විභාග ප්‍රශ්නයට දන්න උත්තරේ ලියැවෙන්නේ නැද්ද?

නොවැම්බර් 22, 2024

මේ දිනවල උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන උසස් අධ්‍යාපන කටයුතු හැදෑරීම සඳහා විශ්වවිද්‍යාලයට පිවිසීම එකම අරමුණ වනු ඇත.

එහෙත් කොතරම් උත්සාහවන්තව නිදිමරාගෙන පාඩම් කළත් ධාරන ශක්තිය අඩු බවත් ඒ සඳහා විවිධ බාධක පැමිණීමත් නිසා මානසිකව පීඩාවට පත්ව ඇති දරුවන් ගැන නිතර අපහට ඇසීමට සිදුවනු ඇත.

කොතරම් උනන්දුවෙන් කටයුතු කළත් ඉගෙනීමට දක්ෂ වුවත් ඔබ විභාගයට පෙනී සිටින කාලය තුළදී ඔබට අශුභ ග්‍රහයකුගේ මහදශාවක් අතුරු දශාවක් වැනි දෙයකට මුහුණදීමට සිදුව ඇත්නම් ඔබගේ බලාපොරොත්තු කඩව ගොස් සිත් තැවුල් විදීමට සිදුවිය හැකිය. එම නිසා ඇතිවන බාහිර බලවේගවලින් මිදී අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමේ බලාපොරොත්තු වන අයුරින් ජයග්‍රහණ අත්කර ගැනීමට හැකිවනු ඇත.

විභාගයට පෙනී සිටින ඔබගේ මතක ශක්තිය අඩුව යාමට පවා ග්‍රහ බලපෑම් ඇති විය හැකි අතර පිළිතුරු ලියන විට සිතේ නිවරැදි පිළිතුර පැවතියත් ලිවීමේදී එය පැටලිලි සහිතව ලියැවෙන අවස්ථාවන්ද ඇතිවේ. එබැවින් එම අභාග්‍ය සම්පන්න තත්ත්වයන් මගහරවා ගැනීම සඳහා ඔබ පාඩම් කිරීමට ප්‍රථම ගණ දෙවියන්ට පින්දී පාඩම් කිරීම යහපත් වනු ඇත.

ඔබගේ පොත් මේසය මත ඊසාන දිසාවට වන්නට ගණ දෙවියන්ගේ රූපයක් තබා ගන්න. එයට නිල්, කහ, රතු යන පාටවලින් යුතු මල් පූජාකර සුවඳ දුම් අල්ලා ගණ දෙවියන්ට පින්දීම සිදුකරන්න. පසුව “ඕම් බුද්ධි පි‍්‍රයාය නමං” බුද්ධිය ලබා දෙන දෙවියනි මම ඔබට ගෞරව කරමි. යනුවෙන් තෙවරක් හෝ හත්වරක් සිහිපත් කර පාඩම් කිරීමට ගන්න. සරස්වතී දැහැන සාදාගෙන එයද කියවා පාඩම් කටයුතු කිරීමෙන් ඔබගේ මතක ශක්තිය වැඩිවනු ඇත.

ඔබට නිදිමතක් දැනේනම් සුළු වේලාවක් මෛත්‍රි භාවනාව සිදුකරන්න. පසුව පාඩම් කරන්න. ඔබ විභාගයට පෙනී සිටීමට ප්‍රථම පහත අයුරින් බෝධි පූජාවක් එක් දිනක් හෝ සිදුකිරීමෙන් යහපත උදාකරනු ඇත.

සමන්පිච්ච ඇතුළු සුදුමල් වට්ටියක්, පඬුරු 01, බුලත් 21, පහන් 21 එළකිරි වීදුරුවක්, සඳුන්, සැවැන්දරා දැමූ පැන්කල 07ක් සුදුමල් මාලාවක් හා සුදු කොඩි 3ක් ගන්න.

බෝමලුව හොඳින් පිරිසුදු කර චෛත්‍යයට ගොස් බුදුන් වදින්න. මල්මාලාවක් හෝ කොඩිවලින් බෝධිය සරසන්න. බුලත් 21 මත මල් තබන්න. බෝධියට මල් පහන් ආදිය පූජා කර එළකිරි බඳුනද පූජා කරන්න. සුවඳ පැන්කළ ගෙන බෝධියට දකුණත සිටින පරිදි ගමන් කරමින් මෙසේ කියාපිරිසුදු සිතින් ප්‍රාර්ථනා කරන්න.

