කන්‍යා ලග්නයෙන් උපන් ඔබ ගැනයි මේ

දෙසැම්බර් 30, 2022

විශ්ව කේන්ද්‍ර ක්‍රමයට අනුව කන්‍යා රාශිය රාශි චක්‍රයේ හයවෙනි රාශිය හැටියට සැලකේ. ලග්නාධිපති ග්‍රහයා වන්නේ බුධය. බුධ ග්‍රහයා මිථුන හා කන්‍යා රාශි දෙකටම අධිපතිත්වය දරයි. මෙම රාශි දෙකෙන්ම උපන් අය බුධ ග්‍රහයාගේ පාලනයට යටත් වේ. ධාන්‍ය කරලක් අතින් ගත් කාන්තාවක් ලග්නය සංකේතවත් කරයි. බුධගේ උච්ච රාශියද කන්‍යා රාශියයි. පඨවි ගුණයෙන් යුක්ත වූවත් එය උභය රාශියක් බැවින් ඔවුන්ගේ ස්ථිර ගති ලක්ෂණ අඩුවේ. කන්‍යා ලග්නයෙන් උපත ලද බොහෝ දෙනා මනා පැහැපත් රූප සම්පත්තියෙන් යුක්තය. පිරිමි අයද කඩවසම් පෙනුමකින් යුක්ත වන අතර ඔවුන්ට ශක්තිමත් සිරුරක් ද හිමිය. රවුම් මුහුණක් හිමි ඔවුන්ගේ අත් පා දිග්වෙන අතර උරස් තරමට මහත් වූ ශරීරයක් ඇත.

ගතිගුණ

ඔවුන්ගේ ගමන් විලාසය අමුතුම ආකාරයක් වන අතර ගතිගුණ දෙආකාරවේ. එක් අවස්ථාවක වඩා හිතවත්කමක් පෙන්නුම් කරන අතර ඔවුහු තවත් අවස්ථාවක ඊට හාත්පසින් වෙනස් ගතිගුණ පෙන්නුම් කරයි. හොඳට හොඳ හිත පෙන්වන අතර නරකට වඩාත් නරකයි යන්න ඔවුන්ගේ ප්‍රතිපත්තියයි. කන්‍යා ලග්න හිමියන් චංචල අදහස්වලින් යුක්තය. ඔවුන්ගේ අදහස්, සිතිවිලි, පොරොන්දු ගිවිසුම් ආදිය වරින්වර වෙනස් කරයි.

කන්‍යා ලග්න හිමියන් තම පෙම්වතාට හෝ පෙම්වතියට දැඩිසේ ආදරය කරයි. අවිශ්වාසය ද නිතර හිතේ රඳවන ගතිය ඔවුන් තුළ ඇත. කන්‍යා ලග්නයෙන් උපන් අයගේ එකේ හෙවත් ලග්නයේ රවි, බුධ, සිකුරු යෝගය ඉතා බලවත් වේ. රූමත් බුද්ධිමත් අය උපදිනුයේ මෙම යෝගයෙනි. තම බලය අන්‍යයන් අතර පැතිරවීමට ඔවුහු ඉතා දක්ෂවෙති.

රැකියාව

කන්‍යා ලග්නයෙන් ඉපදී පස්වැන්නේ කුජද, නමවැන්නේ ගුරුද පිහිටා තිබීම ඉතා වාසනාවන්තය. මෙවැනි අයට රැකියා ලැබීමේ ඉඩ ප්‍රස්ථාවන් වැඩිය. එහෙත් කන්‍යා කේන්ද්‍රයක පස්වැන්නේ කුජ, රාහු යෝගය දරුවන්ට අපල ගෙනදීමක් ලෙස සලකයි. කන්‍යා ලග්න හිමියන්ගේ කේන්ද්‍රවල හතේ රාහු, කුජ, ශනි යෝගය ද ඉතා අවාසනාවන්ත වේ. අටවැන්නේ ශනි සිටීමද එතරම් යහපත් නොවේ.

කන්‍යා ලග්න හිමි කාන්තාවෝ ඉගෙනීමට වැඩි දක්ෂතාවයක් දක්වති. බොහෝවිට විද්‍යා අධ්‍යාපනය කෙරෙහි වැඩි නැඹුරතාවයක් දක්වන්නීය. රජයේ පොදු විභාගවලින් විශිෂ්ට ලෙස සමත්කම් දක්වයි. බොහෝ දෙනෙකු සරසවි වරම් ලබයි. සිවිල් ඉංජිනේරු විද්‍යාව, සාගර විද්‍යාව, ප්‍රමිතිකරණය, වාස්තු විද්‍යාව, ගෘහ විද්‍යාව කෙරෙහි ද සමහරු කුසලතා දක්වති. කන්‍යා ලග්නයෙන් උපන් කාන්තාවන්ට රජයේ රැකියා කිරීමේ වාසනාව ඇත.

විවාහය

කන්‍යා ලග්න හිමියන් ආදරය, අනුකම්පාව හොඳින් හඳුනති. දෙමාපියන්ගේ ආශිර්වාදය මැද සිදුවන විවාහයකට ඔවුහු කැමති වෙති. අවංක ආදරය හේතුවෙන් සැමියාගේ නොමද ආදරය හා ගෞරවය ලබයි. කන්‍යා ලග්න හිමිකාරියන්ට විවාහය සඳහා වඩාත් සුදුසු වනුයේ වෘෂභ, කන්‍යා, මකර ලග්න හිමිකරුවන් ය.

