කාන්තා රෝග සඳහා විශිෂ්ට ගුණ දෙන ලොත්

මාර්තු 3, 2023

 

නිරෝගී පුද්ගලයාගේ නීරෝගි බව ආරක්ෂා කර ගැනීමටත් රෝගී පුද්ගලයාගේ රෝගී භාවය සමනය කර ගැනීමටත්, බොහෝ සෙයින් උපකාරී වන වෛද්‍ය ක්‍රමය ලෙස ආයුර්වේද වෛද්‍ය ක්‍රමය හැඳින්විය හැකිය. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යනු රෝග සඳහා ප්‍රතිකාර ලබා දෙන වෛද්‍ය ක්‍රමයක් පමණක්ම නොව ජීවන දර්ශනයක් ලෙස ද හැඳින්විය හැකිය.

 

මෙවන් විශිෂ්ට වෛද්‍ය ක්‍රමයක් වන ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ චිකිත්සා කර්මයේ දී යොදා ගනු ලබනුයේ ශාක, සත්ත්ව සහ පාර්ථිව ද්‍රව්‍යයන්ය. මෙයින්ද බහුල වශයෙන් යොදා ගනු ලබන්නේ ශාක ද්‍රව්‍යයන් වන අතර වර්තමානයේ ඒවායින්ද බොහොමයක් ශාක වද වී යාමේ තර්ජනයන්ට ලක්වෙමින් පවතියි.

මේ ආදී කොට ඇති ශාක සමූහයා අතුරින් අප අවට පරිසරයෙන් ඉතා පහසුවෙන් ලබා ගත හැකි ශාකයන්ද රාශියක් වේ. මේ සියලුම ශාකයන් ගත් කළ කුමන හෝ රෝගයකට යෙදිය හැකි ඖෂධ යෝගයන් එම ශාකයන්ගෙන් ලබා ගන්නා බව දැකගත හැක.

මිනිසාට වැළදෙන රෝග සමූහයා අතරින් කාන්තාවන්ට පමණක් විශේෂිත රෝගාබාධයන්ද රාශියක් වෙයි. එනම් රක්ත ප්‍රදර, ශ්වේත ප්‍රදර,සෝම රෝගය වැනි රෝගාබාධයන්ය. කාන්තාවන් සඳහාම ආවේණික මෙම රෝගාබාධයන්ට ප්‍රතිකාර කිරීමේදී නැතිවම බැරි ඖෂධීය ශාකයක් වශයෙන් ‘ලොත්’ ශාකය හැඳින්විය හැකිය.කාන්තා රෝග සඳහා බහුල වශයෙන් යෙදෙන ඖෂධ යෝගයන්හිදී ලොත් සුඹුලු ඇතුළු ඖෂධ අංග බොහෝ සෙයින් ප්‍රතිඵල ලබාදෙන බව දක්නට ලැබේ.

ලොත් ශාකය පිළිබද විවිධ මතභේදයන්ද දක්නට ලැබෙන අතර අද වෙළෙඳපොළේ දක්නට ලැබෙන වර්ගය නියම ‘ලොත්’ නොවන බවද කියනු ලබයි. Symplocos racemosa roxb  උද්භිද විද්‍යාත්මක නාමයෙන් හා SYMPLOCACEAE  හෙවත් ලෝධ්‍ර කුලයට අයත් ශාකය නියම ‘ලොත්’ ශාකය වශයෙන් හඳුන්වන අතරMelaleuca leu Codendron Linn උද්භිද විද්‍යාත්මක නාමයෙන් හා MYRTACEAE  හෙවත් ලවංග කුලයට අයත් ශාකය බහුල ලෙස ඖෂධ සඳහා ගනු ලැබුව ද එම ශාකය නියම ලොත් ශාකය නොවන බව දක්වා ඇත.

 

වැවෙන ප්‍රදේශ

උතුරු හා බටහිර ඉන්දියාවේ අඩි 2500ට වඩා වැඩි උස් ප්‍රදේශවල ද ඇසෑම්, සිල්හට්, බාසියා පර්වත, මියැන්මාරය හා මැලබාරයේද වැවෙන ශාකයකි.

ශාකයේ ස්වරූපය

ලොත් ශාකය සිවංගුරු පැහැයෙන් යුක්ත බව දක්වා ඇත. හිමාලයේ හටගනු ලබන ලොත් ශාකයේ පොතු ගඩොල් පාට වන අතර සබර දේශයේ හටගනු ලබන ලොත් ශාකයේ පොතු සුදු පාට බවද දක්වයි. එසේම වෙළෙද පොළේ දක්නට ලැබෙන ‘ලොත් සුඹුලු’ මෙම දෙවර්ගයටම අයත් නොවේ.

