රුචක යෝගය ඇත්තන්ට කදිර දෙවිඳුගෙන් වැඩි පිහිටක්

ඔක්තෝබර් 11, 2024

ඡ්‍යොතිෂයේ දැක්වෙන මහා යෝගයන් අතර පංච මහා පුරුෂ යෝග ඉතාමත් ප්‍රබල ස්ථානයක් ගනියි. මේ පංච මහා පුරුෂ යෝග නම් කුජගෙන් යෙදෙන රුචක යෝගය, බුධගෙන් යෙදෙන භද්‍ර යෝගය, ගුරුගෙන් යෙදෙන හංස යෝගය, සිකුරුගෙන් යෙදෙන මාලවි යෝගය හා සෙනසුරුගෙන් යෙදෙන සස යෝගයයි. මෙහිදී මේ ග්‍රහයෝ ලග්නයෙන් 1, 4, 7, 10 ආදී කවර හෝ කේන්ද්‍රස්ථානයක වෙමින් ස්වක්ෂේත්‍රව, මුල ත්‍රිකෝණව හෝ උච්චව සිටීද එවිට ඒ ඒ ග්‍රහයන්ට අදාළ යෝග යෙදේ. මෙසේ යෝගයක් යෙදුණු කල අදාළ ග්‍රහයාගේ කාරකත්වය ඉතා ඉහළින් පෝෂණය වේ.

ඔහුට අදාළ සියුම් නියෝජනයන් පණ ගැන්වේ. එම ග්‍රහයාගෙන් ලැබිය යුතු යහපත් භාව භාවාධිපති ප්‍රතිපල මෙන්ම එම ග්‍රහයාගේ ස්වරූපයට අදාළ ප්‍රතිපල වඩ වඩාත් සක්‍රීය කරමින් ජන්මියාට ආශිර්වාදයක් ලැබෙනු ඇත. එනිසා අදාළ ග්‍රහයාගෙන් ලැබිය යුතු ඉහළම ප්‍රතිපල ලබා ගැනීමට ජන්මියාට හැකියාව ලැබේ.

සාමාන්‍යයෙන් කුමන ලග්නයක් වුවත් මේ රුචක, භද්‍ර, හංස, මාලවි, සස යන යෝග පහම යෙදෙනවා යැයි පැවැසීම අසීරු ය. සමහරවිට ඉන් දෙක තුනක් පමණක් යෙදීමේ වාසනාව තිබිය හැකිය. ඒ හැර පංච මහා පුරුෂ යෝග 5ම යෙදීමේ ඉඩ ප්‍රස්ථා උගහටය. උදාහරණයක් වශයෙන් මේෂ ලග්නය වී ඉපදෙන්නෙකුගේ කුජ ලග්නයේ නම් ස්වක්ෂේත්‍රය. ගුරු 4 නම් උච්චය. සිකුරු 4 නම් ස්වක්ෂේත්‍රය. සෙනසුරු 10 නම් උච්චය.

මේ ආදී වශයෙන් අතිශය කලාතුරකින් වුවද යෝග 4ක් යෙදීමේ අවකාශය නැත්තේ නොවේ. එහෙත් බුධ භද්‍ර යෝගය උදාකරන්නා වශයෙන් මෙහි කුමන කේන්ද්‍රස්ථානයක හෝ ස්වක්ෂේත්‍ර වීමත් මුල ත්‍රිකෝණවීමත්, උච්ච වීමත් යෙදෙන්නේ නැත්තේම ය. එනිසා බුධගෙන් යෙදෙන භද්‍ර යෝගය අහිමි වෙයි.

බුධගෙන් භද්‍ර යෝගය යෙදීමට නම්, ලග්නය මිථුන, කන්‍යා, ධනු, මීන ආදී ලග්නයක් වීම අත්‍යවශ්‍ය වේ. එවැනි ලග්නයක් වූ කල බුදහු කේන්ද්‍රගත වීමේ වරප්‍රසාදයත් සමඟ උච්ච, මුල ත්‍රිකෝණ හෝ ස්වක්ෂේත්‍ර වීම ආදී බලයක් ලබා භද්‍ර යෝගය යෙදීමේ අවකාශය තිබිය හැකිය. එහෙත් එම ලග්න 4න් කවර කේන්ද්‍රස්ථානයක නමුදු සෙනසුරු සිටියත් ශශ යෝගය නම් නොයෙදේම ය. එය රාශි එකක්වත් සෙනසුරුගේ ස්වක්ෂේත්‍ර, මුල ත්‍රිකෝණ හෝ උච්ච රාශි නොවන හෙයිනි. කුජට වුවද මේ රාශිවලදී කේන්ද්‍රස්ථානගතවීම තුළින් රුචක යෝගය නොයෙදේ. එහෙත් ගුරු, සිකුරු වැනි ග්‍රහයන්ට මේ රාශි 4 හි කවර හෝ තැනක උච්ච වීම, ස්වක්ෂේත්‍ර වීම වැනි යෙදුමක් තුළින් හංස යෝගය, මාලවි යෝගය වැනි යෙදුමක් යෙදීමට අවකාශ ඇත. එනිසා ලග්න 12ටම එකවිට පංචමහා පුරුෂ යෝග යෙදීමේ අවකාශයත් කිව නොහැකි ය. ඒ කෙසේ වුවත් මේ යෝග කීපයක් හෝ යෙදෙන්නේ නම් එම යෝගවල ආකර්ෂණයෙන් ජන්මියා උදාරත්වයට ශ්‍රේෂ්ඨත්වයට පත්වේ.

