උසාවියේ විනිසුරුටත් පාඩම් ඉගැන් වූ කොණ්ඩදෙණියේ හිමි

මාර්තු 8, 2024

එකල පිටිසර ගම්මානයක් වුවද කොණ්ඩදෙණියේ ගම්වාසීන් බක්මාසයේ සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර නිසි ලෙස ඉටු කිරීමට දැක්වූයේ ඉමහත් උනන්දුවකි. වැව් ඉස්මත්තෙන් සුදු, රතු, නෙළුම් මල් කඩාගත් ගැමියන් පළමුව පන්සලට ගොඩවැදී බුදුරදුන් පුදන්නට එකාමෙන් පෙළ ගැසී ආවේ අලුත් ඇඳුම් ආයිත්තම් හැඳ පැලඳය.

අලුත් අවුරුද්දට අනුව ඔවුන්ගේ ආගමික භක්තියද ඔද වැඩී වෙනදාට වඩා පන්සලේ පවත්වන පින්කම්වලට එකතු වන පිරිස්ද දෙගුණ තෙගුණ වී වැඩිවන්නට විය. කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමිපාණන් වෙතින් ආශීර්වාද ගැනීමට මුළු ගමේම ජනතාව එකාවන්ව පෙළ ගැසුණි. අහිංසක ජනතාවට අලුත් අවුරුද්දේ තම ආශීර්වාදය පුද කිරීමට පිරිත් පැන්, පිරිත් නූල් බැඳීම්, දහස්වර ජපකළ කාසි බෙදාදීම් දිනය පුරා නොකඩා සිදු කිරීම උන්වහන්සේ වග බලා ගත්හ.

අද ද කොණ්ඩදෙණිය පොඩිහාමුදුරුවන් නමින් ප්‍රචලිත කොණ්ඩදෙණිය රජමහා විහාරාධිපති කඩම්බාවේ අනුරුද්ධ නායක හිමිපාණන් ද මේ චාරිත්‍රය එලෙසින්ම ඉටු කරයි. අහල ගම් හතක ජනතාව මේ ආශීර්වාදය ලබා ගැනීමට පෙළගැසී එති. ඒ අතර දුප්පත් ජනතාව සඳහා වියළි ආහාර මලු බෙදා දීමද එහි සිදු කෙරෙයි.

“අවුරුද්ද ලබන්නේ අදරෑට නොවැ.. හෙට ගමේ පන්සල් වත්තේ ඉඩමේ අවුරුදු උත්සවයක් පවත්වමු.” ගමේ තරුණ තරුණියන්, කොලු ගැටව් අමතමින් සීලරතන හිමියන් පැවසූහ. “හාමුදුරුවනේ දැනටමත් පන්සල් වත්ත කැළෑ වැදිල නොවැ. අවුරුදු උත්සවයක් තියන්න ඉඩකඩ මදි නොවැ.”

“හොඳයි... අපි එහෙනම් වැඩ අල්ලන නැකැතට මේ ලඳු කැළෑව සම්පූර්ණයෙන්ම ශුද්ධ කරල දාලා පිට්ටනියක් හදා ගනිමු. එහෙනම් මේ කොයි කවුරුත් ගිහින් ගෙදර තියෙන උදලු කෙටි, පොරෝ, මන්නා, පිහි අරගෙන ඇවිත් අපි වැඩේට බහිමු.” ගම්මු සැවොම හාමුදුරුවන්ගේ යෝජනාවට එක පයින් කැමැති වූහ.

නොනගතය ඉක්ම යාමට මත්තෙන් ගමේ කොල්ලන් රැසක් පන්සලට සේන්දු විය. ප්‍රථමයෙන් බුද්ධ මන්දිරයටත් ඉන් අනතුරුව දේව මන්දිරයටත් වැඩිය හිමියන් වන්දනාමාන කොට නියමිත කාල හෝරාවේ පන්සල් මිදුලේ කොඩිගසකට මන්නා පාරක් ගැසීය.

නමෝ විත්තියෙන් එයින් රූරා වැටෙන කිරි දියරය දෙස බලා සිටි ගම්මු නැකතට වැඩ පටන් ගති. හෝරාවක් ගතවන්නට මත්තෙන් පන්සලේ ඉදිරිපස තිබූ මහ ලඳු කැළෑව අලංකාර පිට්ටනියක් බවට පත් කරන්නට ඔවුන් සියලු දෙනාගේම ශ්‍රම මහන්සියෙන් හැකිවිය.

