මූත්‍රාබාධ සහ අශ්මරි සඳහා ගුණදෙන කුසතණ

අප්‍රේල් 15, 2022

පරිසරය හා එකට බැඳී ජීවත්වීමේ රටාව ආයුර්වේදය තුළින් මතු වූවා පමණක් නොව පරිසරය රැක ගැනීමේ වැදගත්කම ද ආයුර්වේදය තුළින් ම මතුවිය.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දී ඒකීය වශයෙන් හෝ කොටස් වශයෙන් හෝ ඔසු පැළ යොදා ගනී. මෙසේ ඖෂධීය ශාක ලෙස හඳුනා ගැනීමේ දී විවිධ ශාක වැල් හෝ පඳුරුමය ශාක වශයෙන් නොයෙක් අයුරින් එම ශාක කාණ්ඩ කළ හැකිය.මෙහිදී තෘණ විශේෂයන් වශයෙන් ද ඖෂධීය ශාකයන් සමූහයක් ගනු ලබන අතර එම ශාකයන්ගෙන් ද ඖෂධීය වශයෙන් ලැබෙන ප්‍රයෝජනය අතිමහත්ය. මෙම තෘණ කාණ්ඩයට අයත් ඹෟෂධීය ශාක අතර ‘කුස තණ’ ප්‍රධාන ශාකයක් වශයෙන් හැඳීන්විය හැක.

සුප්‍රකට ‘තෘණ පංචමූලය’ සඳහා ගනු ලබන එක් ද්‍රව්‍යයක් වන මෙය ඒවාට ආවේණික මූත්‍ර රෝග සමන ගුණයෙන් ද අශ්මරි(ගල්) නාශක ගුණයෙන් ද පිරිපුන් අගනා වටිනා ඔසුවක් ලෙස හැඳීන්විය හැක.භාරතීය ජනතාව ශුභකාරක වස්තුවක් ලෙස ද සලකනු ලබන මෙම ශාකය පිළිබඳ ව බෞද්ධ ජනතාව තුළ ද යම් මතකයක් රැදී ඇත්තේ කුස ජාතකය,කුස රජතුමා ආදී නාමයන් ගැන ඇති අවබෝධය තුළිනි. දෙව්ලොව තුළ පවා කුසතණ ඇති බැව් කුස ජාතක කථාවෙහි සඳහන් ව ඇත.කුසතණ අප රටේ දක්නට ලැබෙන මාන පවුලට නෑකම් දක්වන තණ පඳුරු විශේෂයකි.

කුසතණ වැවෙන ප්‍රදේශ

ඉන්දියාවේ සියලු ම ප්‍රදේශවල වැවෙන අතර ඉතා තනි සරු බිම්වල පවා සරුවට වැවෙන තෘණ විශේෂයකි.අතීතයේ රජගහනුවර නමින් හඳුන්වනු ලැබු බිහාර් ප්‍රාන්තයේ කුසතණ බහුල නිසා එම ප්‍රදේශය කුශාග්‍රපුරය ලෙස හැඳින් වූ බවට මතයකි.

කුසතණවල ස්වරූපය

තෘණ පවුලට අයත් මෙය ඖෂධ පැළෑටි අතුරින් විශේෂ තැනක් ගනු ලබන පැළෑටියකි.හොඳීන් වැඩුණු විට අඩි 1-3 දක්වා උසට වැවෙන පඳුරක් වන අතර මෙහි පත්‍ර අඟල් 18ක් පමණ දිගින් යුතු අඟල් 2ක් පමණ පළලින් යුතු පත්‍ර වෙයි.මෙම පත්‍ර සියුම් රෝමවලින් යුතු වන අතර පත්‍රයේ අග්‍රයේ තියුණු තුඩක් පවතියි. කුසතණ ශාකයේ මුල්, පො‍ළොවේ බොහෝ යටට විහිදී යන අතර මෙම පැළෑටියේ හටගනු ලබන මල්වල දණ්ඩ අඟල් 6-18 දක්වා දිගින් යුතුය. එසේ ම ඍජු ය.මෙහි හටගනු ලබන බීජ අඟල් 1/4 ක් පමණ දිගින් යුතු අණ්ඩාකාර පැතලි බීජ වන අතර මල් හට ගැනීම වර්ෂා ඝෘතුවේ දී ද ගෙඩි හට ගැනීම ශීත ඍතුවේ ද සිදුවෙයි.

