කිසිම හෙළ ගෝත්‍රිකයෙක් පණ පිටින් යවන්නට එපා...

දෙසැම්බර් 14, 2018
සතුරු සේනාවේ සෙබළුන්ගේ වේගය එක වරම අඩු වූයේ මුළු පොල් රුප්පාව සිසාරා දුව ආ හෙළ බළ සේනාවේ සෙබළුන් දැකීමෙනි. කිසිදු රණ ඝෝෂාවක් නොමැතිව දුව ආ සන්නාහ සන්නද්ධ අයෝමය පුරුෂයන් ගේ නිහඬ සේනාවක් වැනි වූ එම සේනාව දැකීමෙන් සතුරු සෙනග වික්ෂිප්ත වූහ. ඒ අතරතුර දී හර්ෂදේවයන් විසින් පහර දී බිම හෙලූ සතුරු සෙබළා නැගිට, අසිපත පවා හැර දමා වේගයෙන් යළිත් තම නෞකාව වෙත දිව්වේ ය. මෙහිදී හරේරා එම සෙබළා හට අඬ ගැසී ය. 
 “මෙහෙ වර නීචයා.....” 
සෙබළා බියෙන් ගැහෙමින්, යටහත් පහත් ලෙස තම නායකයා වූ හරේරා වෙත ගියේ ය. තමා හට කුමන ආකාරයේ දඬුවමක් ලැබේද යන්න අසරණ සෙබළා දැන සිටියේ නැත. සිම්ජා ඇතුළු සගයින්ද, අනෙක් සෙබළුන් ද මේ දෙස බලාගත් බැල්මෙන් බලා සිටියහ. 
 “අනික් උන් එකා පිට එකා වැටිලා මැරිලා යද්දී උඹ පණ බේරාගෙන ගෑනියෙක් වගේ දිව්වා. කියාපිය...... අර මිනිහා උඹට මොනවද රහසින් කිව්වේ?” 
හරේරාගේ කෝපය ඉහ වහා ගොස් තිබිණ. ඔහුගේ දෙනෙත කෝපයෙන් හැකිළී තිබූ අතර, දෑත් මිට මෙළවී තිබිණ. 
 “අවසරයි කුමාරෝත්තමයාණෙනි.... සාම දූතයා මට කිව්වෙ නැවත වරක් ඔහුට විරුද්ධව යුද්ධයට ආවොත් බෙල්ල කඩලා මරලා දානවා කියලා. ඒ වගේම ඔහු කිව්වා සේනාධිපතියන්ට කියන්න කියලා මේ භූමියෙ වැළලෙන්නෙ නැතිව ආපසු තමන්ගේ ගම් රටවල් බලාගෙන යන්න කියලා. ඔහු කිව්වේ.....” 
සෙබළාට සිය කතාව අවසන් කිරීමට ලැබුණේ නැත. සිය බඳ පටියේ දැළි පිහි තලයක් මෙන් තියුණු කාන්තාර පිහිය අතට ගත් හරේරා, එයින් වේගවත් පහරක් දුන්නෙන්, වැළමිටට මඳක් ඉහළින් සෙබළාගේ වම් අත වෙන් වන්නට කැපී ගියේ ය. මර හඬ නගමින් සෙබළා දණ ගැසීය. උල්පතකින් මෙන් උඩු බාහුවෙන් රුධිරය විදින්නට විය.අසරණ මිනිසා වෙත ගිය හරේරා, උපහාසයෙන් යුතුව සිනාසුණේ ය. ‘බල්ලා.... නුඹ උන්ගෙන් පණිවිඩ අරන් ආවෙ මටද? අප ආවෙ මේ හෙළ බිම අප සතු කර ගන්න මිසක් ආපසු යන්න නෙවෙයි. ඇයි නුඹට ඒක කියාගන්න බැරි වුණේ.... නුඹලා වගේ ගෑනු ගති තියෙන නීචයෝ මගේ සේනාවෙ ඉන්න එක මටම අවදානමක්. ඒ නිසා.....” 
මෙසේ කියූ හරේරා යළිත් වරක් වේගවත් පිහි පහරක් සෙබළාගේ ගෙලට එල්ල කළෙන් රුධිරය වර්ෂාවක් මෙන් අහසට විහිදෙන්නට විය. තුන්වන පිහි පහරෙන් සෙබළාගේ හිස් මොළ කැබලි පිටතට පැමිණ, ඇස් ගුළි දෙක කෙවෙණි වළවල් වලින් පිටතට ආවේ ය. අසරණ මිනිසා, සිහින් කෙඳිරියක් නගාගෙන තම නායකයා පාමුල මැරී වැටුණේ ය. කට කොණකට නගාගත් සිනාවෙන් යුතු හරේරා, පිහියේ තැවරුණු රුධිරය ගසා දමා, එය යළිත් කොපුවේ රුවා ගත්තේ ය. 