“බුදුන්වහන්සේට බුද්ධවත්වය ලබා ගැනීමට පිහිට වූවාසේ බෝ සමිඳුන්ගේ අනුහසින් මාගේ මතක ශක්තිය වර්ධනය වේවා. ඥාන ශක්තිය වැඩි දියුණුවේවා. විභාගයෙන් විශිෂ්ට සමාර්ථ්‍ය මෙන්ම සාර්ථක භාවයක් ජයග්‍රහණයක් අත්වේවා. අධ්‍යාපන කටයුතුවලට පැමිණෙන බාහිර බලවේගයන්ගෙන් සිදුවන බාධක කරදර දුරුවේවා”.

විශේෂයෙන් සරස්වතී දේවියට හා ගණ දෙවියන්ට පින්දී පිහිට ප්‍රාර්ථනා කරන්න.

බෝධි පූජාව තබන දින පිරිසුදු සිතින් අසරණ කීප දෙනෙකුට බත් පාර්සල් කීපයක් දෙන්න. ඉගෙන ගන්නා දරුවන්ට, සාමනේර හිමිවරුන්ට පොත්පත්, පෑන්, පැන්සල් පරිත්‍යාග කරන්න.

විභාගයට යන දිනවලදී නිවෙසින් පිටත්වීමට පෙර එදිනට හිමි ග්‍රහයාට අයත් මල් හෝ දිනයට අදාළ පාට සහිත මල් ගෙන තෙරුවන් නමැද ගණ දෙවියන්ට හා සරස්වතී මෑණියන්ට පින් දෙන්න.

සඳුදාට සුදුමල් - පත්තිනි මෑණියන්ට,

අඟහරුවාදාට රතුමල් - කතරගම දෙවියන්ට,

බදාදාට නිල් මල් - විෂ්ණු දෙවියන්ට,

බ්‍රහස්පතින්දාට කහ මල් - කතරගම

දෙවියන්ට සහ පත්තිනි දෙවියන්ට,

සිකුරාදාට සුවඳ මල් සහ විසිතුරු මල් -

ඊෂ්වර, පත්තිනි දෙවිවරුන්ට,

සෙනසුරාදාට නිල්මල් - විෂ්ණු

දෙවියන්ට පිදීම සුදුසුය.

ඉන් පසුව මව්පිය වැඩිහිටියන්ගේ දෙපා නමැද ආශිර්වාදය ලබා ගන්න.

ජයෝමුනින්දස්ස සුබෝධි මූලේ ගාථාව තෙවරක් සිහිපත් කොට දකුණු පය පෙරට තබා එදිනට නියමිත දිශාව බලා නිවසින් පිටත් වන්න. විභාගය ලිවීමට පෙර ප්‍රශ්න පත්‍රය අතට ගෙන “නමෝ බුද්ධාය” යනුවෙන් තෙවරක් සිහිපත් කොට “ඕම් බුද්ධි පි‍්‍රයාය නමඞ” බුද්ධිය ලබාදෙන දෙවියනි මම ඔබට ගෞරව කරමි යනුවෙන් තෙවරක් සිහිපත් කොට ලිවීමට ගන්න.

ගණ දෙවියන්ට පින්දෙන ගාථාව

ඥාණේෂ්වර ලම්බෝදර කර්ත විලම්බීතා
පාස්තාදර මොදන මුෂ්ක වාහන නිත්‍ය
හස්ති වක්‍ර නාරද මත ශ්‍රේෂ්ඨ දන්ත
පුෂ්පාසන ගාම්තෝති හින්තංශ්‍රී ගනේෂ දිව්‍යං

හෝ වන්දේ ගනේෂ දේවේන්ද්‍රාං
සර්ව වින්තා පහාරිණං
ආරක්ෂං කුරුතං මහ්‍යං
කායන කාය්‍යෙෂු සර්වදා

දිනපතා සබ්බ පාපස්ස අකරණං ගාථාව 7 වරක් හෝ 21වරක් කියවීමටද යහපත් වේ.

තෙරුවන් බලයෙන් විභාග කටයුතුවලින් ඔබ සැමට සාර්ථක ප්‍රතිඵල අත්වේවා.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.