ්‍ය පාලනයේදී භාවිතයට යොදා ගත් හස්තීන්, අශ්වයින්, කඟවේණුන් මෙන්ම, යුද්ධයට පුහුණුව ලබා දී මෙහෙයවනු ලැබූ දිවියන්, ගවරුන් සහ උකුස්සන් ආදී සත්වයින් ද සිය යක්ෂ ගෝත්‍රික ස්වාමි වරුන්ගේ නොමද සෙනෙහසට පාත්‍ර වූහ. ඒ නිසා ජයමාලී දේවිය ද සිය ආදරණීය උපකාරක සත්වයා ඉඳ හිට නතර කරමින්, ඔහුගේ විඩාව නිවා ගැනීමට ඉඩ ලබා දෙමින් ක්‍රමයෙන් සබරගමුව පුරවරය බලා, හැකි උපරිම වේගයෙන් ගමන් කරන්නට වූවාය.
මතු සම්බන්ධයි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
කතාව හෙළසිරි ඉඳුනිල්
මොරමුදලිආරච්චි
සිතුවම - සමන් ශ්‍රී කාන්ත