රසවත් පලතුරක් අගනා ඔසුවක් කජු

ජුනි 24, 2022

අප අවට පරිසරයේ දක්නට ලැබෙන තුරුලතාවන් අතර විවිධ ප්‍රයෝජන ලබා දෙන ගස්වැල් රාශියක් ම දක්නට ලැබේ. ඖෂධීය වශයෙන් මෙන්ම ආහාරමය වශයෙන් ද ලබාදෙන ප්‍රයෝජනයන්ට අමතරව තවත් ප්‍රයෝජන රැසක් ලබාදෙන ශාකයන් අතර ‘කජු’ ගසද එක් ප්‍රධාන ශාකයක් වෙයි. රසවත් පලතුරක් අගනා ඔසුවක් මෙන්ම අධික පෝෂණයෙන් යුතු ආහාරයක් ලෙස ද කජු හැඳින්විය හැක.

පලතුරු මිනිසුන්ගේ අතුරු ආහාරයක් ලෙස හඳුන්වන අතර මිනිසාගේ නිරෝගීකම ආරක්ෂා කිරීමත්, රෝගවලින් සුවය ලැබීමත් සඳහා උපයෝගී කරගනු ලබන්නේ ද වේ. ශරීර වර්ධක, ශක්ති වර්ධක සහ ආරක්ෂක ගුණ පලතුරුවල අඩංගු වන අතර එවන් පලතුරු අතර ප්‍රධානතම පලතුරක් වනුයේ ද කජුය. තවද අධික වශයෙන් පෝෂණය ලබා දෙන ආහාරයක් ලෙස ද කජු උපයෝගී කරගනු ලබන බව පෙනේ.

එසේම ඖෂධීය වශයෙන් දේශීය වෙදකමේ මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දී ද යම් යම් රෝගාබාධවලදී යොදනු ලබන ඖෂධ යෝග සඳහා ද කජු ගසේ විවිධ කොටස් යොදා ගනු ලබයි.

වැවෙන ප්‍රදේශ

විදේශීය වශයෙන්

දකුණු ඇමෙරිකාවේ මධ්‍ය නිවර්තන කලාපීය රටවල් කජු ගසේ ජන්ම භූමිය ලෙස සලකන අතර නිවර්තන සහ උපනිවර්තන කලාපීය රටවල වැවෙන සදාහරිත ශාකයකි.

දේශීය වශයෙන්

පෘතුගීසින් විසින් අප රටට හඳුන්වා දී ඇති ‘කජු’ මුහුදු මට්ටමේ සිට මීටර් 750 දක්වා උස බිම්වල හොඳින් වැවෙන ශාකයක් වන කජු විශේෂයෙන් පුත්තලම, යාපනය, මන්නාරම, මොනරාගල, අනුරාධපුර ආදී ප්‍රදේශවල ඉතා සාරවත් ලෙස වවනු ලබයි. කජු ශාකය විවිධ භාෂාවලින් හඳුන්වන නාම –

පොදු සිංහල නාමය – කජු වන අතර

කජුවල උද්භිද විද්‍යාත්මක නාමය – ඒදචජචපඤඪභථ ධජජඪඤඥදබචතඥ.ඹ් වෙයි.

කුලය ඒදචජචපඤඪචජඥචඥ හෙවත් ‘ආමු’ කුලය වෙයි.

කජු ගසේ ස්වරූපය – විශාල ප්‍රමාණයේ ගසක් වන අතර පත්‍ර තද කොළ පැහැයකින් යුතු අතර පත්‍රවල යටි පැත්ත ළා පැහැයක් ගනු ලබයි. මෙහි ගෙඩි හට ගැනීම අපේ‍්‍රල් මාසයට පෙර සිදුවන අතර කජු ගෙඩියේ මදය මෙන්ම කජු පුහුලන් හොඳ පලතුරක් වෙයි.

ප්‍රභේද සැලකීමේදී – ගෙඩියේ ප්‍රමාණය අනුව ප්‍රභේද දෙකකි. එනම්,ලොකු කජු (පෙතන් කජු) හා කුඩා කජු වශයෙනි.

පුහුලමේ පැහැය අනුව වර්ග දෙකකි.

1.කහ වර්ණය ඇති පුහුලන් 2.රතු වර්ණය ඇති පුහුලන් වශයෙනි.

ආහාරමය වටිනාකම – කජු ගෙඩියේ මදය සහ පුහුලම ආහාරමය වශයෙන් වැදගත් වේ.

මස් මාළු ආහාරයට නොගන්නා අයට ඇතිවිය හැකි ප්‍රෝටීන් ඌනතාවයන්ට කජු මදය තරම් සුදුසු තවත් ආහාරයක් නොමැත.