ලොත් ප්‍රභේද

මෙහි ප්‍රභේද 2ක් දක්වයි. එනම්,

1. ලොධ්‍ර

2. ශාවර ලොධ්‍ර (ශ්වේත ලොධ්‍ර)

මින් ශාවර ලොධ්‍ර ඇෆ්ඝනිස්ථානයේ වැවෙන ශාකයකි.

ලොධ්‍ර පර්‍ය්‍යාය නාම

ලොධ්‍ර, හිල්ලි, කාණ්ඩහින ශාලාව, ජීර්ණ පර්ණ, තිල්වක, කිරීටක, රොධ්‍ර, තිලක, හේමපුෂ්පක, ශාවරක, හිල්ලුතරු, චිල්ලක, ශාම්බර හස්තිරොධ්‍රක හා අතිසාර භෛෂජ යන නාම යෙදේ.

මෙයින්

හිල්ලි - පහත් මිනිසුන්ට අයත්

කාණ්ඩහීන - විශාල අතු නැති

ශාලාව - කදුළු ඒම වළක්වන

ජීර්ණපර්ණ - දිරුවාක් වැනි කොළ ඇති යන අරුතින් යෙදේ.

ශාවර ලොධ්‍ර (ශ්වේත ලොධ්‍ර) පර්‍ය්‍යාය නාම ස්ථුල වල්කල, ජීර්ණ පර්ණ, මාර්ජන ශාලාව, වෘහත් පර්ණ, ලාක්ෂා ප්‍රසාදන, අක්ෂි භෙෂජ, පට්ටිකා රොධ්‍ර, ක්‍රමුක වල්කල පට්ටි, කල්කරොධ්‍ර, වෘහද්දල, වෘහද්වල්ක ජීර්ණ බුද්න. ශ්වේත රොධ්‍ර, මාර්පනී, සාබර ලොධ්‍ර ආදී නාමයන් යෙදේ. (මෙම ලොධ්‍ර දෙවර්ගයේම ගුණ සමාන බව ආචාර්ය මතය වෙයි.)

ඖෂධ සඳහා ගනු ලබන

පොතු සහ කොළ ගනු ලබන අතර පොතු ඖෂධ සඳහා විශිෂ්ට ගුණ දක්වයි. ලොත් ශාකයේ අරටුවද ඖෂධ සඳහා ගනු ලබයි.

මෙහි අඩංගු රසායනික උපාදාන

මෙහි ලොට්‍යුරින් (Loturine) 0.24% ක්ද කොලොට්‍යුරින් (Colloturine)  0.002%ක්ද ලොට්‍යුරිඩින් (Loturidine) 0.06% ක්ද අධික ප්‍රමාණයක් රතු පාට රංජන පාර්ථද භෂ්මයෙහි 18%න් ස්වර්ජිකාක්ෂාර ද අඩංගු වෙයි. කසට රස වුවද මෙහි ටැනින් (Tannin) අඩංගු නොවේ.

ඖෂධීය ගුණ කර්ම

ලොත් අතිතයේ සිටම විවිධ ඖෂධ යෝග සඳහා යොදාගත් බව පැරණි ආයුර්වේද ග්‍රන්ථ වල දක්වා ඇත. ධන්වන්තරිය භාව ප්‍රකාශ ආදී ග්‍රන්ථවල ලොධ්‍ර වල දෙවර්ගයම දක්වා ඇත. රසයෙන් කෂාය රස වන අතර ගුණයෙන් ලඝු හා රූක්ෂ වේ. වීර්යයෙන් ශීත වන අතර විපාකයෙන් කටුක වේ.

දෝෂ අනුව සැලකූ විට ලොත් කෂාය රසයෙන් සහ ශීත වීර්යයයෙන් යුතු නිසා සෙම හා පිත් සමන ගුණ යුතුය. එනිසා සෙම පිත් රෝග සඳහා ප්‍රයෝග කරනු ලබයි.

