නමේ මුල් අකුරින් ඔබ ගැන දැනගන්න

ඔක්තෝබර් 11, 2024

අංක විද්‍යා ඡ්‍යොතිෂයට අනුව ඔබේ නම ඉංග්‍රීසි භාෂාවෙන් ලියු විට ඔබේ නමේ මුලට යෙදෙන අකුර අනුව ඔබගේ ගතිගුණ චරිත ලක්ෂණ හා විශේෂතාවයන් පිළිබඳව මෙහිදී සඳහන් කරනු ලැබේ. ඉංග්‍රීසි භාෂාවේ A අකුරේ සිට W අකුර දක්වා නම් පටන් ගන්නා අයගේ පලාපල විස්තර පසුගිය කලාපවලින් සාකච්ඡා කරන ලදී. මේ ලිපියෙන් ඉංග්‍රීසි හෝඩියේ අවසන් අකුරු වන X,Y,Z යන අක්ෂරයන්ගෙන් නම් පටන් ගන්නා ඔබ පිළිබඳ විස්තර පැහැදිලි කරන අතර පළමුවෙන්ම X  අකුරෙන් නම පටන් ගන්නා අයගේ විස්තර කුමන ආකාරයෙන්ද යන්න සලකා බලමු.

 

X අකුර

මේ අක්ෂරයෙන් පටන් ගන්න නම් සිංහල භාෂාවේ හෝ ලංකාවේ භාවිත වනවා දක්නට නොමැති තරම් වෙයි. සිංහල නම් දුලබ වුවත් වෙනත් රටවල වෙනත් භාෂාවන් තුළ මේ අකුර පුද්ගල නාම සඳහා බොහෝ සෙයින් භාවිත වනු දක්නට ලැබේ. කෙසේ මුත් මේ අක්ෂරයෙන් පුද්ගල චරිත කෙරෙහි ධනාත්මක ආකාරයේ බලපෑමක් සිදුවන බව පෙනේ.

මොවුන් නවීන අදහස්වලින් යුක්ත පුද්ගලයන් වෙයි. සෑම විටකදීම සෑම අවස්ථාවකදීම ජීවිතය තුළ අලුත් වෙනසක් බලාපොරොත්තු වෙයි. අලුත් මෝස්තරයේ ඇඳුම් පැළඳුම් ඇඳීමට මෙන්ම නවීන විලාසිතාවලට ද මොවුන් බෙහෙවින් කැමැතිය. කාලයට තාලයට ගැළපෙන ආකාරයට වෙනස් වීම මොවුන්ගේ ස්වභාවයයි. කලාවට සහ සෞන්දර්යාත්මක දේවලට බෙහෙවින්ම ප්‍රිය කරයි. විවිධ කලා කුසලතාවයන් ද මොවුන් සතුව පවතී. මොවුන් ඉතා ඉහල රසවින්දනයක් සහිත පුද්ගලයන් කොටසක් ලෙස හඳුන්වන්න පුළුවන්. ජීවිතයේ කුමන ප්‍රශ්න කරදර බාධක තිබුණත් ඒ සියල්ල ඉවසා දරාගෙන සෑම මොහොතක්ම සතුටින් ගත කළ යුතුය යන හැඟීමක් මොවුන් සතුව පවතී.

ජීවිතය පිළිබඳ සෑම කාරණාවක් පිළිබඳවම නිතරම ධනාත්මකව සිතයි. හොඳ දරා ගැනීමේ හැකියාවකින් යුත් සිතක් ඇති මොවුන් ධෛර්යසම්පන්න පුද්ගලයන් කොටසක් ලෙස ද හඳුන්වන්න පුළුවන්. නිශ්චිත අරමුණක් ඉලක්කයක් සහිතව කටයුතු කරන මොවුන් තම බලාපොරොත්තු වූ අරමුණු ඉටුකර ගන්නා තුරු අධිෂ්ඨානශීලීව කටයුතු කරයි. අවංක පිරිසුදු සිතිවිලි ඇත. ආදරය සහ ප්‍රේමය වැනි කටයුතුවලදී තම සහකරු සහකාරියගේ ආරක්ෂාව සහ රැකවරණය පිළිබඳ නිතර උනන්දු වෙයි. ඉතා යහපත් විවාහ ජීවිතයක් ගෙවීමේ වාසනාව ඇත. මනා උත්සාහයකින් කටයුතු කරන මොවුන් ස්වාධීන අදහස් දරන පිරිසක් වෙයි. මනා විනයගරුක භාවයකින් කටයුතු කරයි. කිසිම කටයුත්තක ට මොවුන් ඉක්මන් වන්නේ වත් කලබල වන්නේ වත් නැත. තීරණ ගැනීමේදී හදිසියක් නොමැතිව හොඳීන් සිතා බලා තීරණ ගනියි. ජීවිතයේ බොහෝ කටයුතු සෙමින් සිද්ධ වුණත් හොඳ ස්ථාවර භාවයක් ඇත. ඒ නිසාම ජීවිතයේ සාර්ථකත්වයට පත් කර ගැනීමේ වාසනාව මොවුන් සතුව පවතී

