නිදන කාමරයේ ධන උල්පත් මවන රහස්

නොවැම්බර් 22, 2024

ධනාත්මක ශක්තිය ජීවිතයට ළඟා කරන්න හෝ ඔබෙන් දුරස් කරන්න නිවෙසේ ඔබ භාවිත කරන ගෘහ භාණ්ඩ මෙන්ම විදුලි උපකරණ ආදිය හේතු වන බව ඔබ දන්නවා.

ඒ අතරින් සෞභාග්‍යය, ධනය හා දියුණුව සීමා කරන විවිධ දේ ඔබ නොදැනුම්වත්වම ඔබේ නිදන කාමරයේ තබාගෙන ඇති. මේ ලිපිය කියවා නිමවන මොහොතේ සිට ඔබ මේ පිළිබඳ අවධානය යොමු කරනවා නිසැකයි.

නිදන කාමරය අවුල් සහගතව තබා ගැනීමෙන් මෙන්ම ඇතැම් භාණ්ඩ එහි තැබීමෙන් අසුබ ඍණ ශක්තීන් අඛණ්ඩව ගබඩා වී ඔබගේ ශාරීරික හා මානසික ශක්තිය පිරිහීමට ලක්වනවා. එය ඔබට එකතැන පල්වන ජීවිතයක් ලබා දීමට, මූල්‍ය අර්බුදවලට, දියුණු වීමට ඇති අවස්ථා අහිමි කිරීමට, අඹුදරු සබඳතා දුර්වල කිරීමට මෙන්ම ලිංගික ජීවිතය වියවුල් කිරීමට හේතු සපයනවා. එනිසා නිදන කාමරය ඉතා පිළිවෙළට මෙන්ම ධනාත්මක ශක්තීන් පමණක් ආකර්ෂණය වන අයුරින්ම තබාගත යුතුයි.

මෙහි ඉතා වැදගත්ම පියවර වන්නේ දිගු කාලයක් පුරා භාවිතයට නොගන්නා රෙදි සහ සපත්තු සෙරෙප්පු නිදන කාමරයෙන් ඉවත් කිරීමයි. එයින් ඇතිවන සෘණ ශක්තීන් කාමරයේ හෝ අල්මාරිවල ඉඩ අහුරනවා පමණක් නොව ඔබ අතීතයේ සිර කර අනාගත අවස්ථාවන් පැහැර ගැනීමට මෙන්ම, ඔබේ මූල්‍ය අරමුණු විනාශ කර දැමීමට ද හේතු වෙයි. ඒ එහිදී ඔබ විශ්වයට යවන්නේ වැරැදි තරංගයක් බැවිනි. එබැවින් ඔබේ ඇඳුම් අල්මාරිය හෝ කබඩය හොඳීන් අස්පස් කරන්න. අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් එය තුළ තබන්න. එයින් බාහිර දැක්ම මෙන්ම ඔබේ මසසේ සැහැල්ලු බව සහ පිළිවෙළ දැක්වෙන අතර සුබ ශක්තීන් ආකර්ෂණයට හේතුවෙයි.

නිදන කාමරය තුළ ඇති කැඩී බිඳී ගිය විදුලි හෝ විද්‍යුත් උපකරන මෙන්ම දිගු කලක් භාවිත නොකර ගොඩගසාගෙන සිටින එවැනි භාණ්ඩ වහාම ඉවත් කරන්න. ඒ ඒවා මඟින් කාමරයේ ඉඩ අහුරනවා පමණක් නොව අසුබ ශක්තීන් ගබඩා කරමින් මූල්‍ය අර්බුදයන්ට මඟ පාදන බැවිනි.

