ඔසු ගුණයෙන් පිරිපුන් ඉල්ල

පෙබරවාරි 17, 2023

 

දේශීය වෛද්‍ය ක්‍රමයේ අප්‍රකටව භාවිතා වන ඖෂධ ද්‍රව්‍යයක් වන ඉල්ල බොහෝ දෙනා හොඳින් හඳුනන ශාකයක් නොවේ. මෙයටම ඊල්ල යන නාමය ද, හතුරු විල්ල යන නාමයද ව්‍යවහාරයේ දක්නට ලැබේ. මෙම ශාකය බහුල ලෙස ඖෂධ සඳහා නොගත්තද පාවට්ටා ශාකය මෙන්ම මෙහි පංචාංගයද ඖෂධ සඳහා යොදා ගනු ලබන බව දක්නට ලැබේ.

 

තවද බුලත් පාත්තිවලට පොහොරක් ලෙස යොදනු ලබන ශාකයක් වන කැප්පෙටියා ශාකයේ ලක්ෂණ මෙම ඉල්ල ශාකයේද දක්නට ලැබෙන නිසා මෙම ඉල්ල ශාකයද බුලත් පාත්තිවල තෙතමනය ආරක්ෂා කිරීමට සහ පොහොරක් ලෙස යොදනු ලබයි. මෙයින් පෙනී යන්නේ මෙම ශාකය වැඩීම සඳහා ශීතල දේශගුණය අවශ්‍ය බවයි. මේ අතර මෙම ශාකය විවිධ රෝග සඳහා යෙදවීමේ දී මෙහි ඇති ගුප්ත බලයක් නිසා ඖෂධ ගුණය වැඩිවන බවටද මතයක් ඇත. මේ අතර මෙම ගසේ කොළ කැලෑ දුම්කොළවලට බෙහෙවින් සමාන වන හෙයින් ද්‍රවිඩ ජාතිකයින් බුලත්විට කෑමේදී දුම්කොළ යැයි වරදවා ගැනීමට යෑමේදී ඉල්ලෙයි; ඉල්ලෙයි.(එපා, එපා) යනුවෙන් කියූ වචනයෙන් ‘ඉල්ල’ යන නාමය සෑදී ඇතැයි කියනු ලබයි.

ඉල්ල ශාකය වැවෙන ප්‍රදේශ

විදේශීය වශයෙන් නේපාලය, භූතානය, සීකිම් හරහා ඉන්දියාවේ බොහෝ ප්‍රදේශ, බංගලාදේශය හරහා නැගෙනහිරින් මියැන්මාරය, තායිලන්තය, මලයාවේ සිට පිලිපීනය සෙලිබීස්, ජාවා, සුමාත්‍රා, ටිමොර් සහ නිවිගිනියාව සහ උතුරින් හොංකොං ආදී රටවල දක්නට ලැබේ.

දේශීය වශයෙන්

ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල දක්නට ලැබෙන අතර ඒ අතුරින් හපුතලේ බණ්ඩාරවෙල, මස්කෙලිය, දියතලාව වැනි ප්‍රදේශවල පඳුරු වශයෙන් වැවේ.

ඉල්ල ශාකයේ ලක්ෂණ

උස් වූ පඳුරක් හෝ කුඩා සිහින් පඳුරුමය ගසකි. මෙම ගසේ කද සහ කොළ, ළං ළංව පිහිටි බූව සහත ලෝම කොටස්වලින් පිරී ඇත. කෙළින් උසට වැවෙන ගස්වලට වඩා පඳුරු වශයෙන් වැඩෙන ගස් බහුලව දක්නට ලැබේ. මේවායේ කොළවල යටි පැත්තේ රෝස පාටින් යුතු විල්ලුද ගතිය හොඳින් පිහිටා තිබේ. මෙහි දිග අගල් 7-8ක් පමණද පළල අගල් 5-6ක් පමණ ද වේ. මෙහි හටගනු ලබන මල් වලයාකාරව උසට උස්ව දම්පාටට පැහැදිලිව පොකුරු සහිතව දක්නට ලැබේ. මෙම ශාකයේ මුල්වල හැර අනෙක් සියලුම ස්ථානවල විල්ලුදගතිය දක්නට ලැබේ. මෙහි කොළවල මතුපිට පැත්ත තද කොළ පැහැ ගතියෙන් යුක්තය. කොළ එතරම් දිග නැති ඊට වඩා කොට වර්ගයක්ද දක්නට ඇති අතර එය ඖෂධ සඳහා භාවිතයට නොගනියි. මෙහි මල් පිපෙන්නට පෙර දම්මල් වලට සමානය. පැහැයෙන් දම් පැහැතිය. මෙම මල් පිපුණු විට කුඩා පෙති 4ක් පමණ සහිතව පුනීලාකාර කෝප්පයක් බඳුව උඩට හුරුව පිහිටයි. මෙහි හටගනු ලබන ගෙඩි අගල් 2ක පමණ විෂ්කම්භයෙන් යුතුවන අතර කළු පැහැයෙන් ලොකු දම් ගෙඩි තරමට දිලිසෙන ස්වභාවයක් ගනු ලබයි. මෙම ගෙඩි මාර්තු, සැප්තැම්බර් මාසවල වැඩිපුර දක්නට ලැබේ.