 

Y අකුර

මේ අකුරින් පටන් ගන්න සිංහල නම් ද වර්තමානය තුළ බොහොමයක් දැකිය හැකිය. සැබවින්ම මොවුන් උපතින්ම වාසනාව උරුම කරගෙන උපන් පුද්ගලයන් කොටසක් ලෙස හඳුන්වන්න පුළුවන්. ජීවිතයේ කෙදිනක හෝ තම වාසනාව මතුකරගෙන නැඟී සිටීම මොවුන්ගේ ස්වභාවයයි. විශ්වාසය සහ කැපවීම මොවුන්ගේ චරිතය පුරාම දැකිය හැකිය. තම අභිවෘද්ධිය සහ ජයග්‍රහණය වෙනුවෙන් වෙහෙස මහන්සිය නොබලා වැඩ කරයි. මොවුන් තරමක් ආත්මාර්ථකාමී ගති ලක්ෂණවලින් යුත් පිරිසක් ලෙස සමාජය තුළ යම් අදහසක් ඇති වීමට ඉඩ තිබේ. එයට හේතුව වන්නේ සෑම තැනකදීම සෑම කටයුත්තකදීම තමාගේ පෞද්ගලික කාරණාවන් සහ අභිමතාර්ථයන් වෙනුවෙන් ප්‍රමුඛස්ථානය ලබා දීමට ක්‍රියා කිරීමයි. එහෙත් මොවුන් සැබවින්ම සමාජයට හිතැති සමාජශීලී මිනිසුන් කොටසක් ලෙස හඳුන්වන්න පුළුවන්.

තම පවුල සහ සමාජය වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් මොවුන් නිසි වේලාවේ දී කෙසේ හෝ ඉටු කරනු ලබයි. ආදරය සහ ප්‍රේමය වැනි කටයුතුවලදී ඉක්මන් වන්නේ නැත. මොවුන් බොහෝ වෙලාවට මේ මොහොතේ ඇතිවෙන හැඟීමට වඩා අනාගතයේ ඇතිවිය හැකි ප්‍රතිඵලය ගැන සිතා කටයුතු කරයි. මේ අය බොහෝවිට ආකර්ෂණීය කතා විලාසයකට සහ ප්‍රියමනාප රූප විලාසයකට හිමිකම් කියයි. කාගෙත් සිත් දිනාගෙන කටයුතු කිරීමට දක්ෂ වෙයි. මේ පුද්ගලයන් හුදෙකලා නිදහස් ජීවිතයකට ප්‍රිය කරයි. තම කටයුතු නිදහසේ කරගෙන යෑමට කැමැති අතර අන් අය තම කටයුතුවලට ඇඟිලි ගසනවාට කැමති නැත. රහස් රැකීමට දක්ෂ පුද්ගලයන් වෙයි. තරමක් ගුප්ත ගති ද මොවුන් තුළ පවතී. නිහඬව කිසිවෙකුට කරදරයක් නොමැතිව ජීවත්වීම අපේක්ෂාව වෙයි. මොවුන් තුළ අලුත් නිර්මාණාත්මක අදහස් පවතී. සෑම දෙයක් පිළිබඳවම ධනාත්මකව සිතයි. කලාව සහ සෞන්දර්යය කෙරෙහි සහජ හැකියා සහ දක්ෂතාවයන් මොවුන්ට පවතී. බොහෝ විට ජීවිතයේ කුමන හෝ අංශයකින් මොවුන් සාර්ථකත්වය උදාකරගනු දැකිය හැකිය.

