ඖෂධ ගුණ සපිරි නෙළුම්

මැයි 13, 2022

 

වෙසක් සමය සමඟ බද්ධ වූ පුෂ්පයක් වේ නම් ඒ අන් කිසිවක් නොව නෙළුම්ය. අරවින්ද,සත් පියුම, කමල, පියුම් යනාදී නම් රැසකින් හඳුන්වන මෙම නෙළුම් මල සේම නෙළුම් පැළෑටිය ද ඖෂධීය වටිනාකම් රැසක් උසුලයි. සිදුහත් කුමාරෝත්පත්තියේ දී සිදුහත් කුමරු මවු කුසින් බිහි වීමත් සමඟ නෙළුම් මල් හතක් පිපී ඒ මත පාද තබා ඇවිද ගිය බව පැවසේ. මෙම හේතුව නිසාම වෙසක් සමයේ අපට නිරන්තරයෙන් නෙළුම් නාමය කියවේ. වෙසක් සැරසිලි සඳහා ද නෙළුම් මල විශේෂත්වයක් උසුලයි. බුදුන් පිදීමටත් දෙවියන් පිදීමටත් නෙළුම් මල් වට්ටි නිරතුරු භාවිතා වෙයි.

 

 

නෙළුම්වල ස්වභාවය

බුදුන් දෙවියන් පාමුල මෙම නෙළුම් මල් පූජා කිරීමට ප්‍රයෝජනවත් වනවා සේම ඖෂධීය වශයෙන්, ආහාරමය වශයෙන් නෙළුම්වල ඇත්තේ අතිශය ප්‍රයෝජනවත් බවකි. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම පාහේ විශේෂයෙන් වියළි ප්‍රදේශවල වැව් පොකුණුවල නෙළුම් වැවේ. විශාල වශයෙන් ව්‍යාප්තවන ජලජ පැළෑටියක් වශයෙන් මෙය හැඳීන්විය හැක.

 

ඖෂධීය වටිනාකම

නෙළුම් අල, මල් සහ ඇට, රේණු ඖෂධීය වශයෙන් ආයුර්වේදයේ දී ඉතා වැදගත් වේ. නෙළුම් අල සහ ඇට ආහාර සඳහා ලබා ගනී. මේවා ව්‍යාංජන ලෙස ඉතා ජනප්‍රිය ආහාර වර්ග වේ. එමෙන්ම මේවායේ ආර්ථික වටිනාකම ද වර්තමානයේ වැඩිය.

 

නෙළුම් වැවෙන රටවල්

මෙම සුදු හා රතු නෙළුම් ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව බොහෝ රටවලින් ද හමුවේ. ඉන්දියාවේ කාශ්මීරය, බිහාරය, බෙංගාලය, බොම්බාය යන ප්‍රදේශවලින් ද පාකිස්ථානය වැනි ආසියාතික රටවල ද මේවා බහුලව දැකිය හැක.

 

භාවිත වන නම්

සිංහල භාෂාවෙන් පියුම්, කමල ලෙස ද හඳුන්වන අතර සිංහල සාහිත්‍යයේ ද නෙළුම් පස්පියුම් ලෙස වර්ගීකරණය කර දක්වයි. හෙළ නෙළුම්, රතු නෙළුම්, මානිල් (ඉඳුවර), හෙල්මැලි වශයෙන් හඳුන්වයි.

නෙළුම් ඉන්දියාවේ හින්දි භාෂාවෙන් කවල, කමල, පුරඉර, කන්වල් ආදී නම් වලින් ද වංග බසින් පද්ම නමින් ද දෙමළ බසින් තාමරසි, තාමරෙ යන නම් වලින් ද හඳුන්වයි.

ඉංග්‍රීසි බසින් නෙළුම් හඳුන්වනුයේ, ඉන්දියන් lotus  සහ secret lotus යන නම් වලිනි. මෙහි උද්භිද විද්‍යා නාමය Nelumbium Nucifera Gaertn  හෙවත් Nelumbium Speciosum Willd වන අතර කුලය වනුයේ Nymphaeaceae  හෙවත් කමල කුලයයි.

