රෝගාබාධ රැසකට ගුණදෙන ඔසුව අන්දර

පෙබරවාරි 3, 2023

 

අප අවට පරිසරයේ දක්නට ලැබෙන තුරුලතා අතුරින් ඉතා අධික පැළෑටි ප්‍රමාණයක් විවිධ රෝග සඳහා ප්‍රයෝග කරනු ලබන බව හොඳින් දන්නා නමුත් තවත් සමහර පැළෑටි පිළිබඳව සහ ඒවායේ ඖෂධීය වටිනාකම පිළිබඳව නිසි අවබෝධයක් බොහෝ දෙනාට නොමැත.

 

මෙවන් වූ පැළෑටි අතුරින් ඖෂධීය වශයෙන් ප්‍රයෝජන රාශියක් ලබාදෙන පැළෑටියක් වශයෙන්‍ අන්දර හැඳීන්විය හැකිය. අප අවට බොහෝ සෙයින් දක්නට ලැබෙන මෙම ශාකය රෝගාබාධ රාශියකට ගුණදෙන ඖෂධ ප්‍රයෝගයන් රැසක් සඳහා දේශීය මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ද යොදාගනු ලබන බව පැරණි ආයුර්වේද ග්‍රන්ථ පරිශීලනයෙන් සනාථ කර ගත හැක.

මුත්‍රාබාධ, යෝනි රෝග ඇතුළු රෝගයන් රාශියක් සඳහා ඖෂධ ප්‍රයෝගයන් රාශියක් අන්දර ගසේ ඖෂධාංග යොදා සංස්කරණය කරනු ලබන බව දක්නට ලැබේ.

ශී‍්‍ර ලංකාවේ වියළි කලාපයේ බොහෝසෙයින් දක්නට ලැබෙන අන්දර ශාකය වැඩි දෙනෙක් ඉතා හොඳීන් හඳුනන ශාකයක් ලෙස දැක්විය හැක.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී ගත් කළ මූලික සංහීතා ග්‍රන්ථවල ද අන්දර පිළිබඳව දක්වා තිබීමෙන් මෙම ශාකයේ ඇති වටිනාකම පිළිබඳව වටහා ගත හැකිය.

සුශ්‍රැත සංහිතාවේ සුත්‍ර ස්ථානයේ වෘත සංශමන වර්ගය සහ වීරතරාදී වර්ගයට අන්දර අයත්වන අතර, අෂ්ඨාංග හෘදය සංහිතාවේ සූත්‍ර ස්ථානයේ සහ චිකිත්සා ස්ථානයේ ද අන්දර පිළිබඳව දක්වා ඇත.

මෙයින් පැහැදිලි වනුයේ ඉතා ඈත අතීතයේ සිටම අන්දර ඖෂධ සඳහා යොදාගත් බවයි.

 

අන්දර වැවෙන ප්‍රදේශ

විදේශීය වශයෙන්

උතුරු කර්ණාටය. දකුණු දඹදිව මධ්‍ය ප්‍රදේශය, වයඹ දිග භාරතය, ඩැකාන්, රාජ් පුට්කා, මලයාදීප, ආදී ප්‍රදේශවල වැවේ.

දේශීය වශයෙන්

ශී‍්‍ර ලංකාවේ උතුර, බටහිර, මුහුදු බඩ, නිර්ජල ප්‍රදේශවල ද වියළි ශුෂ්ක ප්‍රදේශවල ද දක්නට ලැබේ.

අන්දර ශාකයේ ස්වරූපය

අන්දර ශාකය බොහෝ ශාඛා ඇති කටු සහිත කුඩා වෘක්ෂයකි. එය ඵලකිහිරි ගසට බොහෝ සෙයින් සමාන මීටර් 8-10 ක් පමණ උසට වැවෙන ගසකි. වියළි කලාපයේ ඉතා සුලබය. ක්ෂුප වර්ගයට අයත් මෙහි සුඹුල සුදුය. බොහෝ කැබලි සහිතව සෑදී ඇත. කුඩා අතු නැමුණු කටු මෙන් වැඩි මෝරනු ඇත. මෙම ශාකයේ හරය (අරටුව) දැඩි ස්වභාවයක් ගනු ලබයි.

