මන්දපෝෂණයට ඖෂධීය කැඳක්

නොවැම්බර් 4, 2022

වර්තමාන ලංකාවේ ඇති වී තිබෙන ළමා මන්දපෝෂණයට මුහුණදීම සඳහා සෞඛ්‍ය අංශවලට විශාල කාර්යභාරයක් හා වගකීමක් දැරීමට සිදුවී තිබේ. ආර්ථික අර්බුදයෙන් නිර්මාණය වූ ආහාර මිල දී ගැනීමේ නොහැකියාව නිසා ආහාර පරිභෝජනය අඩු වී ඇති බැවින් විශේෂයෙන් වර්ධන අවධියේ පසුවන දරුවන්ගේ ශරීර බර අඩු වී ප්‍රතිශක්තීකරණය දුර්වල වීම හා මන්දපෝෂණ තත්වයක් නිර්මාණය වී ඇත. ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක්‍රමයේ සඳහන් වන මාන්දම හෙවත් මන්දපෝෂණය දුරලීම සඳහා ප්‍රතිකාර ක්‍රම, ඖෂධ වර්ග හා අතිරේක ආහාර වර්ග විශාල සංඛ්‍යාවක් දක්වා ඇත. ඒ අනුව පෝෂණීය කැඳක් වර්තමානයට ගැළපෙන ලෙස සකස් කර ඇත. මෙම පෝෂණීය කැද දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ පස්ගොඩ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකය විසින් වසර කීපයක් තිස්සේ ප්‍රදේශයේ පාසල්, පෙරපාසල් දරුවන් සඳහා සකස් කර ලබාදී අත්දැකීම් සහිතය.

පළමු වෙන්ම සහල් පිටි කර බදින්න. ඉරිගු, කුරක්කන්, කඩල, මුං ඇට යන ආදිය බැද කුඩු කරන්න. ඉරිගු පමණක් මද ගින්නෙන් බදින්න.(පොරි නොසෑදෙන ලෙස) අවශ්‍ය ප්‍රමාණයට ලොකු හට්ටියක් ගෙන ඉහත ධාන්‍ය පිටි සියල්ල දමා දියකිරි එකතු කර හොඳින් පිටි දියවනසේ මිශ්‍ර කරමින් තම්බන්න. මිශ්‍රණය ඝන බවට පත් වේ නම් කලින් උණු කර තබා ගත් ජලය එකතු කර හැඳි ගාන්න. එයට සිහින්ව කපා තලා ගත් රතු ලූණු, සුදු ලූණු, කරපිංචා එකතු කරන්න. හොඳින් තලාගත් අමු ඉගුරුවල යුෂ එකතු කරන්න.

එසේම සිහින්ව කපාගත් රටඉදි (ඇට ඉවත් කළ),මුද්දරප් පලම් සහ සීනි එකතු කරමින් හැඳි ගාන්න.

තැම්බුනාට පසුව මිටිකිරි එකතු කරමින් හැඳිගාන්න. හොඳින් තැම්බුනාට පසුව සකසා ගත් කොළ යුෂ එකතු කර බුබුළු නගිනවාත් සමඟම ලිපෙන් බා අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කර හොඳින් නිවෙන්නට සලස්වන්න. එක් ළමයෙක් සඳහා සාදාගත් කැද වීදුරුවක ප්‍රමාණයක් ලබා දෙන්න. මෙලෙස සතියකට දින 2 – 3ක් ලබා දීමෙන් සාර්ථක ප්‍රතිඵල නෙළා ගත හැකිය.

මන්දපෝෂණය, පෝෂණ ඌණතාවය මෙන්ම ආහාර දිරවීමේ හා අවශෝෂණයේ දුර්වලතාවය නිසාද ඇතිවේ. එමෙන්ම ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලියේ සිදුවන වෙනස්වීම් නිසාද ඇති වීමට හේතු වේ. මෙම කරුණු නිවැරැදි කිරීම සඳහා ආයුර්වේදයේ හා දේශීය වෛද්‍ය ක්‍රමයේ සඳහන් උපදෙස් හා ප්‍රතිකාර ක්‍රම විශාල මෙහෙයක් සිදු කරයි. ආහාර රුචිය ඇති කිරීම, ආහාර දිරවීම පහසු කිරීම හා අවශෝෂණ දුර්වලතා මෙම පෝෂණීය කැඳ පානය කිරීම තුළින් සම්පූර්ණ කළ හැකිය. මේ සඳහා අමු ඉගුරු, සුදු ලූණු, රතු ලූණු, කරපිංචා කොළ ආදියේ ඖෂධීය ගුණය උපකාරී වේ.

නවීන විද්‍යාත්මක විශ්ලේෂණයන් තුළින් ශරීර වර්ධනය සඳහා අවශ්‍යවන රසායනික සංඝටක මෙම ද්‍රව්‍ය තුළ අඩංගු වන බව ඉහත වගුවේ දක්වා ඇත. ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට, මේද, තන්තු සහ කැල්සියම්, යකඩ, පොටෑසියම්, පොස්පරස් වැනි ඛණිජ ලවණ ද විටමින් ඒ, ඕ, ඛ්, ඡ්, (පෝලික් ඇසිඩ්, තයමින්, රයිබෝප්ලේවින්, තයිසීන් වැනි) ආදී විටමින් වර්ග ද අඩංගු වන අතර දෛනික කැලරි අවශ්‍යතාවයන් 1/7ක්, ප්‍රෝටීන අවශ්‍යතාවයන් 1/3ක්, යකඩ අවශ්‍යතාවයන් 100%ක්, කැල්සියම් අවශ්‍යතාවයන් 1/2ක් පමණ මෙම පෝෂණීය කැඳ තුළ අඩංගු වේ.

එසේම කොළ කැඳ පානය කිරීමෙන් සෙම ඇති වන බව ලාංකික ජන සමාජය තුළ ප්‍රකට කරුණකි. ළමා කාලය සෙම් රෝගවලින් පීඩාවිදින අතර ප්‍රතිශක්ති දුර්වලතාවලින් පෙළෙන බවද දක්නට ඇත. සෙම වැඩි නොවන, සෙම් රෝගවලට ඔරොත්තු දෙන, ප්‍රතිශක්තිය වර්ධනය කරන කොළ පලා වර්ග මෙම අවස්ථාවේ දී භාවිතා කළ හැකිය. මෙම පෝෂණීය කැඳ සඳහා ද එවැනි කොළ වර්ග වන ගොටුකොළ, මුකුණුවැන්න, කුප්පමේනිය, එළබටු, ආදියේ කොළ යුෂ මේ සඳහා යොදා ගත හැකිය. මෙම පෝෂණීය කැඳ භාවිතා කිරීමෙන් ලාංකේය දූදරුවන්ගේ මන්දපෝෂණය දුරු කිරීම සඳහා ඉහළ දායකත්වයක් ලැබෙන අතර දේශීයව ඇති අල වර්ග, ලා කොළ වර්ග, ධාන්‍ය වර්ග, පලතුරු වර්ග, එළවලු වර්ග ආදී ආහාරවල පෝෂණීය ගුණය පිළිබඳ ලාංකික ජනතාව දැනුවත් විය යුතු අතර පරිභෝජනය සඳහා යොමු විය යුතුය. එමෙන්ම හැකි සෑම අවස්ථාවකම මාළු, මස්, කිරි, බිත්තර හා හාල්මැස්සන් ආදී සත්ත්වමය ආහාර වර්ග ද පරිභෝජනය කළ යුතුය.

 

වෛද්‍ය

දර්ශන රාජපක්ෂ

ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී

පස්ගොඩ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.