 

රෝග සඳහා ඔසුගුණ

නෙළුම් රේණු, අල, දඬු, මල්, ඇට, මද හා කොළ ආදී සියලු අංග ඔසු සඳහා ගනු ලබයි. නෙළුම්වල ඇති රසායනික උපාදාන සැලකීමේදී අල සහ ඇට, මද වල දුම්මල. ග්ලූකෝස්, මෙටාබින් (Metabin), ටැනින්, මේද සහ ක්ෂාර පදාර්ථ අන්තර්ගත වෙයි.

නෙළුම් ඖෂධ සඳහා ගනු ලබන මාත්‍රා සැලකීමේ දී, ස්වරස කර්ෂ (මාත්‍රා) 1 සිට 2 දක්වා ද රේණු රක්තිකා 5 සිට 15 දක්වා ද, බීජ චූර්ණය රක්තිකා 18 සිට 36 දක්වා ද වෙයි. මේ අනුව සලකා බලන විට අපට පැහැදිලි වන්නේ, නෙළුම් යනු හොඳ ඔසුවක් බවයි. නෙළුම්වල ඖෂධීය ගුණ කර්ම පිළිබඳ සැලකීමේදී රසයෙන් මධුර, තිත්ත හා කෂාය රසයෙන් ද ගුණයෙන් ලඝු (සැහැල්ලු), සනිග්ධ සහ පිච්ඡිල ද වන අතර ශීත වීර්ය සහ මධුර විපාකය ද වෙයි.

 

දෝෂානුරූපව සැලකීමේ දී

නෙළුම් අල සෙම හා පිත දසකව (සමනය)කරන නිසා සෙම් පිත් දෙකින් උපදින රෝගයන් සඳහා යොදනු ලබයි.

 

ව්‍යුහාගත ක්‍රියා සැලකීමේ දී

බාහිර වශයෙන් මෙහි දාහ ප්‍රශවණ (දැවිලි නසන) ගුණ සහ වර්ණ ඇති කරන ගුණ යුක්ත බැවින් දැවිල්ලේදී හා වර්ණ විකෘතිතාවල දී ආලේප ලෙස යොදාගනු ලබයි.

 

අභ්‍යන්තර වශයෙන් ස්නායු ව්‍යුහාවේ දී

මෙය මේධ්‍යා හා ශාමක ගුණ යුක්ත නිසා මස්තිෂ්ක දුබලතා, මුර්ජාව, මානසික උද්වේගය සහ එයින් උපදින නින්ද නොයාම ආදී තත්වයන් සඳහා යොදනු ලබයි.

 

ආහාර ජීර්ණ පද්ධති ව්‍යුහාවේ දී

මෙය වමනය නසන පිපාසය නසන සහ ස්ථම්භන ගුණ යුක්ත නිසා වමනය, පිපාසාව අතීසාරය, ප්‍රවාහිකාව ආදී රෝග තත්ත්වයන් සඳහා උපයෝගී වෙයි.

 

රක්ත සංවහන ව්‍යූහාවේ දී

හෘදයට හිතකර හා හෘදය ආරක්ෂා කරන ගුණ මෙන්ම ලෙය නතර කරන ගුණ ඇති නිසා හදවත් රෝගවලදී මෙන්ම වෙනත් රෝගයන්හි දී හදවතේ ආරක්ෂාව සඳහා මෙය යොදනු ලබන අතර රක්ත අතීසාර, රක්ත ප්‍රදර, රක්ත පිත්ත හා රක්ත අර්ශස් ආදී අධික ලෙස රුධිරය පහවෙන රෝගයන්හි දී රක්ත ස්ථම්භනය (ලේ නතර කිරීම) උදෙසා යොදා ගනු ලබයි. එසේම විසර්ප, විස්ථෝථ (විසප්පු තුවාල) ආදී රක්ත දූෂිත රෝගවලදී සහ රක්ත අල්පතාවයේ දී මෙය ප්‍රයෝග කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබේ.

