හිසට ඉඹුල් පත් ද පයට නුග පත් ද තබා හිස තෙල් ගෑමේ සෞඛ්‍යමය අරුත

අප්‍රේල් 8, 2022

 

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශි ගතවන අවස්ථාවෙන් ආරම්භ වන සිංහල හින්දු අලුත් අවුරුද්දේ සියලු වැඩ කටයුතු සුබ මොහොතින් ආරම්භ කිරීම අනාදිමත් කාලයක පටන් පැවත එන උතුම් චාරිත්‍රයකි. එකම වේලාවක එකම දිශාවක් බලා එකම අරමුණක සිට කටයුතු කිරීම මෙම චාරිත්‍රවල ඇති සුවිශේෂී බවයි.

මේ චාරිත්‍ර අතුරින් වැදගත්ම චාරිත්‍රයක් වන්නේ හිස තෙල් ගෑමයි.

ඖෂධීය ශාකපත්‍ර යොදා සකසා ගත් නානු සුබ මොහොතින් හිස ගල්වා ස්නානය කිරීමෙන් නිරෝගී ගුණය ළඟා කර දෙන බව කියනු ලබයි. හිස යනු ශරිරයේ උත්තමාංගය වන අතර, මුළු ශරීරයම පාලනය වනුයේ හිස් කබල තුළ ඇති මොළය ප්‍රධාන ස්නායු පද්ධතියෙනි. එසේම පංච ඉන්ද්‍රියන් ද හිසට අයත් වන අතර මෙවන් වැදගත් ඉන්ද්‍රියයන් සමූහයකින් යුතු හිස ආරක්ෂා කර ගැනීම තුළින් සිරුරේ නිරෝගී බව රැකෙන බව පැහැදිලිය.

මෙහිදී හිස තෙල් ගෑම සඳහා විශේෂ නානු මිශ්‍රණයක් සාදා ගනු ලබයි. ඒ සඳහා කළාඳුරු අල,සුදු හඳුන්,කුංකුමප්පු,විෂ්ණුක්‍රාන්ති,ගෝරෝචන, සස්සඳ මුල්, ඉරිවේරිය, නස්නාරං මුල්, සැවැන්දරා මුල්, නෙළුම් දඬු, ගොඩමානෙල් අල, බෙලි මුල්,වෙනිවැල්ගැට, ඊතණ ආදී ද්‍රව්‍යයම සම ව ගෙන තලා අලුත් මුට්ටියකට දමා වතුර පත අට දෙකට සිඳ ගන්න.ඉන්පසු බෝපත් කොටා එහි යුෂ ද දෙහි ඇඹුල් ද මුලින් සිඳගත් දියරයට දමා හොඳීන් මිශ්‍රකර රෙද්දකින් පෙරා ගන්න. මෙලෙස සාදා ගත් නානුවලට තල තෙල් හෝ පොල් තෙල් හෝ හිසට හිත නීල්‍යාදී තෛලය වැනි තෙලක් එක් කර ගන්න.

මෙම නානු මිශ්‍රණය සඳහා ගන්නා ඖෂධ දැවිල්ල නසන ,ලේ පිරිසිදු කරන,නුවණ වඩන සහ භූත දෝෂ නසන ගුණයෙන් යුතු ය.මේවා හිස තෙල් ගල්වන අවස්ථාවේ දී හිසට සහ දෙපතුලට ස්පර්ශ වන සේ බෝ,කොහොඹ,ඉඹුල්,නුග,කරඳ වැනි කොළ වර්ග තබනු ලැබේ. මෙම කොළ වර්ග ගනු ලබන්නේ එදින නැකැතට උචිත වන අයුරිනි. මෙම කොළවල ද ඉහත නානු වල ගුණ පවතින අතර, නානු මිශ්‍රණයේ ඇති ගුණවල අවශෝෂණ කි‍්‍රයාවලිය ඉක්මන් කිරීම ද කරයි.

මෙවර හිස තෙල් ගෑමේ දිනයට යෙදෙන නැකැත් අනූව හිසට ඉඹුල්පත් සහ පයට නුගපත් යොදා ගනු ලැබ ඇත.මේවා ඖෂධීය වශයෙන් ද අතිශයින් ගුණදායක නිසා එමගින් ලැබෙන සුවය අති මහත් ය. ඉඹුල් සහ නුග වල ඖෂධීය වටිනාකම සැලකීමේ දී මුලින් ම ඉඹුල් ශාකය ගනිමු.

ඉඹුල් ඉන්දියාව,මියන්මාරය,සුමාත්‍රා ,පිලිපීනය ආදී රටවල මෙන් ම ශී‍්‍ර ලංකාවේ ද බහුල ලෙස දක්නට ලැබෙන ශාකයකි. සාමාන්‍යයෙන් මීටර් 40 ක් පමණ උසට වැවෙන ගසක් වන මෙහි පොත්තෙහි කටු ඇත.එසේ ම පොත්තේ වට සිදුරු රාශියක් වේ.පත්‍රම සංයුක්තයි. මල් තද රතු හෝ ලේ රතු පැහැවන අතර, ජනවාරි සහ මාර්තු අතර මල් හට ගනියි.ඉඹුල් සඳහා සංස්කෘත භාෂාවෙන් දීර්ඝ ද්‍රැම,ශාල්මලී,රම්‍ය පුෂ්ප,රක්ත පුෂ්ප වැනි නම් යෙදෙන අතර, හින්දි බසින් සේමර,සේමල් සහ ශෙම්බල් යන නාම යෙදේ.