මෙහි පත්‍ර පියාපත් වැනිය. මෙම පත්‍ර සෙමී. 3.2 – 6.3 දක්වා දිගය. පත්‍රවල මැද නාරටිය සාමාන්‍යයෙන් මොලොක් වන අතර, රෝම සහිතය. කොළ යුගලවල කුඩා ඍජු වූ කොරපොතු වැනි වැඩීම් පවතියි. මේ එකක් මී.මී 4-5 ක් පමණ දිගය. ති‍්‍රකෝණාකාර ස්වරූපයක් ගනු ලබයි. පත්ලෙහි පටන් නැඟෙන කටු ඇණමෙන් දිගය. පත්‍ර 8-14 දක්වා යුගල වශයෙන් පවතියි. නැටි රහිතය. නැතහොත් නැටි රහිත ලෙස පෙනෙයි. කුඩා කොළ ඉතා කුඩාවට නැටි රහිතව යුගල 12-20 දක්වා යුතුව ඍජුව වැඩෙයි. මුල් බොහෝ පවතියි. එසේම ඒවා එකිනෙක සම්බන්ධව පවතින අතර, සෙමී. 2.5 – 3.8 දක්වා දිගින් යුතුය. සැබෑ මල්වල රේණු මුදුනේ ඇති කොටසේ කහපාටට සෑදී ඇත. කරල්වල යට කොටසේ බොරු මල් රේණු සුදු පැහැයෙන් දක්නට ලැබේ. පාට මිශ්‍ර දුඹුරු වර්ණය සහිත පැසුණු කරල් උඩ බලා සිටින අතර, එක් කරලක් බීජ 6-10 දක්වා පවතියි.

 

අන්දර පිළිබඳව විවිධ භාෂාවලින් හඳුන්වන නාම

පොදු සිංහල නාම - අන්දර, කටු අන්දර වන අතර,

 

සංස්කෘත බසින් - වීරතරු, වීරතර වෙල්ලන්තර, වීරවෘක්ෂ ආදී නාමයන් යෙදේ.

හින්දි බසින් - වරවෙලා සහ මුර්තුලා යනුවෙන්ද

වංග බසින් - විරතරු යැයිද

දෙමළ බසින් - විදත්තල් - වෙල්ලන්තරීනී, තීර්ථක, මුලන්, නිරුල බුලත්, විරකරිනී,

රෝමම්, මිල්ලං, කනමනියන්, මාවිලත්තන්, විඩත්තන්, තෙසාත්තන් ආදී නාමයන් රාශියක් දක්නට ලැබේ.

ආදී ඉංගී‍්‍රසි බසින්

White Babool යනුවෙන් යෙදේ.

අන්දරවල උද්භිද විද්‍යාත්මක නාම -

Acacia leucophloeawilld සහ DichrostachsCinerea wand  යන නාමයන් යෙදේ.

මෙහි කුලය LEGUMINOSAE  හෙවත් ශිම්බි කුලය වේ.

මෙම අන්දර ශාකයේ මුල්, පොතු, සහ දලු ඖෂධ සඳහා ගනු ලබන අංගයන් වේ.

අන්දරවල ඖෂධීය වටිනාකම

මෙය රසයෙන් තික්ත සහ ක්ෂාය රස වන අතර, ගුණයෙන් උෂ්ණ වේ.

විර්යයෙන් උෂ්ණ වන අතර, විපාකයෙන් කටුක වේ.

දෝෂ අනුව සැලකීමේදී

සෙම් හා වාතය සමන ගුණ යුතු අතර, සෙම් වාත රෝග සඳහා යෙදෙයි.

ග්‍රාහක ආමවාත හර, අශ්මරී නාශක, මුත්රංවිකාර,ප්රාශමන යන ගුණ යුතු අතර, සිද්ධ වෛද්‍ය ක්‍රමයේ මෙය ජීර්ණකාරක, මුත්‍රාකාරක ගර්භ ශක්තිකර, ජනන ඉන්ද්‍රිනය ශක්තිකර, අශ්මරීභේදක, අභ්‍යන්තර රුජාහර, රක්ත වර්ධක සහ අර්ශස් නාශක ද්‍රව්‍යයක් ලෙස විස්තර කරයි.