තවත් සතුරු ශක්තියක් වන්නේ එකතු කරගෙන සිටින අනවශ්‍ය ලිපි ද්‍රව්‍ය හා කොළ කැබැලිය. ඔබේ නිදන කාමරයේ පරණ බිල්පත්, කොළ කැබැලි, බස් ටිකට් ආදිය එකතු වී ඇත් නම් ඒවා සම්පූර්ණයෙන්ම ඔබේ මූල්‍ය ශක්තිය පහත හෙළන්නට හේතු වෙයි. අතීතයේ මතකවලින් පමණක් ඔබ පුරවාලයි. නව අදහස් සහ අවස්ථා ඔබෙන් ඈත්කර දමයි. ශාරිරික හා මානසික ශක්තිය අවම කිරීමට හේතු වෙයි. ඔබට ඉදිරියට අවශ්‍ය වන ලිපි ද්‍රව්‍ය පමණක් පිළිවෙළකට තබා ගෙන මූල්‍ය ශක්තිය වර්ධනය වන ආකාරය ඔබම නිරීක්ෂණය කරන්න.

ඉතාම දැඩි ලෙස අසුබ ශක්තීන් රැස් වීමට හේතු වන්නේ කැඩී බිඳී ගිය ලීබඩු උපකරණ ආදිය නිදන කාමරයේ තබා ගැනීමයි. එවායින් අසුබ ශක්තීන් ඇද ගන්නවා පමණක් නොව ඔබ විසින් විශ්වයට ලබා දෙන්නේ විකෘති වූ පණිවිඩයක්. එයින් ඔබට සුබ ශක්තීන් ඇද ගැනීමේ හැකියාව සම්පූර්ණයෙන් අහිමි වෙයි. නිතර ඒ කැඩුණු බිඳුණු ගෘහභාණ්ඩ සමඟ ගනුදෙනු කිරීමෙන් ඔබ මානසිකව මෙන්ම කායිකව අසහනකාරී, කලකිරුණු ස්වභාවයටත් පත් වෙයි. ඔබේ නැවුම් හැඟීම් සඟවා දැමීමට එය හේතු වේ. ඔබට හිමි දේ පවා පෙනි පෙනී අහිමි වීමට, ලැබීම කල්ගත වීමට මෙවැනි භාණ්ඩවලින් නිදනකාමරය පුරවාගෙන සිටීම හේතු වනු ඇති.

පැළෑටි මඟින් අපට පෙන්වා දෙන්නේ ජීවය සහ වර්ධනයයි. එහෙත් මැරුණු හෝ මැලවුණු ශාක මෙන්ම ප්ලාස්ටික් හෝ කෘත්‍රිම ශාක මඟින් ඔබට එවැන්නක් හැඟෙනවාද? එනිසාම එවැනි කෘත්‍රිම පැළෑටි තැබීමෙන් ඔබ එකම තැන පල්වන චරිතයක් වනවා මෙන්ම පීඩාකාරී ශක්තීන් ගෙතුළට අද්දා ගනියි. පැළැටියකට සාත්තු කරමින් එය නිසි ලෙස රැකබලාගත නොහැකි නම් වඩාත්ම සුදුසු දේ ඔබ කිසිදු පැළෑටියක් නිදන කාමරය තුළ තබා නොගැනීමයි. හේතුව මැළැවුණු හෝ මැරීගෙන එන ශාක මඟින් නිකුත් කරන ශක්තිය මෙන්ම එය මඟින් ඇද ගන්නා අසුබ ශක්තිය ඔබට අසුබදායී ප්‍රතිපල පමණක් නොව දොම්නස, දුක හිමි කරදීමට හේතු වීමයි. එසේම කෘත්‍රිම ශාකවලින් වර්ධනය පිළිබඳ ඇතිකරන්නේ ව්‍යාජ හැඟීමක්. එය ඔබේ ජීවිතයේ වර්ධනයට ද එලෙසම බලපානු ඇත.