“දැන් හැමෝටම මහන්සි ඇතිනේ.” හැමෝම වැවට ගිහින් නාල කියල වරෙල්ලා” ඔවුහු හිමිගේ අණට කීකරු වූහ.

“අපේ ඩිංගිරි බණ්ඩා මෙදා සැරේ මුළු ගමටම දෙන්න අවුරුදු කෑම හදලයි තියෙන්නේ... හොඳින් සප්පායම් වෙයල්ලා. ඔය රබන් සුරල් එහෙමත් ගහපල්ල. පිට්ටනියෙ හදද්දි උඹලාගේ සවිශක්තිය මම හොඳින් දැක්කා නොවැ. අවුරුද්දේ තරගවලින් දිනන කණ්ඩායම්වලට තෑගිත් ලෑස්ති කරලයි තියෙන්නෙ. හැබැයි ඔය මත්පැන් බීල ඇවිත් රණ්ඩුසරුවල් කරගන්නවා එහෙම නොවෙයි.”

සිංහල අලුත් අවුරුදු උත්සවයට විවිධ තරග ඉසව් ජයටම පැවැත්වෙන්නට විය. ඒවාට බොහෝ පිරිස් සතුටින් සහභාගි වූහ. ඒ අතර රබන් දුලේ හඩින් මුළු පැත්තම ගිගුම් දිනි. ගම්මුන් අතර නව ප්‍රබෝධයක් ඇති විය.

අවසානයට තිබුණේ කඹ ඇදීමේ තරගයයි. කාය ශක්තියෙන් පිරිපුන් තම කොලු ගැටව් පිරිස ගැන හිමියන්ද සතුටු වූහ. එය කරටකර ද්වන්ධ යුද්ධයක් බඳු විය. අවසානයේ පැරදුණු පිරිසේ එහා ගමින් පැමිණි අයකු එක්වර පිරිස මැදට පැන දිනපු කණ්ඩායමට පහර දෙන්නට විය.

කලා කිරිඤ්ඤයක් ඔහු පැලඳගෙන පැමිණ ඇත. මෙහිදී එකිනෙකා පොර බැදීම නිසා ගමේ මෙතෙක් තිබූ සාමය, සතුට අවසන් විය. ලේ වැගිරුණ කිහිප දෙනකු රෝහල්ගත කෙරිණි. පොලිස් පොතේ සිද්ධිය සටහන් විය.

පොලිසිය නඩු දැමීය. නඩු දිනය උදා විය. අවුරුදු උත්සවය සංවිධාන කළ කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ සාක්ෂිය ප්‍රබල බව ගම්මු දැන සිටියහ. ප්‍රධාන සාක්ෂිකාර හිමියෝ උසාවියේ බංකුවේ හිඳගෙන සිටියහ. නඩුකාරතුමා එනතුරු සියලු දෙනා විමසිල්ලෙන් බලා සිටියහ. හිටි ගමන් තෝල්ක මුදලිගේ මහ හඬින් උසාවිය දෙදරුම් කෑවේ ය.

“උසාවිය නිශ්ශබ්ද වෙනු”

සියලු දෙනා හිඳගෙන සිටි අසුන්වලින් නැඟිට හිස් පහත් කොට ආචාර කළහ. එහෙත් කොණ්ඩදෙණිය හාමුදුරුවෝ තමන් වැඩ සිටි අසුනෙන් නොනැගිට සිටියහ. මෙය දුටු නඩුකාර උන්නාන්සේට තරමක කේන්තියක් හටගති.

“උන්වහන්සේ උසාවියට කළේ අපහාසයක්. ඇයි නැගිටල හිස පහත් කරන්න බැරි අසනීපයක් එහෙම තියෙනවද?

“මම කොණ්ඩදෙණියෙ හාමුදුරුවො. මම හිස පාත්කරන්නේ බුදුහාමුදුරුවන්ටයි වැඩිහිටි හාමුදුරුවන්ටයි විතරයි. තමුන්නැහේ රැකියාවට නඩු අහන නඩුකාරයෙක් විතරයිනේ.”

විනිසුරුතුමා වහාම පොලිස් නිලධාරීන් දෙදෙනකු කැඳවීය.