සිම්ජා දෙනෙත් මහත් කර මේ අමානුෂික ඝාතනය දෙස බලා සිටි අතර, ජාගෙන් මේ අධම, මිලේච්ඡ ක්‍රියාව දෙස බලා සිහින් හඬින් අවලාදයක් නැගීය. ඔහු මෙවන් ක්‍රියා කිසි විටෙකත් අනුමත නොකළ බැවිනි. ඉග්ලීස් රජු ද දෙනෙත් මහත් කර බලා සිට, සුසුමක් හෙළා බිම බලා ගත්තේ ය. 
මෙහිදී හරේරා, සිය සෙබළුන් ඇමතීය. 
 “අපි හෙළ බිම ආක්‍රමණය කළේ ආපසු හිස් අතින් යන්න නොවෙයි. ඒ වගේම නුඹලාගේ අතට අහුවන කිසිම හෙළ ගෝත්‍රිකයෙක් පණ පිටින් යවන්නට එපා. කීතු කීතු කරලා මරලා දාපියවු. එහෙම නොවුණොත්, මං මගේම අත් දෙකෙන් ඌව මරලා දානවා, අර බල්ලා වගේ.” 
මෙසේ කියා හරේරා ලේ විලක් මැද, බිම වැටී තිබූ සුන් බුන් වූ මළ සිරුර දෙසට අත දිගු කළේ ය. මෙහිදී එම ක්‍රියාව අනුමත නොකරන ආකාරයෙන්, සෙබළුන් අතර කිසියම් කසු කුසුවක් පැතිර ගිය නමුත්, එය ඉක්මණින්ම සිඳී ගියේ ය. පොල් රුප්පාව අතරින් ඔවුන් දෙසට පැමිණෙමින් තිබූ දහස් ගණනක හෙළ බළ සේනාව ද එයට හේතුවක් විය. මෙහිදී සිම්ජා මෙන්ම අනෙක් සෙබළුන් ද සිය අසිපත් සහ හෙලි අමෝරා ගත්හ. වේගයෙන් දිව ආ හෙළ බල සේනාව, හර්ෂදේවයන් සිටි ස්ථානය ආසන්නයේදී නතර වූහ. මෙහිදී හර්ෂදේවයන් හට ආචාර කළ ප්‍රධාන සෙබළෙක් යැයි සිතිය හැකි ගාම්භීර තැනැත්තෙක්, තියුණු නැමි කඩුපත් දෙකක් හර්ෂදේවයන් හට පිරිනැමීය. සතුරු සෙබළුන් හට පෙනෙන්නටම එම අසිපත් යුවළට සිය ගුරුකුලයේ ආචාරයෙන් නමස්කාර කළ හර්ෂදේවයෝ, එම අසිපත් යුවළ, තම බඳ පටියේ රඳවා ගත්තෝ ය. ඉන්පසුව තේජාන්විතව හර්ෂදේවයෝ සිය සෙබළුන් දෙස බැලූහ. 
 “හෙළයේ වීර සෙබළුනි.... මොවුන් පැමිණ තිබෙන්නේ අපගේ හෙළ දෙරණ අල්ලා ගන්නටයි. මේ එකෙකු හට වත් රට තුළට පය තබන්නට ඉඩ දෙන්න එපා......” 
මෙසේ කියූ හර්ෂදේවයන් අසිපත කොපුවෙන් ඇද ඔසවා, 
 “අන්තිම ලේ බිඳුව තෙක්” 
යනුවෙන් ප්‍රදේශය පුරා දෝංකාරය දෙන ලෙස ඝෝෂා කරත්ම, 
 “හෙළ දෙරණට ජය වේවා..” 
යනුවෙන් සෙබළුන් නැගූ රණ ඝෝෂාවෙන් අවට තිබූ ගස් ගල් පවා කම්පා වී ගියේ ය. මෙවිට සිම්ජා ද, සිය සෙබළුන්ට ආක්‍රමණයට සංඥාවක් දුන්නෙන්, සිය තියුණු අසිපත් ඇදගත් දැවැන්ත ප්‍රමාණයේ සෙබළුන් මහ හඬින් කෑ ගසමින් පෙරමුණට දුවන්නට වූහ. 