කජු මද ග්රෑම් 100 ක අඩංගු පෝෂ්‍ය පදාර්ථ

ශක්තිය – කැලරි 568

ප්‍රෝටීන් – ග්රෑම් 18.4

මේදය – ග්රෑම් 46.3

කාබෝහයිඩ්‍රේට් ග්රෑම් 28.7

කැල්සියම් – මිලි ග්රෑම් 28

පොස්පරස් – මිලි ග්රෑම් 462

යකඩ – මිලි ග්රෑම් 3.6

තයමින් – මයික්‍රොග්රෑම් 250

රයිබොප්ලේවින් ග්රෑම් 340

නියසින් – මිලි ග්රෑම් 2.4

විටමින් සී – මිලි ග්රෑම් 1

කැරොටින් – මයික්‍රො ග්රෑම් 5 ආදි වශයෙනි.

කජු දලු අර්ශස් සඳහා ගුණ දෙන ඉතා හොඳ මාළුවක් වෙයි. නොමේරු ( තද රතු) කජු දලු ගෙන වතුරේ දමා හොඳින් තම්බාගෙන දෙතුන් වරක් සෝදා සිහින්ව ලියාගෙන එයට රතුලූනු, අමුමිරිස්, කරපිංචා ආදිය දමා මිරිස් කුඩු, තුනපහ, පොල්කිරි එක්කර ලිප තබා සිඳුනු පසු බාගෙන ආහාරයට ගත හැක.

කජු පුහුලන් ද ඉතා රසවත් මෙන්ම ගුණදායක පලතුරකි. මෙහි විටමින් සී බහුල ලෙස ඇති අතර යකඩ ද සෑහෙන ප්‍රමාණයන් පවතියි. මේ ආදි වශයෙන් පෝෂණීය ගුණයෙන් ඉහළ මට්ටමක පවතින කජු ආහාරමය වශයෙන් විශිෂ්ට ගුණ දෙන දෙන ද්‍රව්‍යයක් වේ.

ඖෂධීය වටිනාකම

කජු ගෙඩියේ මදය – රසයෙන් මධුර වන අතර ගුණයෙන් පිළිකා නසන ගුණයෙන් පවතින අතර ලේවල ඇති කොලෙස්ටරෝල් අඩු කරන ගුණ ද වේ. වීර්යයෙන් උෂ්ණ වේ.

කජු ගසේ පොත්ත – මෙය තැම්බූ වතුර බොහෝ විට මල බුරුල් වී යෑමේ දි ප්‍රයෝග කරයි. එසේ ම උපදංශයේ දි හට ගන්නා සන්ධි ඉදිමුම සහ දියවැඩියාවට උපයෝගී කර ගනු ලබයි. මෙම පොතු තැම්බූ වතුර බීමෙන් ලේවල සීනි මට්ටම පාලනය කර ගැනීම ද සිදු කරයි.

කජු ගසේ මුල් – මෙම මුල් අඩංගු ඖෂධවල විරේචන ගුණ ඇත.

කජු ලෙලිවල ඇති තෙල – මෙය ලාදුරුවල ඇතිවන හිරි ගතියට ද පොතුකබර (සොරුයිසීස්) සඳහා ද, කරගැට, ඉන්නන් සඳහා ද ආලේපය පිණිස යොදා ගනු ලබයි. එසේම එහි පණුවන් නසන ගුණද වේ.

කජු ගසේ ළපටි මුල් සහ කජු දලු තැම්බූ වතුර – කුඩා ළමුන්ගේ කැස්ස සමනයට උපයෝගී කර ගනියි. තවද කජු දලු මාලුව අර්ශස් නසන අතර කජු මද අතීසාර සහ පිළිකා නසයි.

කජු පුහුලමේ යුෂ – ස්කර්වි (ශීතාද) රෝගයට ඉතා ගුණ දෙනු ලබක අතර ගර්භාෂ ගත රෝග සඳහා ද ගුණ දායකය. මෙසේ පෝෂණ ගුණය සහ ඖෂධීය ගුණය බහුල ලෙස පවතින කජුවලින් ලැබෙන වෙනත් ප්‍රයෝජන ද රාශියක් වේ.

කජු ගසේ පොතුවලින් ගනු ලබන යුෂ හණ රෙදි වර්ණ ගැන්වීමටත් මාළු දැල් පදම් කිරීමටත් යොදා ගනු ලබයි.

කජු ගසේ ලීය – ඉතා දැඩි නිසා පෙට්ටි, ඇසුරුම් ආවරණ, විවිධ භාණ්ඩ, බෝට්ටු ආදිය සෑදීමට යොදා ගනු ලබන අතර ඉන්ධන වශයෙන් බේකරි සහ විවිධ කර්මාන්තශාලා යොදාගනු ලබයි.

කජු මැලියම් ද තවත් වැදගත් ද්‍රව්‍යයකි. පොත් ඇලවීම, බැඳීම ආදි කටයුතු සඳහා යොදා ගනු ලබන අතර එසේ අලවන හෝ බඳින ලද පොත් ආදිය කෘමින්ගෙන් ද ආරක්ෂා වනුයේ කජු මැලියම් කෘමීන්ට අහිතකර බැවිනි.

කජු පුහුලන්වල යුෂය ද විවිධ පාන වර්ග සෑදීම සඳහා භාවිතා කරනු ලබයි.

 

වෛද්‍ය

මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.