“මේ කට වාචාලයා එළියට ඇදල දානවා... ගිහියෙක් නම් මම කූඩුවට දානවා” එවිට පොලිස් නිලදරුවන් දෙදෙනාද අසරණ විය. කොණ්ඩදෙණිය හිමියන් සතු බලය ශක්තිය දැනගෙන සිටියද, රාජකාරී නියෝගයේදී කළ හැකි වෙනත් දෙයක් නොවීය.

ක්ෂණිකව ඒ මොහොතේ සිටගත් හාමුදුරුවන් තම කුඩයේ කෙළවර රිදී විල්ලෙන් බිමට තෙවරක් ඇන්නේ හඬ නංවමිනි. ඉක්බිති ඉක්මන් ගමනින් උසාවි භූමියෙන් පිටතට වැඩියහ.

යළිත් උසාවියේ වැඩ සුපුරුදු පරිදි ඇරඹිණි. විනිසුරුතුමා තමා ඉදිරිපස ගොඩගසා ඇති නඩු ගොනු පරීක්ෂා කරන්නට බැලීය. ඒත් අත්ඇඟිලි ගල් ගැසී තිබුණි. විනිසුරුතුමාට එක්වරම ඩහදිය වැගිරෙන්නට විය. කට හැරගත් පරිදි එලෙසම මුව විවරව තිබුණි. විනිසුරු අසුනෙන් නැඟිට ගන්නවත් ශක්තියක් නොවීය. දෙපා වාරු නැතිවිය.

නැවත තෝල්කමුදලිගේ හඬ අවදි විය. “නඩුකාර උන්වහන්සේට හදිසි අසනීපයක් හැදිල අද උසාවි වැඩ අවසන්” පැමිණ සිටි පිරිස කෙමෙන් විසිර යන්නට විය. “නඩුකාර හාමුදුරුවෝ කටවරද්ද ගත්තා” යයි කෙනකු කියනු ඇසිණි.

තෝල්කමුදලිට සියල්ල වැටහිණ. විනිසුරු පුටුවේ නඩුකාර උන්නාන්සේ ගල් රූපයක් වගේ කට ඇරගෙන ඉන්නවා.

මේ තත්ත්වයෙන් මුදා ගන්න නම් කොණ්ඩදෙණිය පන්සට විගහට ගොස් සමාව අයදින්නවත් වෙනවාමයි. තම හිතවත් පොලිස් නිලදරුවන් දෙදෙනකු සමඟ තෝල්කමුදලි තැන කොණ්ඩදෙණිය පන්සලට ගොස් “අපි වෙනුවෙන් උන්නාන්සේට සමාව දෙන්න හාමුදුරුවනේ” යැයි ඉල්ලීම් කළේ ය. “ඔය විනිසුරුතුමා මට වාචාලයා යයි කිවුවා ඕගොල්ලන්ටත් ඇහුණ නොවැ. උන්දෑ මට කතා කරපු විදිහට ඔහොමම ගල් ගැහිල හවස් වෙනකම්ම හිටපු දෙන්.”

“අනේ නායක හාමුදුරුවනේ නඩුකාර උන්නාන්සේගේ ගෙවල් තියෙන්නේ ඈත පළාතක අපිට සමාවෙලා උන්නාන්සේට සමාව දෙන්න.”

“හොඳයි ඕගොල්ල යන්න ඒ වෙනකොට සිහිය එයි” පැවසූ හිමියන් වැලි අහුරක් අතටගෙන මතුරා පිරිස දෙසට විසි කළේ ය. පැමිණි පිරිස ආපසු ගියහ. නඩුකාර උන්නාන්සේට හිමියන් ඉදිරියේ තමන් කළකී දේ මතක් විය. තෝලකමුදලි ඇතුළු කණ්ඩායම කරුණු වටහා දිණි. පසුව කොණ්ඩදෙණිය පන්සලට විනිසුරුතුමා කැටුව පැමිණෙන ලදී. හිමියන්ගේ සමාව හිමිවිය.

කොණ්ඩදෙණියේ පොඩි හාමුදුරුවන් නමින් විරුදාවලිය ලත් කඩම්බාවේ අනුරුද්ධ හිමියන් ද අයුක්තියකදී අසාධාරණයකදී තම ගුරු පරපුරේ හාස්කම් දැක්වීමට සමත් වන්නේ ලොකු හාමුදුරුවන්ගෙන් ලද ආභාසය නිසාය.

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර්

ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.