මෙහිදී යුද්ධයේ ආරම්භය සිදු වීය. හෙළ ගෝත්‍රික සෙබළුන් සහ සතුරු සෙබළුන් එකිනෙකා මිශ්‍ර වී ගිය අතර, මාරාන්තික යුධ කෝලාහලය ආරම්භ වීය. වෙරළේ රැඳී සිටි සිම්ජා සහ සගයින් හට මෙම සටන තීරණාත්මක එකක් බව පෙනී ගියේ හෙළ ගෝත්‍රික සෙබළුන් ගේ සටන් දක්ෂතාවය දුටු විට ය. දුරාතීතයේ පටන් හෙළ ගෝත්‍රයට අභියෝග කරන්නට අන්‍ය ජාතීන් පසුබට වූයේ ඇයිද යන්න මෙහිදී ඔවුන් හට පැහැදිලිවම පෙනී ගියේ ය. එයට සාක්ෂි වූයේ හෙළ බල සේනාවේ සෙබළුන් තුවාල ලබා හෝ සටන් බිම පය ගසා සිටීමත්, හෙළ සෙබළුන් කිහිප දෙනෙකුගේ සතුරු සෙබළුන් සිය ගණනක ගේ මළ සිරුරු වෙරළේ සහ පොල් රුප්පාව තුළ අතන මෙතන වැටී තිබීමත් කරණ කොට ගෙනය. මේ සටනට දෙපක්ෂයේම සෙබළුන් පමණක් සහභාගී වූ නිසා, ද්වන්ද සටන් සහ සමූහ සටන් වශයෙන් අතන මෙතන කෝලාහල රාශියක් එක විටම හට ගෙන තිබුණි. 
මෙවිටම එක් අහඹු සිදුවීමක් සිදු වීය. මුහුණට මුහුණ ලා කෙරුණු ද්වන්ද සටනක් අතරතුර දී සතුරු සෙබළෙක්, සතුරෙක් හා සටනේ යෙදි සිටි හෙළ බල සේනාවේ සෙබළෙකු ගේ පිටුපසට අසිපතකින් ඇන මරා දමනු ලැබීය. ද්වන්ද සටනේ යෙදී සිටි සෙබළෙකු හට තවත් අයෙක් පිටුපසින් පහර දීම, සටන් නීති උල්ලංඝනය වීමක් ලෙස සැලකුණු අතර, ඉතාමත්ම පහත් ක්‍රියාවක් ලෙසද එකල සෑම ජාතියකම සෙබළුන් විසින් සලකනු ලැබීය. එම සිද්ධිය දුටු හර්ෂදේවයන් ගේ මුවින් නැගුණු තියුණු සිවුරුහන් හඬකට අනුව, හෙළ බළ සේනාවේ සෙබළුන් සටන් ක්‍රමවේදය ක්ෂණිකව වෙනස් කළ අතර, හෙළයින්ගේ තියුණු අසිපත් පහරවල් අස්වාභාවික වේගයෙන් යොමු වූයේ සතුරන් හට සිතා ගැනීමට පවා නොහැකි මර්මස්ථාන වලටය. මෙහිදී එකිනෙකා බැගින් සතුරු සේනාවේ සෙබළුන් සමූහ වශයෙන් ශීඝ්‍ර ලෙස මැරී වැටෙන්නට වූහ. ඒ සමගම සිම්ජා, සිය සගයින් දෙස බැලීය. 
 “බලා සිටීමෙන් පළක් නෑ මිත්‍රවරුනි..... අපිත් සටනට එක් වෙමු....” 
මෙසේ කියූ සිම්ජා, කඩතොළු සහිත බර වූත්, තියුණු වූත් සිය දැවැන්ත අසිපත ගෙන ගැටුම මැදට දුවන්නට වීය. හරේරාත්, ඉග්ලීස් සහ ජාගෙත් ඔහු අනුගමනය කළහ. සෙබළුන් එකිනෙකා සටන් කරමින් තිබූ ඒ යුද්ධ භූමියෙහි, මේ සේනාධිපතිවරුන් ද මිශ්‍ර වී සටනට වන්හ. 
මතු සම්බන්ධයි. 
 
කතාව හෙළසිරි ඉඳුනිල් මොරමුදලිආරච්චි 
 
සිතුවම - සමන් ශ්‍රී කාන්ත
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.