 

ශාරීරික ව්‍යුහාගත කි‍්‍රයා

බාහිර වශයෙන්

දහඩිය ආදියෙන් ආඝාත ජනිත වූ ඉදිමුම් සමනය කරයි.

වාත වේදනා සමනය කරයි.

අභ්‍යන්තර වශයෙන්-

රුධිර සංසරණ ව්‍යුහාවේදී - ලේ කෝපය නිසා හටගනු ලබන රෝගයන් සමනය කරයි.

නාඩි ව්‍යුහාවේදී -වාත නාඩින්ගේ උත්තේජනය සමනය කරනු ලබයි.

ශ්වසන ව්‍යුහාවේදී - සෙම නසන ගුණ යුතුයි.

ආහාර පරිපචන ව්‍යුහාවේ- මල සංග්‍රාහෙක ගුණ යුතු අතර, පිපාසය ද සමනය කරයි.

මුත්‍ර ව්‍යුහාවේදී - අශ්මරී, ශර්කරා, මුත්‍ර සකෘච්ජ්රා සහ වෙනත් මුත්‍රාබාධ නසනු ලබයි.

ප්‍රජනන ව්‍යුහාවේදී

යෝනි ස්රාචව, කණ්ඩු ආදී යෝනි රෝග නසනු ලබයි. මේ ආදී වශයෙන් ශාරීරික ව්‍යුහා ආශ්රිහතව අන්දර හොඳීන් කි‍්‍රයා කරයි. මේ අතර අන්දර අඩංගු ඖෂධ යෝග රාශියක් විවිධ රෝග සඳහා දක්නට ලැබෙන අතර, ඒවා දේශීය වෛද්‍ය ක්‍රමයේ ද, සිද්ධ වෛද්‍ය ක්‍රමයේ ද ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ද දක්නට ලැබේ.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ

වීතරාදි ගණයේ ( අන්දර අඩංගු) කෂාය වාත රෝග, අශ්මරී සහ වකුගඩු රෝග සඳහා යෙදේ.

දේශීය වෛද්‍ය ක්‍රමයේ අන්දර තෛලය - කරප්පන් රෝගය සඳහා යොදනු ලබයි.

කැඩුම් බිඳුම් වෙදකමේදී - අන්දර විවිධ අයුරින් පත්තු, මැල්ලුම් ලෙස ද යොදාගනු ලබයි.

සිද්ධ වෛද්‍ය ක්‍රමයේදී - අන්දර මැලියම්

ශ්වේත ප්‍රදර, ශුක්රී ප්‍රමේහ උෂ්ණයෙන් හටගන්නා විසර්ප ආදියට යොදනු ලබයි.

 

මධුමේහයට

අන්දර කොළ විලතුව නම් බෙහෙතක් සිද්ධ වෛද්‍ය‍ ක්‍රමයේදී යොදනු ලබයි.

ප්‍රමේහයට

අන්දර කොළ යොදා සැකසූ තලපයක් දක්වයි.

ඇස් රෝග සඳහා

අන්දර දලු මිරිකා යුෂය ඇසට වත් කිරීම කරයි.

රක්ත අතීසාර, රක්ත ග්‍රහණි, රක්ත අර්ශස් සඳහා -

අන්දර ගසේ ඇතුළු සුඹුළු කොටා වරකට කලං 1/2 - 1 1/2 දක්වා ගැනීමෙන් විශිෂ්ට ගුණ ගෙන දෙන බව දැකිය හැක.

මේ අනුව පැහැදිලි වනුයේ අන්දර යනු ඉතා වැදගත් ඔසුවක් බවයි. බොහෝදෙනා නොසලකා හරින ශාකයක් ලෙස සැලකිය හැකි අන්දර ශාකය හොඳීන් හඳුනාගෙන එහි ඇති ඖෂධීය වටිනාකමෙන් නිසි ප්‍රයෝජන ලබාගන්නේ නම් එමඟින් සමාජයට සිදුවන්නේ විශාල යහපතක් බව වටහා ගත යුතුය.

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ

කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.