ශාරීරික ව්‍යුහාගත ක්‍රියා සැලකීමේදී බාහිර වශයෙන්

ලොත් ඉදිමුම් නාෂක ගුණ යුතු අතර කුෂ්ඨ නාශක ගුණ ද යුතුය. එසේම සංකෝචක ගුණයෙන්ද යුතුය. එසේම ලේ නතර කරන (රක්ත ස්තම්භන) ගුණ හා ව්‍රණ රෝපණ ගුණ යුතුය. මෙනිසා ලොත් ඉදිමුම් සමේ රෝග ලේ වහනය වීම් හා ව්‍රණ වලදී ආලේපයක් වශයෙන් යොදනු ලබයි. එසේම ඇස් රුදාව හෙවත් නේත්‍ර අභිෂ්‍යාන්දයේදී ඇස් පිහාටුවල ආලේප ලෙස යොදනු ලබන අතර මෙමගින් පීඩා හා ඉදිමුම් සංසිදේ.

එසේම කනෙන් ස්‍රාවය වැගිරීමේදී ලොත් චූර්ණය කනට හෙලනු ලබයි. එසේම මැදීම සඳහා දත්ත චූර්ණයක් ලෙස ද ප්‍රයෝග කරනු ලබයි.

 

අභ්‍යන්තර වශයෙන්ආහාර පරිපචන ව්‍යුහාවේදී

ලොත්වල ස්තම්භන ගුණ පවතින අතර අතීසාර රක්ත අතීසාර සහ ප්‍රවාහිකාවලදී යොදනු ලබයි.

රුධිර සංසරණ ව්‍යුහාවේදී

ලොත් ලේ නතර කරන (රක්ත ස්තම්භන) ලේ පිරිසිදු කරන (රක්ත ශෝධක) සහ ඉදිමුම් නාශක (ශෝථහර) ගුණයන්ගෙන් යුතු වෙයි. මෙනිසා රක්ත දූෂිත රෝග රත් පිත හා ඉදිමුම් අවස්ථා සඳහා බොහෝ සෙයින් ප්‍රයෝග කරනු ලබයි. එසේම මෙයින් කුඩා රක්ත ස්‍රෝතස් සංකෝචනය වන අතර ඒ හේතු කොට ගෙන ලේ නතර වීමෙන් ඉදිමුම් සමනය වීමත් සිදුවේ.

ශ්වසන ව්‍යුවේදී

මෙය සෙම් නසන ගුණ යුතු අතර කාස ආදී රෝග අවස්ථා වලදී ප්‍රයෝග කරනු ලබයි.

ප්‍රජනන ව්‍යුහාවෙදී

මෙමඟින් ගර්භාශයික ඉදිමුම් සහ ගර්භාෂයික ස්‍රාව සංසිදෙන අතර ගර්භාෂයේ ඉදිමුම් අවස්ථාවලදී සහ රක්ත ප්‍රදර හා ශ්වේත ප්‍රදර ආදි රෝග අවස්ථාවලදී ප්‍රයෝග කරනු ලබයි. එසේම මෙම රෝග අවස්ථාවලදී යෝනි වස්තියක් සදහාත් මෙහි ක්වාථය යෙදෙයි. එසේම ගර්භස්‍රාවය සඳහා ද හිතකර වේ.

 

චර්ම ව්‍යුහාවේදී

මෙහි කුෂ්ඨනාසන ගුණ යුතු බැවින් බොහෝ චර්ම රෝගයන් සඳහා ප්‍රයෝග කරනු ලබයි. තවද මෙහි උණ නසන ගුණ යුතු නිසා උණ රෝගයේදී යොදනු ලබයි. මේ ආදී වශයෙන් ශාරීරික ව්‍යුහා ආශ්‍රිතව ඉතා හොඳින් ක්‍රියා කරන ඖෂධ ද්‍රව්‍යයක් වශයෙන් ලොත් (ලොධ්‍ර) හැඳින්විය හැකිය.

ලොත් අඩංගු ඖෂධ යෝග රාශියක් විවිධ රෝගාබාධයන් සඳහා යෙදෙන අතර ඉන් කිහිපයක් නම්, ප්‍රවාහිකා සඳහා - ලොධ්‍ර පොතු කල්කය ද සමඟ අඹරා යොදනු ලබයි.

කුෂ්ඨ රෝග සඳහා - ලොධ්‍ර පොතු චූර්ණ කර ඇගේ ඉසිනු ලබයි.

ශ්වේත ප්‍රදරයට - නුගපොතු කෂායට ලොත් චූර්ණ කර දමා බීම ඉතා යෝග්‍ය වේ. රක්ත අතීසාර, රක්තපිත්ත, රක්ත ප්‍රදර හා රක්ත අර්ශස් සඳහා ලොධ්‍ර පොතු කෂාය යොදයි.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ

කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.