මොවුන් ජීවත් වීමේ දී ඉතා සැහැල්ලුවෙන් කටයුතු කරයි. ඕනෑවට වඩා කිසිදු දෙයක් සිතට නොගනී. තමාට හිමි වැඩ කොටස මනාව ඉටු කරයි. සෞම්‍ය මුදු ගතිගුණ මොවුන්ට ඇත. මේ අයට කේන්ති යන්නේ ද ඉතා අඩුවෙනි. තරහ ආවත් එය වැඩි වෙලා හිතේ තබා ගන්නේ නැත. නිතරම සන්සුන් මනසකින් සිටීමට උත්සාහ කරයි. නිරෝගී භාවය මෙන්ම දීර්ඝායුෂ විඳීම අතින්ද මොවුන් වාසනාවන්තයන් වෙයි.

 

 

Z අකුර

මේ අක්ෂරයෙන් පටන් ගන්නා නම් ඉංග්‍රීසි භාෂාවේ සහ වෙනත් භාෂාවල බහුලව තිබුණද සිංහල භාෂාවෙන් මේ අකුරෙන් පටන් ගන්නා නම් ඇත්තේ අල්ප වශයෙනි. මේ අක්ෂරයෙන් පටන් ගන්නා නම් ඇති අය හොඳ ආකල්පවලින් යුක්ත අය වෙයි. යහපත් සිතුවිලිවලින් යුක්ත වෙයි. සෑම දෙයක් ගැනම හොඳ අවබෝධයකින් කටයුතු කරයි. ඕනෑම දෙයක් පහසුවෙන් තේරුම් ගත හැකි මනසක් ඇත. සෑම දෙයක් ගැනම ගැඹුරින් සිතා බලයි. එමෙන්ම මොවුන් මානසික වශයෙන් ඉතාමත් ශක්තිමත් කොටසක් ලෙස හඳුන්වන්න පුළුවන්. දරාගැනීමේ හැකියාව අතින් ඉතා ඉහළයි. ඉක්මනින් කලබලයට පත් නොවෙයි. එසේම මොවුන් කාර්යශූර භාවය අතින් ද ඉදිරියෙන් සිටී. ශක්තිමත් මනසක් වගේම ශක්තිමත් ශරීරයකට ද හිමිකම් කියයි. කිසිම දෙයක් බැහැයි කියා සිතන්නේ නැත. පටන් ගත් වැඩක් කෙසේ හෝ නිම කිරීමට උනන්දු වෙයි. පහසුවෙන් වෙහෙසට පත්වෙන අය නොවේ. මොවුන්ට තමන් කරන කාර්යය ඉවර කරන තුරු ඉස්පාසුවක් නැත. ස්වභාවයෙන්ම කඩිසර ගතිය මොවුන් තුළින් දැකිය හැකිය. මොවුන්ගේ එක දුර්වලතාවයක් වන්නේ පුංචි දෙයටත් ක්ෂණිකව කේන්ති ගැනීමයි. කේන්තිය පාලනය කර ගැනීමට මේ අය උනන්දු විය යුතුයි. මොවුන් කිසිම දෙයකට බිය පුද්ගලයන් නොවේ. ඕනෑම අභියෝගයක් බාර ගැනීමට බය නැත. සතුරන්ට මුහුණ දීමේ ශක්තිය ඇත. මොවුන් පරාජය කිරීම පහසු කටයුත්තක් නොවේ. එහෙත් යම් යම් අවස්ථාවල මොවුන්ගේ තත්ත්වය සහ ගෞරවය පහත හෙළන කටයුතු ද මොවුන් අතින් සිදු වනු දැකිය හැකිය. දුරදිග නොබලා මොවුන් විසින් ගන්නා සමහර බුද්ධිමත් නොවන තීන්දු තීරණ එයට ප්‍රධාන හේතුව වෙයි. මේ අයට ජීවිතයේ වැදගත් තීන්දු තීරණ ගැනීමේදී ඒ පිළිබඳ විශේෂිත පුද්ගලයන්ගේ උපදෙස් ලබාගැනීම ඉතා වැදගත් වෙයි. තනි මතයට වැඩ කිරීම ද දුර්වලතාවයක් ලෙස දැකිය හැකිය. එහෙත් තමන් කරන දේ පිළිබඳ හොද විශ්වාසයක් මොවුන්ට ඇත. කෙසේ වුවත් තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් ආරක්ෂාවත් රැකවරණයත් සලසාදීමට මොවුන් ක්‍රියා කරයි. හැකි සෑම අවස්ථාවකදීම තම ගෙදර අය සමඟින් කාලය ගත කිරීමට මොවුන් අමතක නොකරයි. උත්සාහයත් උනන්දුවත් මූලික කරගෙන කටයුතු කරන මොවුන්ට ජීවිතයේ සාර්ථකත්වයට පත් වීම අපහසු කටයුත්තක් නොවේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.