කන්‍යා ලග්න හිමියන් නිරතුරුව ආහාර පාලනය කිරීමට පෙලඹෙන අයවෙති. තමන් විසින් තෝරා ගන්නා ලද ආහාරවර්ග කීපයක් කෙරෙහි වැඩි යොමුවීමත්, ආහාර ආදියෙන් වඩාත් ප්‍රවේශම්වීමත් ඔවුන්ගේ විශේෂතාවයකි. සමබර වූ තමන්ට ගැළපෙන පරිදි සකස් කරගත් ආහාර වේලක් කෙරෙහි කන්‍යා ලග්න හිමියෝ වැඩි සැලකිල්ලක් දක්වති.

මහ පොළොව කාරක කර ගනිමින් උපත ලද කන්‍යා ලග්න හිමියෝ කෘෂිකාර්මික කටයුතුවලට දක්වනුයේ මහත් ඇල්මකි. එමඟින් ආදායම් උපදවා දියුණුව කරා යාමටද ඔවුනට හැකියාව ඇත. එමෙන්ම පොත්පත් කියවීමට ද ඔහු දක්ෂයකු වන අතර පොතපතට ඇත්තේ ඉමහත් ආදරයකි. ලියකියවිලි වැනි දෑ ඉතා ප්‍රවේශම් ලෙසින් තබා ගන්නේ ක්‍රමානුකූල බවකිනි.

කන්‍යා ලග්නයෙන් උපත ලද ඔබට මිතුදම් වැඩිකල් පවත්වාගෙන යෑම අසීරුය. හේතුව ඔබ හැමවිටම අනුන්ගේ දොස් දැකීම හා තොරතෝංචියක් නොමැතිව ගිරවකුමෙන් කතා කිරීමය. මේනිසා ඇසුරු කරන්නන් හට ඔබ පෙනෙනුයේ කරදරකාරයකු ලෙසය. එසේ වුවත් අනුන්ගේ කරදරයකදී හෝ විපතකදී කර නොඇර ඔබට හැකි අයුරින් බර කරටගෙන උදව් කිරීම ඔබ සතු මහඟු ගුණයකි. තම හිතමිතුරන් හා නෑයන් වෙනුවෙන් ඔබ පරිත්‍යාගශීලීය. එසේ වුවත් කිසිම විටෙක ප්‍රතිඋපකාර බලාපොරොත්තු නොවේ. ඔබේ ජීවිතයට වාසනාව ලබන්නේ අවු. 24 න් පසුවය. උසස් රැකියාවක්, යහපත් විවාහයක්, ලස්සන නිවසක්, අලුත් වාහනයක් වැනි භෞතික සම්පත් හිමිකර ගැනීමේ වාසනාව ද ඔබ සතුය.

කන්‍යා ලග්නයෙන් උපන් ඔබේ ජීවිතයේ මුල් භාගය එතරම් යහපත් නොවූවත් ක්‍රමයෙන් තරුණ වයස පසුකර යද්දී එම තත්ත්වය වෙනස්වී වාසනාවන්ත යුගයක් උදාවනු ඇත. ඔබ මසුරු අයෙකු ලෙස අන් අයට පෙනුනත් ඇත්ත වශයෙන්ම ඔබ මසුරු අයකු නොවේ. ඔබ මිල මුදල් පරිහරණයේදී ඉතාම ප්‍රවේශම් සහගතය. ඔබ පිරිසුදුකමට මුල්තැනදී ක්‍රියා කරන්නෙකි. ඔබගේ ශරීරය මෙන්ම ඔබගේ ක්‍රියාවන් ද පිරිසුදු බවින් යුතු ය. ඔබ සිටින ස්ථානය කුමක් වුවත් එම ස්ථානය පිරිසුදුව තබා ගැනීමට ඔබ නොමද උත්සාහයක් ගනී.

රෝග

ඔබට වැලඳෙන රෝග අතර රෝග වැලක උත්පත්තිස්ථානය උදරය හා පිත්තාශය වේ. පිත්තාශයේ සෑදෙන ගල් නිසා පීඩාවන් ඇතිවේ. පිත අවරෝධවීම නිසා නිරතුරුවම පිත් රෝගවලින් පීඩා ඇති කරවයි. සයනයේ සිටින විටදී මෙන්ම අවදියෙන් සිටිනවිටද කැරකිල්ල දැනේ. කෙටි ගමනකදී පවා වෙහෙසකාරී බවක් ඇතිවේ. වාතරෝග, හර්නියා තවත් රෝගී තත්ත්වයකි.

මරණය

කන්‍යා ලග්න හිමියන්ට මාරක ග්‍රහයන් වන්නේ කුජ, ශනි සහ සඳු ය. මෙම ග්‍රහයන්ගේ දශා අන්තර් දශා කාලවලදී කන්‍යා ලග්න හිමියන් මෝටර් රථ වාහන, ගිනි, විදුලිය ඉන්ධන වැනි දේවලින් ප්‍රවේශම් විය යුතු ය. කන්‍යා ලග්න හිමියන්ට අටේ ශනි සිටීම ඉතා අනතුරුදායකය. මෙම ග්‍රහයන්ගේ මහදශා අතුරු දශාවකදී මරණය සිදුවිය හැකිය.

හිඹුටානේ

පියතිලක ද අල්විස්

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.