සෙම් නාශක වාත නාශක විෂ නාශක හා උත්තේජන ගුණයෙන් යුත් යකිනාරං - නස්නාරං

ඔක්තෝබර් 29, 2021

දේශීය මෙන්ම ආයුර්වේද ප්‍රතිකාර සඳහා කොළ, පොතු, මුල් යොදාගන්නා යකිනාරංවල අවම වශයෙන් ගෙඩිද යොදාගනියි. දේශීය වෛද්‍ය ක්‍රමයේ දළු අනුපානයක් වශයෙන් දෙනු ලබන අතර යකිනාරං කොළ ඖෂධීය කැඳට යොදාගනු ලබති. බොහෝ විට යකිනාරං තැම්බූ වතුරෙන් ප්‍රතිශ්‍යාවට දුම් ඇල්ලීමෙන් සහනයක් ලැබේ.

 

මුහුණේ හට ගැනෙන විෂ බිබිලි සඳහා ද යකිනාරං කොළ සිහින්ව ඇල්දියෙන් අඹරා මුහුණේ ආලේප කිරීමෙන්ද සුවයක් ගෙන දේ. යකිනාරං සංයෝග කරනු ලබන ඖෂධ බොහෝමයක්ම ඇත. ප්‍රතිශ්‍යාවට කාසයට ස්වාසයට අජීර්ණයට පක්ෂගාතයට සන්ධිගත රෝගයන්ට චර්ම රෝගයන්ට සර්ප විෂට මෙන්ම තවත් රෝග රැසකටම ඒවා නියම කෙරේ. යකිනාරං පත්‍රවලට වඩා විශේෂ සුවඳක් යකිනාරං ගෙඩියෙන් වහනය වේ. යම් යම් අවස්ථාවලදී වර්ණ කිරීම සඳහා ද යකිනාරං ශාකයෙන් ලබා ගන්නා යුෂ උපයෝගී කර ගනී.

යකිනාරං ශාකය මෙරට පහතරට ප්‍රදේශවල බෙහෙවින් වැඩී ඇත. දේශගුණිකත්වයෙන් තොරව වැඩෙන මෙම ශාකය බස්නාහිර පළාතේ මෙන්ම පුත්තලම කැකිරාව හා බිබිලේ යන ප්‍රදේශ ආශි‍්‍රතවද දැක ගන්නට හැකිය. අතු බෙදී ගොස් ඇති යකිනාරං ගස මීටර් දෙකක් පමණ උසට වැඩේ. කඳේ පොත්ත දුඹුරු පැහැයකින් යුක්ත වේ. යකිනාරං පත්‍ර විහිදී පැතිරී පවතී. පත්‍රයක් දිගින් සෙන්ටිමීටර් එකක් පහක් හා දෙකයි හතක් පමණ වේ. පත්‍රයක පළල සෙන්ටිමීටර් නමයක් දෙකක් පමණ වේ. යකිනාරං පත්‍රයේ මුල් කොටස රවුමට පිහිටා ඇත. පත්‍රයේ අගකොටස තීව්‍රයි. ශාකයේ ඵල හටගැනීම එනම් මල් හටගැනීම මාර්තු සිට අගෝස්තු මාසය දක්වා වේ. මල් සුදු පැහැවන අතර මල් සුදු පැහැයෙන් යුක්තවන අතර සුවඳවත්ව ඇත.

මල් පොකුරු වශයෙන් හටගනු ලබන අතර ගෙඩි ගෝලාකාරව හා ඕවාලාකාර හැඩයකින් යුක්ත වේ. ගෙඩියේ ඇතුළත යුෂ සහිතව යකිනාරං රේණු පිරී පවතී. මෙම රේණු අතර බීජ රාශියක්ම පවතී. යකිනාරං ගෙඩි ඉදුණු පසු ගෙඩිය කහ පැහැයට පත්වේ. එසේ ඉදුණු ගෙඩි තැලූ විට සුවඳවත් දියරක් පිට වේ. යකිනාරංවලට සිංහල භාෂාවෙන් යකිනාරං වන අතර දෙමළබසින් පෙයිකුරුණ්ඩු කියාද හින්දි බසින් ජංග්ලි නම්බු යනුවෙන් ද යෙදෙන අතර වැඩියෙන්ම භාවිතාවන්නේ නස්නාරන් ය. කෝල සන්නි, වලිප්පු සහ උණසන්නිපාතයට විශේෂයෙන් නියමකරනු ලබන ඉරමුසු ආදී කෂාය යකිනාරංමුල් ඉරමුසු ඉරිවේරිය, කලාඳුරු, විෂ්ණු ක්‍රාන්තිය, බැවිල, සැවැන්න, වම් ඇපල, එළබටු, කොත්තමල්ලි, වැල්මී, කටුකරෝසන, වළඟසාල්, අසමෝදගම්, ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, අරළු, බුළු, නෙල්ලි, යකිනාරං කොළ අනුපානය සියලු ආම සහ අජීර්ණ උණට දෙනු ලබයි. යකිනාරං කොළ හා පොතු කොටා වණ්ඩුවෙන් තම්බා මිරිකා පෙරා කෝල දචුණ්ඩ මාත්තු පහ හෝ සීතාරාම ගුලි හා මීපැණි දමා දිය යුතු වේ.