කැඩුණු බිඳුණු කණ්ණාඩි නිදන කාමරයේ තබා ගැනීම ඉතාමත් භයානක ප්‍රතිපල ගෙන දෙන බව බොහෝ රටවල පවා ඇති තදබල විශ්වාසයක්. එක් කණ්ණාඩියක් බිඳුණහොත් සත්වසක් පුරා ණයබර ගෙනෙන බව තවත් මතයක්. එසේම කණ්ණාඩියක් නිදන ඇඳ පෙනෙන පරිදි මෙන්ම දොර පෙනෙන පරිදි තැබීම පවා අසුබ කරුණක් බව විශ්වාසයයි. බිඳුණු කණ්ණාඩි නිදන කාමරයේ පමණක් නොව නිවෙසක පවා තබා ගැනීම බරපතළ මූල්‍ය අර්බුදවලට හේතු වන සලකුණක් බව අතීතයේ සිට බොහෝ සංස්කෘතිවල පිළිගැනීමයි. එබැවින් යන්තම් හෝ ඉරක් ගිය කණ්ණාඩියක් හෝ ඔබේ නිදන කාමරයේ ඇත්නම් එය වහාම ඉවත් කිරීමට වගබලා ගන්න. එයින් පසු ඔබ මේ මොහොතේ මුහුණ දෙන ගැටලු ආදිය ක්‍රමයෙන් විසඳී යන ආකාරය ඔබටම අත්දැකිය හැකියි. නියමාකාරයෙන් ස්ථානගත කර දර්පන තලය සුබ ශක්තීන්වල බලය දෙගුණ තෙගුණ කර දෙයි.

අනෙක් වැදගත්ම දෙය ඔබට දොම්නස් සහගත මතකයන් ගෙන එන බඩු භාණ්ඩ ඉවත් කිරීමයි. බිඳුණු ප්‍රේමය, නැති වූ නෑ හිතමිතුරන් ආදිය සිහිපත් කරන කිසිදු සලකුණක් සහිත කිසිවක් නිදන කාමරයේ තබා ගැනීම කිසිසේත්ම සුදුසු නැත. එය ශෝකී අත්දැකීම්, කේන්තිය ආදි හැඟීම් සමඟ බැඳුණු මතකයන් සිහිපත් කිරීම නිසා දවසේ ක්‍රියාකාරීත්වය අඩාළ වන අතරම ඔබගේ මූල්‍ය ස්ථාවරත්වය, සෞභාග්‍යය, නිවසේ සාමය සතුට වැනි සියල්ල අහිමි කිරීමට හේතුවනු ඇත.

ඔබේ නිදන කාමරයේ ඇති ඔරලෝසුව නතර වී ඇත්නම්, ඔබ නොදැනුවත්වම ජීවිතයේ ගමන නතර කළා හා සමාන ප්‍රතිපල ලැබෙනු ඇත. එනිසාම එකතැන රැඳුණු ඔබට අවස්ථා අහිමි වීම හා ඉදිරියට යෑම අවහිර වීම සිදු වේ. ඔබේ දියුණුව ඉන් නතර වන බවද කියැවේ. එනිසා ඔබේ නිදන කාමරයේ ඔරලෝසුවක් තිබේ නම් එය නිවැරැදි වේලාව දක්වන්නේද යන්න යළිත් තහවුරු කරගන්න.

මත්පැන් බෝතල්, දුම්වැටි පැකට්, කෙටි කෑම ගෙනා මලු ආදිය කාමරයේ තිබේ නම් එයින් අදහස් කෙරෙන්නේ වැරැදි පුරුදුවලට ඔබේ ඇති ඇබ්බැහියයි. ඒවා ඉවත් කිරීම සුබ ශක්තීන්ට කාමරය විවෘත කිරීමකි. එය ඔබේ මූල්‍යමය තත්ත්වය ඉහළ දැමීමටත්, ඍණාත්මක ආකල්ප සහ පසුගාමී තත්ත්වය වෙනස් කිරීමටත් හේතු වෙයි. ඔබේ ජීවිතයට ගෞරවණීය බවක් සමඟ සුවය, සැනසීම උදාකරයි.