 

ප්‍රජනන ව්‍යුහාවේ දී

නෙළුම් ඵල ප්‍රජා ස්ථාපන ගුණ ඇති බැවින් ගර්භ අවස්ථාවේ නෙළුම් අල යෙදීමෙන් ගර්භ ශ්‍රාවය නතර වී ගර්භ පෝෂණය ඇති කරන අතර ශරීර ශක්තිය ද දියුණු වෙයි. එසේම මේ සඳහා නෙළුම් රේණු චූර්ණය බටර් සමඟ යෙදීම ද නෙළුම් ඇට පේයාව යෙදීම ද යහපත් ප්‍රතිඵල ලබා දෙයි.

 

මුත්‍ර ව්‍යුහාවේ දී

මුත්‍ර විරේචනීය ගුණ ඇති නිසා පිත්ත ප්‍රමේහ යේදී හා මුත්‍ර කෘච්ජ්‍රයේ දී ප්‍රයෝග කරනු ලබයි. එසේම නෙළුම් අල උණ නසන සහ දැවිල්ල නසන ගුණ යුක්ත නිසා තියුණු උණ රෝගයට හා දාහ අවස්ථාවට යෙදීම ඉතා ප්‍රතිඵලදායකය. එසේම මෙයින් විෂ නැසීම ද හදවත් ශක්තිය ද ඇති කරනු ලබයි. උණ රෝගයේ දී හටගන්නා දාහ පිපාසා දෙකට නෙළුම් ඇට තම්බා පෙරාගත් වතුර පෙවීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබේ. එසේම නෙළුම්වල බල ඇති කරන ගුණය හා විෂ නසන ගුණය ඇති නිසා සාමාන්‍යයෙන් දුර්වල බාලයන් සඳහා මෙන්ම ඉතා කෘශ බාලයන් සඳහා මෙහි ප්‍රයෝග බෙහෙවින් හිතකර ය. එසේ ම ශක්තිය ද ලබා දෙයි. මේ අයුරින් ශරීරයේ ව්‍යුහා ආශ්‍රිතව නෙළුම්වල ක්‍රියාව පෙන්නුම් කරනු ලබන අතර මෙයින් පැහැදිලි වනුයේ ශරීරයට නෙළුම්වලින් ලැබෙන ප්‍රයෝජන අතිමහත් බවයි.

එසේම විවිධ රෝගාබාධ සඳහා නෙළුම් සහිත ඖෂධ ප්‍රයෝග රාශියක් වෙයි.

ඒවා අතුරින්

 

රත් පිතට - නෙළුම් රේණු, මානිල් අල, සහ කුමුදු ප්‍රයෝගය යොදනු ලබයි.

 

කටින් ලේ එන විට - නෙළුම් රේණු චූර්ණය සීනි සමඟ යෙදීම ගුණදායකය.

 

ජ්වර අතීසාරයට - මානිල් අල, දෙළුම් ලෙලි හා නෙළුම් අල චූර්ණය හාල් සේදූ වතුරින් බීමට දීම ගුණදායකය.

 

වේදනා සහිත ඇස් රෝගයට - එක් එක් නෙළුම් මල බැගින් ගෙන අඹරා එළු කිරෙන් බීම සුදුසු⁣ය. මුත්‍ර කෘච්ජ්‍රයට - නෙළුම් අල, මානිල් අල කෂාය යොදයි.

 

දත් පණුවන් කෑමට - නෙළුම් අල සැපීම ගුණදායකය.

මෙවන් ඖෂධ යෝග රාශියක් විවිධ රෝගාබාධ සඳහා නෙළුම් යුක්තව දක්නට ලැබේ. මෙයට අමතරව නෙළුම් වලින් සකස් කරන ලද සංස්කාරික ඔසු රාශියක් ද විවිධ රෝග සඳහා දක්නට ලැබේ. මේවා අතුරින් අරවින්දආසවය ප්‍රධාන ඖෂධයකි. ළදරුවන් සඳහා වැළදෙන සියලු රෝගයන් සඳහා යෙදිය හැකි ඔසුවක් වන මෙහි “නෙළුම් රේණු” මූලික ඔසුවයි.

 

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ, කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.