නස්නාරං කොළ වේදනා නාශක ගුණයෙන් යුතු බැවින් ඖෂධ බොහොමයකට නස්නාරං කොළ භාවිතා කරති. එමෙන්ම නස්නාරං බීජවල ඉදිමුම් නාශක ගුණයකින් යුක්තවන අතර හමේ ආබාධවලට ද යොදාගනු ලබන අතර විශේෂයෙන් සර්ප දෂ්ටනවලදී ද ආලේපනයට යොදා ගනිති. නස්නාරං වලට සිංහල භාෂාවෙන් ද නස්නාරං වන අතර සංස්කෘත බසින් ඵලපුරුබා, රුචකා කේෂරාම් දන්තුරවත්ව, බීජපුර කේෂරාම්ල, රෝචනඵල ආදී නම් ද දෙමළ බසින් මාදලම් යනුවෙන් ද භාවිතා කරයි. නස්නාරං ඖෂධ සඳහා කොළ, දළු, මල්, ගෙඩි, රේණු ඇට මෙන්ම ගෙඩියේ පොතුද එක්කරගනී. නස්නාරං ප්‍රභේද දෙකකි. ඒ මධුර වර්ගය හා අම්ල වර්ගයයි. මින් මධුර වර්ගය වා, පිත් සමන ගුණයෙන්ද අම්ල වර්ගය සෙම්, වාත ගුණයෙන්ද යුක්ත වේ. මේ නිසා මධුර වර්ගයට අයත් නස්නාරං ගෙඩි වාත පිත්ත රෝග සඳහා ද අම්ල වර්ගයේ ගෙඩි සෙම් වාත රෝග සඳහා ද යොදා ගනී.

නස්නාරං වගපුල් සුනු විලඳ න

මී පැණි සමඟ එකතු ද කරගෙන රැගෙ න

ලේහ කළොත් ගෙන නොපමාව සතොසි න

සියලුම අරුචි නැති කරවාය නොලසි න

 

තිකුළුත් නස්නාරං රේණුත් රැගෙ න

සීනි සවිඳව ගිතෙලුත් මී පැණි න

ලේහ කරවුවොත් මේ ඔසු රැගෙ න

කාශස්වාස නැත සවුසවු නොල සි න

 

රත් පිතට නස්නාරං ගසේ මුල් හා මල් සම සමව ගෙන නස්නාරං ඇඹුලින්ම අඹරා හාල්පානු වතුරෙන් පෙවීම ගුණදායක වේ. නස්නාරං සාමාන්‍ය ප්‍රමාණයේ ශාකයකි. මෙම ශාකයේ කඳේ දොඩම් ශාකයේමෙන් කටු පවතී. ගසේ පොත්තේ පැඟිරි සුවඳක් වහනය වේ. ගසේ පත්‍ර දෙහි කොළවලට වඩා තරමක් කුඩා වේ. නස්නාරං ගෙඩි කුඩාවට සෑදීමේ දී කොළපැහැයක් ගනු ලබන අතර ඉදුණු විට ගෙඩියේ පොත්ත කහවර්ණවත් වේ. ඇඹුල් ගතියෙන් යුත් නස්නාරං ඇඹුල් ආහාර රසවත් කිරීමට මෙන්ම ඖෂධවලට ද යොදා ගන්නා අතර නස්නාරං ඇඹුල් අව්වේ වේලා රත්කොට ලුණු දෙහි බඳුනට දැමීමටත් පුරුදුව සිටිති.

 

මොනරාගල සිරිගල ආයුර්වේද වෛද්‍ය,

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

 

 

සටහන

එස්.එස්. එස්. ප්‍රනාන්දු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.