කුසතණ පිළිබඳ ව විවිධ භාෂාවලින් හඳුන්වන නාමයන්:-

පොදු සිංහල නාමය :- කුසතණ වන අතර

සංස්කෘත බසින් :- මෘදු දර්භ,කුශ,සුචීමුඛ,පූණ්‍යතෘණ,සූච්‍ය‍ග්‍ර,යඥභූෂණ ආදී නාමයන් යෙදෙයි.මේ අතුරින්

සූච්‍යග්‍ර:- පත්‍රයේ කෙළවර ඉදිකටු තුඩක් බඳු තියුණු තුඩක් ඇති හෙයින් ද

යඥභූෂණ:- යාග පූජාවල දී වැඩි වශයෙන් සැරසිලි සඳහා වැඩි වශයෙන් ගනු ලබන නිසා ද

පුණ්‍ය තෘණ :- බුදුන්ට පූජා කිරීමට ගනු ලබන නිසා ද යෙදෙයි.

තව ද දර්භ වශයෙන් කුසතණ සඳහා යෙදී තිබුණ ද කුසතණ සඳහා “කුශ” ඉලුක් සඳහා “දර්භ” ද බොහෝ සෙයින් යෙදී ඇත.මේ රටේ කුශ නොමැති හෙයින් ඒ වෙනුවට ඉලුක් ගනු ලබයි.මෙම වර්ග දෙකේ ම ගුණ බොහෝ සෙයින් එක සමාන බව “භාව ප්‍රකාශයේ” සඳහන් වේ.

හින්දි බසින් :- කුශා සහ ඩාහ යනුවෙන් ද

වංග බසින් :- දර්භ හා කුශ ලෙස ද යෙදේ.

ඉංග්‍රීසි බසින් :- ඉචජපඥඤ ඬභඵච - ට්පචඵඵ යනුවෙන් යෙදේ.

කුසතණවල උද්භිද විද්‍යාත්මක නාමයන් ච්ඪඨඪබචපඪච ජඪතඪචපඪඵ (අඥබඵ)ඬධඥත,ච්ඥඵජචප ච්ධච ඛ්රදධඵභපධඪඤඵ අඥ+2 ඡ්පචඨපධඵබඪඵ ට්රදධඵභපධඪඤඵ ආදි නාමයන් යෙදේ.

මෙහි කුලය :- ට්අඒර්ධ්ව්ර්‍ණඡ්ඒඡ් හෙවත් යව කුලය වෙයි.

කුසතණ ප්‍රභේද

1. මෘදු දර්භ

2. ඛර දර්භ වශයෙන් ප්‍රභේද 2 කි.

මෘදු දර්භ :- කෙටි කර්කශ නොවූ මෘදු ඉදිකටු තුඩුමෙන් සියුම් තුඩ සහිත

වර්ගයයි.

ඛර දර්භ :- දිග ඉතා කර්කශ පළල් කොළ සහිත වර්ගය ඛරදර්භ නම්වේ.

ඖෂධ සඳහා ගනු ලබන අංග

කුස තණ වල මුල් වශයෙන් ඖෂධ සඳහා බොහෝ සෙයින් යොදා ගනු ලබයි.

ඖෂධීය ගුණ කර්ම

මෙය රසයෙන් මධුර හා ක්ෂාය වන අතර ගුණයෙන් ලඝු හා ස්නිග්ධ වේ. විර්යයෙන් ශීත වන අතර විපාකයෙන් කටුක වේ.

දෝෂ අනුව සැලකීමේ දී:-

මෙය ස්නිග්ධ ගුණ යුතු නිසා වාතය ද,මධුර හා ශීත නිසා පිතද තෂාය රස නිසා සෙම ද නසන බැවින් තුන්දොස් සමන ගුණ යුතුය. මෙනිසා තුන්දොසින් හටගත් රෝග සමනය කරනු ලබයි.