පංචමහා පුරුෂ යෝගවලදී රවි, සඳු යන ග්‍රහයන් අවධානයට ලක් නොවේ. ඔවුන් දෙදෙනා මණ්ඩල ග්‍රහයෝය. කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි ආදී ග්‍රහයෝ තාරා ග්‍රහයන් වශයෙන් සැලකේ. මේ තාරා ග්‍රහයන්ගෙන් පංච මහා පුරුෂ යෝග යෙදේ. රවි සඳුට වෙන වෙනම යෝග නාමාවලියක්ම ඇත. එම ග්‍රහයන්ට අදාළ යෝග පංච මහා පුරුෂ යෝගයට අයත් නැත.

රුචක යෝගය

කුජ හෙවත් අඟහරු රුචක යෝගයේ නිර්මාතෘවරයාය. සටන, නිර්භීත බව, එඩිතරකම, අයෝමය වීර්යය සහ තදබල සටන්කාමීත්වය නියෝජනය කරන ග්‍රහයා වශයෙන් කුජ හැඳින්වේ. කුජගේ බලය ශරීරය වශයෙන් ගත් කල කුජ විශේෂයෙන්ම ඇට මිදුළු සම්බන්ධ කාරකයාය. ශාරීරික ශක්තියට ඇට මිදුළු හොඳින් තිබිය යුතු ය. ශරීරයේ අවයව වශයෙන් බාහු (අත්) කුජගේ අංගෝපාංග වේ. කුජ මනා ලෙස පිහිටා ඇති අය ශක්ති දේහධාරී වික්‍රමාන්විත පෙනුමක් ඇති, අත් සහ බාහු ඉතා මැනවින් පිහිටා ඇති ශරීරය ද ශක්තිමත් බවක් නිරූපණය කරන බොහෝ සෙයින් රක්ත වර්ණ ස්වභාවයට නැඹුරු වේ. බැල්මෙන්ම, නිර්භීත බවක් පෙනෙන ලක්ෂණයක් ඉස්මතු කරයි.

ලංකාවේ මහා ශ්‍රේෂ්ඨ විද්වත් භාෂා කීපයකින්ම උගත් හරමානිස් අප්පුහාමි නැමැති මහා වියතා සම්පාදනය කරන ලද ජාතක රත්නාකරය නැමැති ග්‍රන්ථයෙහි පංචමහා පුරුෂ යෝගවලට අයත් රුචක යෝගය පිළිබඳව මෙසේ දක්වා ඇත.

රුචකයෙහි උපනුන් මද රත් පැහැවෙති

ඇඟ වෙර විරියද සතරත් දැනුමැති

යහපත් පැවතුම දී මෙහි තුටුවෙති

රජෙකුට බඳු යස ඉසුරෙන් යුතුවෙති

කුජ මෙසේ කේන්ද්‍රගතව ඉහත කී ස්වක්ෂේත්‍ර, උච්ච, මුල ත්‍රිකෝණ ආදී වශයෙන් ඉතා බලවත්ව ඇත්නම් ඉහත සඳහන් සිය ගුණාංගයන්ගෙන් පෝෂණය වෙයි. එවිට ඔහු තද බල සටන්කාමියකු වෙයි. මෙවැනි යෙදුම් ඇති අය ත්‍රිවිධ හමුදාව, පොලීසිය වැනි ආරක්ෂක අංශවල රැකියා කරති. ඒ තුළින් තමාගේ අභිමානවත් ස්වරූපය මනා ලෙස පෙන්වන අය වෙති. මෙරටෙහි යුදමය ක්‍රියාවලිය තුළදී අංක 1ටම විරෝදාරත්වය හා එඩිතර බව පෑ එක්තරා බලවත් අයකුගේ කේන්ද්‍රයෙහි කුජ සිටියේ 4 වැන්නේ ය. ඔහුගේ ලග්නය තුලාව විය. තුලාව වන විට 4 වැන්න මකරය වේ. මකරයට කුජ උච්ච වේ. එනිසා එම විරෝධාර පුද්ගලයාගේ කුජගේ බලය මත රුචක නැමැති පංචමහා පුරුෂ යෝගය යෙදී තිබුණි. ඔහු භය හඳුනන්නේ නැති කෙතරම් ප්‍රහාරයට ලක් වුවත් ඒ පිළිබඳව පසුගාමීත්වයෙන් තොර වූ අවසාන ජයග්‍රහණය වන තෙක්ම සටන් භූමියේ රැඳී සිටි ප්‍රබලයකු විය. ඒ කුජ රුචක යෝග බලයෙන් උච්චව සිටීම ඊට අදාළ හේතුවයි. පෙනෙන පෙනුමෙන් ද ආරෝහ පරිණාහ දේහ සම්පත්තියෙන් යුක්ත වූ ඔහු කුජගේ නිරූපණයට පෙනෙන ශාරීරික අංග උපාංගයන්ගෙන් ද යුත් අයෙක් විය.