ඉල්ල පිළිබඳව විවිධ භාෂාවලින් හඳුන්වන නාම

පොදු සිංහල නාම

ඉල්ල, හතුරු ඉල්ල, හැකිරිල්ල, හැකඊල්ල,හතුරුවිල්ල, ඉල්ල ගස් ආදී නාමයන් යෙදේ.

දෙමළ බසින් කට්කොමාලි, කට්ටුක්තුමිල්, වෙට්ටිලායි පත්තුය ආදී නාම යෙදෙන අතර

හින්දි බසින් බස්ත්‍ර, බස්ට්‍රා යන නාම යෙදේ

වංග බසින් මසන්දාරි යන නාමය යෙදේ

ඉල්ලවල උද්භිද විද්‍යාත්මක නාම

Callicarpa tomentosa (L) Murr හා Callicarpa tomentosa var.typica, Bakh ආදී නාම යෙදේ. කුලය VERBENACEAE  හෙවත් නිර්ගුණ්ඩි කුලය වේ.

ඉල්ලවල ඖෂධීය අංග

කොළ, පොතු, මුල්, මල් හා දලු ගනු ලබයි.

ඉල්ලවල ඖෂධීය ගුණකර්ම දෝෂ අනුව සැලකීමේදී

පිත්ත ශාමකයි. උණ ශාමක, අක්මාවට හිතකර ශක්ති ජනන හා ස්නිග්ධ කාරක ගුණ යුතුයි. එනිසා උණ රෝග, අක්මා අවරෝධ, කඩුවේගම් තුවාල, අලුත් හා පරණ තුවාල, සර්ප දෂ්ට ඉදිමුම් පෙකණිවැල වන වීම ආදී රෝගාබාධ සඳහා විශිෂ්ට ගුණ ගෙන දෙයි. මේ සඳහා යෙදෙන ඉල්ල අංඩගු ඖෂධ යෝග රාශියක් වේ. ප්‍රකට ඖෂධ යෝග ව්‍රණ ශෝධනයට හා රෝපණයට ඉල්ල දලු, පුහුල් දලු, එරබදු දලු, බේත් අනෝදා කොළ, කැකුළු හාල් පොල් කිරෙන් තම්බා අඔරා බඳිනු ලබයි.

කඩුවේගම් තුවාලවලට

තුවාලය මත ඉල්ල කොළ තබා බැඳ තැබීම අලුත් හා පරණ තුවාලවලට ඉල්ල කොළ පුහුල් කොළ කහ ලුණු දමා බැඳීම

පෙකණිවැල වණවීමට

ඉල්ල මල්, කහකුඩු, කබලේ බැද තලතෙලින් අනා ගෑම

ගඩු වණවලට

ඉල්ල කොළ කහ ලුනු දමා කොටා මලවා බැදීම/ ඉල්ල, කපු කොළ, පොල් කහ, ලුණු දමා කොටා මලවා බැදීම /බෝමී, ඉල්ල, පුහුල කොළ කහ ලුණු දමා කොටා මලවා බැදීම

ඉරුවාරදයට

ඉල්ල කොළ මැල්ල කොළ, උළුහාල් කිතුල් හකුරු, පොල්කිරි යොදා කැද සාදා දීම.

මුඛයේ තුවාල, දත් සෙලවීම, වීදුරුමසින් ලේ ගැලීම් ආදියට

පැරණි අය බුලත්විට වෙනුවට ඉල්ලපොතු සැපීම කර ඇත. මේ ආදී වශයෙන් ඉල්ල විවිධ රෝගාබාධ රාශියකට ඖෂධ යෝග සඳහා යොදා ගෙන ඇත. මෙයට අමතරව විසිතුරු භාණ්ඩ සෑදීමට ද ඉල්ල ගස් යොදා ගෙන ඇති අතර දර වෙනුවටද භාවිතයට ගනු ලබයි. මේ අනුව පෙනී යන්නේ ඉල්ල ශාකය පිළිබඳව බොහෝ දෙනා හොඳින් නොදන්නා නමුදු මෙහි ඇති ඖෂධීය ගුණ නිසා ඉතා අගනා වටිනා ඖෂධ යෝග රාශියක් භාවිතයේ ඇති බවයි.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.