රාහු කාලය නිවැරදි කර ගනිමු

මාර්තු 6, 2020

ඡ්‍යොතිෂය කැමති අකමැති සියලු දෙනාම රාහු කාලය ගැන සැලකිලිමත් වන බව පෙනී යනවා. ඒ නිසා නිවැරැදි රාහු කාලය දැන ගැනීම කාටත් බොහෝම වැදගත් වෙනවා. දැනට භාවිත කරන ලිත් පොත් දෙකක් රාහු කාලය දේවිදියකට ගැන ඇති බව පෙනී යනවා. ඒ නිසා නිවැරදිව රාහු කාලය ගණනය කර ගන්නේ කෙලෙස ද යන්න සාකච්ඡා කිරීම කාලීන වැදගත්කමක් ගන්නවා. නිවැරදිව රාහුගේ කාලය ගණනය කර ගන්නේ කෙලෙසද යන්න සලකා බැලීම මෙම ලිපියෙ අරමුණයි.

රාහු කාලය ගණනය කරන චක්‍රයෙ මූලික පදනම වන්නේ ප්‍රහරක කාලයයි. දිනකට ප්‍රහකර කාල 08 ක් ඇත. දැනට පැය 24 08 න් බෙදූ විට පැය 03 ක් ප්‍රහරක කාලයට අයත් වෙයි. මෙම ප්‍රහරක කාලය නැවත දෙකට බෙදා පැය 1 1/2 ක කාලය අර්ධ ප්‍රහරක කාලය ලෙස හඳුන්වයි. මෙම අර්ධ ප්‍රහරක කාලය පළමු පැය 1 1/2 ක දිනය අදිපතිට හිමිවන අතර දිනය අධිපති පිළිවෙළට අනෙක් ග්‍රහයන්ට ඉතිරි කාලය හිමිවෙයි.

මී ළඟට සැලකිල්ලට ගන්නේ රාහු පිම්මයි. රාහු පිම්ම පිටුපසට සිදුවන අතර රාහු දවස තුළ දිසා 04 න් 04 ට පැන යයි. එය රාහු පිම්ම වන අතර රාහු බලවත් නිරිත දිසාවටයි. රාහු බලවත් නිරිත දිසාවේ සිටින කාලය වන පැය 1 1/2 ක කාලය රාහු කාලය ලෙස හඳුන්වයි.

ප්‍රහරක කාලය ගණනය කරනුයේ ගණනය කරනු ලබන දිනයේ ඉර උදාවේ සිට පසු දින ඉර උදාව දක්වා කාලයයි. උදාහරණයක් ලෙස සඳුදා දිනය ගමු. දිනය ප්‍රහරක කාල 08 කට බෙදූ විට පැය 03 ක් ප්‍රහරක කාලයට එයි. එය දෙකට බෙදූවිට පැය 1 1/2 ක් අර්ධ ප්‍රහරක කාලයයි.

සඳුදා උදේ 06 සිට 07.30 තෙක් සඳු ග්‍රහයා හිමි අර්ධ ප්‍රහරක කාලයයි. දෙවන අර්ධ ප්‍රහරක කාලය කුජට අයිතියි. මෙලෙස පිළිවෙළට දිනයට අධිපතිට අනුව බුධ, ගුරු,කිවි, ශනි, රවි ආදී ලෙස ගෙවී නැවත සඳු අර්ධප්‍රහරක කාලය එයි. අනෙක් දින ඉර උදාව තෙක් මෙලෙස අර්ධ ප්‍රහරක කාලය ගණනය වෙයි.

ඉහත රාහු පිම්ම අනුව සඳුදා දින පළමු අර්ධප්‍රහරක කාලයෙ රාහු උතුරු දිසාවේ සිටීයි. රාහු පිටුපසට දිසා 04 ක් පනින බැවින් සඳුදා දින උදේ 07.30 ත් 09 ත් අතර රාහු නිරිත දිසාවේ සැරිසරයි. රාහු නිරිත දිසාවට බලවත් බැවින් මෙම කාලය රාහු කාලයයි.

ඒ අනුව රාහු කාලය ගණනය කරනුයෙ අදාළ දිනයේ ඉර උදාවේ සිට ඉදිරි දිනයේ ඉර උදාව දක්වා මිස උදේ ඉර උදාවේ සිට සවස ඉර බැසීම දක්වා කාලය බෙදා රාහු කාලයට එක් කිරීමෙන් නොවෙයි. උදාහරණයක් ගෙන බලමු.

ක්‍රිස්තු වර්ෂ 2019 ජුනි 03 සඳුදා ඉර උදාව උදේ 05.54 සඳුදා දින උදේ 06 සිට පොදුවේ ගණනය කළ විට 02 වන අර්ධ ප්‍රහරක කාලය තුළ එනම් උදේ 07.30 සිට උදේ 09.00 දක්වා කාලය තුළ රාහු තම බලය ඇති නිරිත දිසාවේ සිටියි. අප ගත් දිනයෙ ඉර උදාව උදේ 05.54 ට සිදුවන බැවින් පොදු ගණනය කිරීම් කළ රාහු කාලය තුළින් විනාඩි 06 ක් අඩු කළ යුතුයි. එවිට සඳුදා උදේ 07.24 සිට උදේ 08.54 දක්වා රාහු කාලය පවතී.

 

දේශබන්දු කීර්ති ශ්‍රී ඡ්‍යොතිෂ ශිරෝමනී,

ඇම්.ඒ. රංජිත් ප්‍රේමලාල්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.