කුජ පිළිබඳව සඳහන් කිරීමේ දී දක්වා ඇත්තේ ‘කුමරං ශක්ති හස්තංච’ ආදී වශයෙනි. මෙහි ශක්ති යනු යගදාවයි. යදගාවක් අතින් ගත් කුමාරයා යන්න කුජ පිළිබඳව දක්වා ඇති සටහනයි. ප්‍රබල ආයුධයක් අතින් දරා සිටින තාරුණ්‍යමය ස්වභාවයෙන් යුතු සටන්කාමියා යන්න මේ තුළින් විද්‍යමාන වේ. එහෙයින් රුචක යෝගය ඇති අය දකින දැකුමෙන්ම එඩිතර නිර්භීත සටන්කාමී අය බව කිවයුතුව ඇත.

ඔවුන්ගේ මුහුණ කට දෙස බැලීමේ දී එම උදාර වික්‍රමවත් බව පැහැදිලි වනු ඇත. සාමාන්‍යයෙන් කුජ මෙසේ ඉතා බලවත්ව කේන්ද්‍රගත වෙද්දී පුද්ගලයාගේ කුජට උරුම අංග ප්‍රත්‍යංග ලක්ෂණ පුද්ගලයා තුළින් මොනවාට පැහැදිලි වන්නේ ය.

කුජ මෙසේ රුචක යෝගය උදා කරන්නට පෙර ඇති කරන තවත් ප්‍රතිපලයක් නම් කුජට අයත් භාවාධිපතීත්වයේ උද්දීපනයයි. උදාහරණයක් වශයෙන් මේෂ ලග්න ජන්මියා ගේ කුජ රුචක යෝග බලයෙන් යුතු නම් ලග්නාධීපති හෙවත් මේෂයට අධිපති වශයෙන් ලග්නගත නියෝජන බලය ඉස්මතු වේ. මෙලෙසින් තුලාව වී නම් කුජ 2 හා 7 අධිපති නිසා එනම් 2 වැන්න වන වෘශ්චිකය හා 7 වැන්නට වශ්චිකය අධිපති නිසා 2 වැන්නෙන් නියෝජනය වන ධනය පිළිබඳ උද්දීපනයත් 7 පිළිබඳ නියෝජනයෙහි උසස් වටිනාකමත් යෙදේ. මේ ආකාරයට රුචක යෝගය යෙදුණු කල කුජට අයත් භාවාධිපති ප්‍රතිපල උද්දීපනය වන බවද තරයේ සිතට ගත යුතු ය.

යෝගයේ ප්‍රතිපල නිසිලෙස නොලැබීම

රුචක යෝගය ඇත්තේ නමුදු එම රුචක යෝගයට කාරකයා වන කුජ තද බල පාප සංයෝග වීම පාපීන්ට මැදිවීම හෙවත් පාප කර්තරී වීම වැනි අබල දුබල තාවයන්ට පාත්‍ර වන්නේ නම් රුචක යෝග ප්‍රතිපල නිසි ලෙස නොලබන බවද සඳහන් කළ යුතු ය.

යෝගයේ බලය වඩාත් හොඳින් ලබා ගැනීමට

රුචක යෝගයේ බලය වඩ වඩාත් උද්දීපනය කිරීමෙහි ලා කොරල් හෝ රතු ගලක් පැළඳීම වඩාත් හිත කර වේ. රුචක යෝග බලයෙන් යුතු අය කතරගම දේවාශිර්වාදය තුළින් වඩ වඩාත් ඉහළ ප්‍රතිපල ලැබිය හැකි ය.

වන්දේ ස්කන්ධ කුමාරං තං

කචරංග්‍රාම ගෝචරං

පරිරක්ෂතු මාං නිත්‍යං

වර්ධයාන් සුඛ සම්පදා

එසේ කතරගම දෙවියන් පිදීමේදී මෙය භාවිතා කිරීම යෝග්‍ය වේ.

ආචාර්ය ජී. ඇම්. ගුණපාල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.