ඔබේ නිදන කාමරයේ ඉඩ තිබේනම්, පිරිසුදු වතුර බෝතලයක්, සෞඛ්‍ය සම්පන්නව වැඩෙන ශාකයක් හෝ ධනාත්මක සිතිවිලිවලින් ඔබට සතුට ගෙනෙන ආකාරයේ තොරතුරු ඇතුළත් පොතක් නිතර පේන මානයේ තබා ගැනීම හොඳම ක්‍රමයකි. එවැනි සුබදායී දේ තැබීමෙන් ඔබේ කාමරයේ ඇති ව්‍යාකූලතාවන් නැසෙනවා පමණක් නොව ඔබ ධනයෙන් බලයෙන් සහ ශක්තියෙන් ආඪ්‍ය පුද්ගලයකු වීමට අවශ්‍ය මඟ පෑදෙනු ඇත.

එසේම වීදුරු බෝතලයක දැමූ මැණික් කැට වැනි පාෂාණ කීපයක්, වාසනා උණ බම්බු ගසක් හෝ ගෙතුළ නිරෝගීව වැඩෙන ශාකයක් හොඳීන් රැකබලාගැනීම වඩාත් සුදුසුය. ධනාත්මක වැකි, කහ, ළා කොළ, රන්වන් පැහැය වැනි සුබ කිරණ ආකර්ෂණය කරන වර්ණවලින් කාමරය වර්ණගන්වා ගැනීම ද සුදුසුය. එසේත් නැත්නම් ඔබේ කොට්ට උර, ඇඳ ඇතිරිලි හෝ තිර රෙදි ඒ වර්ණවලින් යොදා ගැනීම මඟින් ධන උල්පත් පෑදීමට මඟ විවර වේ. එමෙන්ම කාමරයේ ධූලි පිස දැමීම මඟින් එහි තැන්පත් වී ඇති අසුබ ශක්තීන් පළවා හැරීම සිදු වේ. එසේම දිනපතා ජනේල විවෘත කර තැබීම සහ ඔබේ අනාගත බලාපොරොත්තු සාර්ථක කර ගැනීමට අදාළ ඉඟි ආදිය දැක්වෙන චිත්‍ර හෝ වැකි මෙන්ම ඔබේ ජයග්‍රහණයන් පිළිබඳ සංකේත හා පින්තූර නිදන කාමරයේ තබා ගැනීමෙන් ඔබ ප්‍රබෝධමත් හා උද්යෝගීමත් පුද්ගලයකු බවට පත්වනු ඇත.

තව ද ඔබ අනාගතය අරමුණු පිළිබඳ සිතෙන් මවාගනිමින් චිත්‍රපටයක් බලන්නා සේ අනාගතයේ ඔබගේ ජයග්‍රහණ අත් කරගෙන සිටින අයුරු මනසින් දැකීම ඉතාම වැදගත්ය. දිනපතා ඒ සඳහා මිනිත්තු කීපයක් වෙන් කර ගැනීමට පුරුදු වන්න. ඔබට ලැබුණු දේ පිළිබඳ සතුටු වීම ඉතා වැදගත් වන අතර එය වෙනුවෙන් විශ්වයට ස්තූතිවන්ත වීමද ඒ තරමටම වැදගත්ය.

නිදන කාමරය පිළිවෙළ සහ පිරිසුදු කරගැනීම යනු ඔබේ දියුණුවේ ආරම්භයයි. එයින් ඇරඹුමක් ලබන ඔබට ක්‍රමයෙන් මුදල් අගහිඟතා නැතිව තම අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වන විට, සතුට සැනසුම, සබඳතාවලින් ජීවිතය පිරෙන විට සහ ආත්ම ශක්තිය වැඩි වන විටත්, ඔබේ රැකියාව හෝ ව්‍යාපාර දියුණු වන විටත් මේ ක්‍රමය නිවෙසේ අනෙක් කොටස්වලට ද ඉබේම යොදා ගැනීම ඔබ විසින්ම සිදු කරනු ඇත. මෙය ඒ තරමටම ප්‍රත්‍යක්ෂ වූ ක්‍රමවේදයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.