වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
සියලුම අංග ඖෂධයක් වූ ශ්‍රියා කාන්තාව පවා බැල්ම හෙලන බෙලි
විෂ්ණු දෙවියන්ගේ භාර්යාව වූ ශ්‍රියා කාන්තාව වන ලක්ෂ්මී දෙවඟන ගේ වාසස්ථානය ලෙස සැලකෙන්නේ මහත් ඖෂධීය ගුණයෙන් යුක්ත වූ නිවසට සිරිකත කැන්දන වාසනාවන්ත වෘක්ෂයක් වූ බෙලි ගසයි. බෙලි ගසේ සෑම අංගයක්ම දේශීය මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී ද ඉතා ප්‍රයෝජනවත් වන අතර එදිනෙදා ජීවිතයේ දී ද අප සැමට සෞඛ්‍යමත් ලෙස භාවිතා කළ හැකි වටිනා පලතුරක් මෙන්ම ඖෂධයකි.
බෙලි ගසක් සිටවමු
බෙලි ගසේ මුලින් හටගන්නා බෙලි පැළ ඔබේ නිවසේ ඉදිරිපිට දකුණු පසින් සිටුවා ගැනීම නිවසට සෞභාග්‍ය උදාකරන බව පැරැන්ණන්ගේ විශ්වාසයයි. වර්තමානයේ ඒ සඳහා ඔබට සුදුසු ඉඩකඩක් නොතිබුණද, නවීන තාක්ෂණික ක්‍රම මඟින් බොන්සායි ක්‍රමය යටතේ වුවද ඔබට සාර්ථකව බෙලි ගසක් නිවසේ වගා කළ හැකිය.
විවිධ ගුණ දෙන බෙලිගෙඩිය
බෙලි ගස ගත් කල ප්‍රධාන වශයෙන්ම බෙලි ගෙඩිය ඖෂධීය මෙන්ම ආහාරමය වටිනා කමකින් යුක්තය. ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට, මේද, ඛනිජ ලවණ, විටමින් හා කෙඳී යන සියලුම සංඝටක බෙලි ගෙඩිය තුළ අඩංගුය. බෙලිගැට කාලය, මදක් පැසුණු විට මෙන්ම හොඳීන් ඉදුණු බෙලි ගෙඩි ද එකිනෙකට වෙනස් ඖෂධීය ගුණයන් ලබා දීමට සමත්ය. පාචනය සඳහා නොඉදුණු බෙලි මද ලබා දෙන අතර මලබද්ධය සඳහා ඉදුණු බෙලි ලබාදෙයි. මෙලෙස එකිනෙකට පරස්පර රෝග සඳහා ද එකම බෙලි ගස විවිධ ලෙස රෝග නිවාරණයට සහය වෙයි.
බෙලි වල තවත් තතු
බෙලි ගෙඩි මදය මුල් පොතු කොළ මල් යන සියලුම අංග ඖෂධ මෙන්ම ආහාර සඳහාද සුදුසුය. නමුදු වර්තමානයේ බොහෝ දෙනා බෙලිගෙඩිය ආහාර සඳහා ලබා ගත්තද ශාකයේ අනිත් කොටස් ආහාර පිණිස ලබා ගන්නා අයුරු පිළිබඳ පැහැදිළි අවබෝධයක් නොමැත.
බෙලිමල් වතුර අප කවුරුත් දන්නා පිපාසය නිවන ජනප්‍රිය පානයකි. මෙය අතීසාර, මධුමේහ, පිපාස යන අවස්ථා සඳහා ගුණදායකයි. අතීතයේ මෙන්ම වර්තමාන ගම්බද පෙදෙස් වල ද ඉතා ජනප්‍රිය පානයකි බෙලිමල් සමඟ කිතුල් හකුරු.
පැරැන්ණන් අමු බෙලි ගැට කපා මද පවනේ වියළා සුරැකිව තබා ගනිමින් එය තම්බා බීමට පුරුදුව සිටියහ. මෙය කුඩා දරුවන්ගේ පාචනයට ඉතා යෝග්‍ය ඖෂධයක් විය.
වර්තමානයේ බහුලව පවතින අම්ල පිත්ත රෝගය සඳහා බෙලිකොළ රැයක් වතුරේ ගිල්වා තබා පසුදා උදෑසන පෙරා හිස්බඩ දින හතක් පානය මඟින්ද, බෙලි ගෙඩියේ මදය ආහාරයට පෙර අනුභවය මගින් ද මෙම අම්ලපිත්ත රෝගය සමනය කළ හැකිය.
මහා පස් මුලෙහිද අඩංගු බෙලිමුල් රෝග රැසකට මහත් ගුණ දෙන අතරල බෙලිමුල් ද ඔබට සෝදා වේලා පිරිසුදු කර සුරැකිව ගබඩා කර තබා ගනිමින් භාවිතා කළ හැක. අජීර්ණ, වාත රෝග, අර්ශස්, වේදනා, වමන, අතීසාර, පීනස, ප්‍රතිශ්‍යාව, ඇදුම වැනි රෝග රැසකට ගුණ ලබාදීමට බෙලිමුල් සමත්ය. වයසට යත්ම බොහෝ දෙනා පීඩා විඳීන කටී ශූලයට මෙන්ම වෙහෙසට පත්ව දවස පුරා බොහෝ කාර්ය වල නියැළෙන ඔබගේ ඇඟේ රුදාවට ද බෙලිමුල්, සුදුළූනු තැම්බූ ජලය නිතර පානය කරන්න. ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත සෑම රෝගයකටම පාහේ බෙලි ගස සුවය ලබා දෙයි.
රසට ගුණට පිළියෙල කරගත හැකි බෙලි කිරි
ඉදුණු බෙලි ගෙඩියක් හොඳීන් පොඩි කර සීනි හෝ හකුරුත් ලුණු අවශ්‍ය ප්‍රමාණයට දමා ජලය දමා හොඳීන් හොඳීන් පොඩි කර හෝ බ්ලෙන්ඩර් කර සකසා ගන්න.
බෙලි සිරප්
බෙලි මද හොඳීන් පොඩි කර ජලයේ දියකර සීනි දමා රෙදි කඩකින් පෙරා ගන්න. එයටම ඉතා හොඳීන් ගැසූ මුදවපු කිරි එක්කොට අයිස් කැට දමා සිසිල් කර පානය කරන්න මෙය ඉන්දියාවේ ඉතා ජනප්‍රිය පානයකි.
මෙවන් රස ගුණ පිරි බෙලි ගස අපට මහත් කප්රුකක් බඳුය අපි සැම මෙවන් වටිනා ශාක රැක ගැනීමට සහාය වෙමු. එමෙන්ම හැකි සෑම දෙනාම අපට හිමි කුඩා ඉඩ ප්‍රමාණයක හෝ වටිනා ප්‍රයෝජනවත් ඖෂධීය ශාක වගා කරමින් මිහිකත මාතාව සැරසීමට සහාය වෙමු. බෙලි ගසෙහි පහස ලබමින් දේව ආශිර්වාදය ලබා ගන්නා සේම සෑම ශාකයකට ආදරේ ආදරය කරුණාව දැක්වීමෙන් ඔබට මහත් ඵල ලබා ගැනීමට හැකි වීම නොඅනුමානය. පිරිසුදු හුස්මක් සඳහා ඔබත් වටිනා පැළයක් සිටුවීමට සැම විට දායක වන්න.
වෛද්‍යාචාරිනී ගුණවතී එදිරිසිංහ