ශාරීරික ව්‍යුහාගත ක්‍රියාසැලකීමේ දී

ආහාර ජීර්ණ පද්ධතියේ දී:-

කුසතණ මෙහිදී ස්තම්භන සහ පිපාසා නසන ගුණ යුතුය.මෙනිසා රක්ත අතීසාර ,ප්‍රවාහිකා හා පිපාසා සඳහා යොදනු ලබයි.

රුධිර සංසරණ ව්‍යුහාවේ දී:- මෙය රත්පිත් සමන ගුණ යුතු නිසා රත්පිතේ දී යොදනු ලබයි.

ප්‍රජනන ව්‍යුහාවේ දී:-මෙය මව්කිරි වඩන ගුණ යුතු නිසා මව්කිරි

අඩු කිරිමව්වරුන්ට සුදුසු අතර රක්ත ප්‍රදර රෝගයට ද හිතකරය.

මුත්‍ර ව්‍යුහාවේ දී:-මෙය මුත්‍රකාරක ගුණ යුතු අතර අශ්මරී නාශක ගුණද යුතුයි.මෙනිසා මුත්‍රකෘච්ඡ්‍ර,අශ්මරී වස්තිවේදනා ආදි මෙම රෝග සඳහා යොදනු ලබයි.

තවද කුෂ්ඨ නසන ගුණ ද යුතු අතර සියලු සමේ රෝග සඳහා යෝග්‍ය වෙයි.එසේම දාහ ප්‍රශමන ගුණ යුතු නිසා දාහයේ දී යොදනු ලබයි.

මේ ආදී වශයෙන් ශාරීරික ව්‍යුහ හා ආශ්‍රිත ව ඉතා හොඳින් ක්‍රියාකරන ද්‍රව්‍යයක් ලෙස කුස තණ හැඳින්විය හැක.

කුසතණ අඩංගු ඖෂධ යෝග

රක්ත අතීසාරයට - කුශ මුල කලං 12 ක්ෂාය මීපැණි සමඟ යොදයි.

මුත්‍රකෘච්ඡ්‍ර මුත්‍ර ඝාත හා අශ්මරී සඳහා

1. තෘණ පංච මූල කෂාය අතිශයින් ප්‍රකට කෂායකි.

2. කුශමුල් නීරමුල්ලිය,කෂාය ද ඉතා හොඳයි.

ප්‍රදර රෝගයට - අමුකහ,කුසතණ මුල්,අඹරා හාල්පානු වතුරෙන් බීම සුදුසුය.

ව්‍රණ සේදීමට - කුසතණ මුල් තම්බා ගත් වතුරින් සෝදයි.

රක්ත අර්ශස් සඳහා - කුශමුල්,බැබිල මුල් කෂාය යෝග්‍යයි.මේ ආදි ඖෂධ යෝග රාශියක් කුසතණ අඩංගුව රෝගාබාධ රාශියකට යෙදේ.මේ අතර තෘණපංච මූලය,දර්භපංචමූලය,සතන්‍ය ශෝධන ගණය,මූත්‍ර විරේචන ගණය ආදියේ එක් උපදානයක් ලෙස කුසතණ යෙදෙන අතර ක්වාථ ලේහ ආදියේ දී ද යෙදේ.

කුසතණ අඩංගු සංස්කාරික

ඖෂධ

කුශාව ලේහය,කුශාදී තෛලය සහ කුශාදී ඍතය,කුසතණ අඩංගු සංස්කාරික ඖෂධයෝ වෙති. මේ අනුව පැහැදිලි වන්නේ කුසතණ යනු ඖෂධීය වශයෙන් අතිශයින් ප්‍රයෝජන ගෙන දෙන ද්‍රව්‍යයක් බවයි.මෙයට අමතර ව ශුද්ධ වස්තුවක් ලෙස ද සලකනු ලබන කුසතණ බුදුදහමේ බොහෝ සෙයින් දක්නට ලැබේ.සොත්ථිය නම් බමුණා කුසතණ මිටි 8ක් බුදුන් ට පූජා කළ බව දැක්වෙන පුවත එක් අවස්ථාවකි. මෙනිසා මෙවන් ගුණ සමුදායකින් යුතු කුසතණ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා තිබීම රෝග සමනය සඳහා අතිශයින් වැදගත් වේ.

කථිකාචාර්ය වෛද්‍ය මධුර පරණවිතාන

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.