වංග බසින් ශිමුල් යනුවෙන් ද දෙමළ බසින් ඉලෙවම් යයි ද කියති. ඉංගී‍්‍රසි බසින් Red silk Gotton tree නම් වේ. ඉඹුල් වල උද්භිද විද්‍යාත්මක නාමය Salmaliamalabrica  නම් වේ.

එසේම ඉඹුල්වල මුල්,පොතු,මැලියම්,කටු මල්,ඇට ගෙඩි සහ පුළුං ඖෂධ සඳහා යොදා ගනු ලබයි. ඉඹුල් වල ගුණාගුණ ගැන සැලකීමේ දී ඉඹුල් ශීතල ගුණ යුතු අතර, ශුක්‍ර සහ සෙම වඩයි.එසේ ම ශරීර ශක්තිය වඩන අතර, සිරුර තර කරනු ලබයි.රත්පිත නසන අතර ඉඹුල් මැලියම් කසට රසයි. මලබද්ධය ඇති කරනු ලබයි. එසේ ම සප්ත ධාතු වඩන අතර, නුවණ වඩයි.

එසේම තරුණ බව රැක දෙන අතර, වාතය නසයි.අතීසාර ,ලේ දෝෂ ,සහ පිත නිසා ඇති වන දැවිල්ල නැතිකරනු ලබයි. එසේ ම ඉඹුල් පොතු තුවාල සුව කරයි. තවද ඉඹුල් මුල්,නැටි සහ මල් අතීසාර රත්පිත්,කාන්තා රෝග සහ විෂ ශරීර ගතවීම් ආදියට යොදනු ලබයි.

නුග ශාකය සැලකීමේ දී ආයුර්වේද ද්‍රව්‍යය වර්ගීකරණයට අනුව වනස්පතී වෘක්ෂ ගණයට අයත් වන නුග ගස ශී‍්‍ර ලංකාවේ සහ ඉන්දියාවේ සෑම ප්‍රදේශයකම පාහේ දැකිය හැකිය. මේවා වැඩිපුර දක්නට ලැබෙන්නේ කැලෑ ආශි‍්‍රත ව වන අතර, පන්සල් ආදියේ ද බොහෝ විට දක්නට ලැබේ.

විශාල ප්‍රමාණයේ ශාකයක් වන නුග ගස සිව්දෙසට විහිදුණු ශාඛා වලින් යුක්ත වේ.එම ශාඛා වලින් සිහින් මුල් පොළොවට පහත් වේ.කල්ගත වන විට ප්‍රධාන කඳට සමාන වන ලෙස එම මුල් විශාල වේ.අතු වලින් සහ කඳේ ඉහළින් පහතට ඇද හැලෙන මෙම මුල් නුග ගස්වල දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් වෙයි.මේවා නුග අරළු ලෙස හඳුන්වයි.

සංස්කෘත බසින් නුග සඳහා න්‍යග්‍රෝධ,වට,වනස්පතී,වෛශ්‍රවණවාස ආදී නාමයන් යෙදෙන අතර හින්දි බසින් බර් සහ බර්ගද් යන නම් යෙදේ. වංග බසින් වටරාජ් ලෙස ද දෙමළ බසින් අලමරම් යයිද යෙදේ.ඉංගී‍්‍රසි බසින් Banyan tree නම් වේ.නුගවල උද්භිද විද්‍යාත්මක නාමය Ficusbengalensis Linn වන අතර, කුලය MORACEAE කුලය වේ.

ඖෂධීය වශයෙන් නුග මුල්,පොතු,නුග අරළු,කිරි,ගෙඩි ආදිය යොදා ගනු ලබයි. සෙම් පිත් සමන ගුණ මෙහි පවතින අතර, අධෝගත රත්පිත,රක්ත ප්‍රදර,රක්ත අතීසාර,ගර්භාෂගත රෝග ,මුත්‍ර රෝග ,දැවිලි,තුවාල,මද සරුභාවය ආදී රෝග තත්ත්වයන් සඳහා විශේෂ ගුණ ගෙන දේ. එසේ ම ග්‍රහණි,අර්ශස්,චර්ම රෝග, දියවැඩියාව ආදී රෝග සඳහා ද නුග අඩංගු ඖෂධ යොදා ගනු ලබයි. මෙවන් වූ ගුණයන්ගෙන් යුතු ඉඹුල් සහ නුග මෙවර හිසතෙල් ගෑමේ උත්සවයේ දි හිසට සහ පයට තබා හිසතෙල් ගෑම බෙහෙවින් ගුණ ගෙන දෙන්නක් වේ.

 

 

 

පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද

වෛද්‍ය විද්‍යාලයේ, කථිකාචාර්ය වෛද්‍ය

මධුර පරණවිතාන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.