වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ඔබ නොසිතන ගුණ රැසක් හිමි කතුරුමුරුංගා
කතුරුමුරුංගා යනු මිනිස් ශරීරයේ හටගන්නා රෝගාබාධ රැසකට සහනය ලබාගත හැකි ඉතාම ගුණවත් පලා වර්ගයකි. කතුරුමුරුංගා කොළ මැල්ලුමක් හෝ කිරි හොද්දක් සතියට අවම වශයෙන් දින 3ක්වත් ආහාරයට ගැනීමෙන් ඉන් ලැබෙන ඖෂධීය හා පෝෂණීය ගුණය යහමින් අපට ලබාගන්න පුළුවන්.
මේ සඳහා කතුරුමුරුංගා කොළ, කතුරුමුරුංගා මල් විවිධ ලෙස සකස් කර ආහාරයට ගත හැකියි. කතුරුමුරුංගා කොළ හා මල්වල විටමින් “ඒ”, ප්‍රෝටීන්, විටමින් “බී”, විටමින් “සී”, තන්තුමය ස්වභාවය ආහාර ජීර්ණයත් ආමාශයේ ඇතිවන ආබාධත් සංසිඳුවනවා. සුදු මල් හා රතු මල් වශයෙන් කතුරුමුරුංගා ප්‍රභේද දෙකක් දැකිය හැකි අතර, සුදු මල් ප්‍රභේද බහුලව දැකිය හැකියි. මේ ප්‍රභේද දෙකෙහිම කොළ හා මල් වල අන්තර්ගත වන්නේ සමාන ගුණයක්.
සංස්කෘත භාෂාවෙන් අගස්ථි ලෙස හඳුන්වන කතුරුමුරුංගා ශාකය මුනිප්‍රිය, ස්ථූල පුෂ්ප, වක්‍ර පුෂ්ප වැනි නම්වලින් හැඳීන්වෙනවා. කතුරුමුරුංගා ශිව දෙවියන් පිදීමට භාවිත කරන බැවින් “මුනිප්‍රිය” නමින් ද, සුදු පැහැති විශාල මලක් හටගන්නා නිසා “ස්ථූල පුෂ්ප” ලෙස ද එම මල විශාල අර්ධ වක්‍ර ආකාරයක් ගන්නා බැවින් වක්‍ර පුෂ්ප ලෙසින් හඳුන්වන බවයි. ආයුර්වේද වෛද්‍ය “නිගණ්ඩු” ග්‍රන්ථවල සඳහන් වන්නේ හිමාල පර්වතයේ වාසය කළ “අගස්ථි” නම් වූ පුරාණ සෘෂිවරයෙක් වියපත් වීම ප්‍රමාද කරවන ඖෂධ විශේෂයක් කතුරුමුරුංගාවලින් නිපද වූ බවත්, ඒ අනුව එම සෘෂිවරයාට ගෞරව කිරීමක් ලෙස ආයුර්වේද නිගණ්ඩුවල මෙය අගස්ථි නමින් දක්වා තිබෙන බවත් සඳහන් වේ.
කතුරුමුරුංගාවල ඖෂධීය වටිනාකම.
වාත, පිත්ත, සෙම යන තුන් දොසම සමනය කළ හැකි මාහැඟි ඖෂධයක් ලෙස කතුරුමුරුංගා වලට සුවිශේෂි තැනක් හිමිවේ. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ කතුරුමුරුංගා ගසේ මුලෙන් ලබාගත් පොතුවල ඉස්ම මේස හැන්දක ප්‍රමාණයක්, මී පැණි බිංදු කීපයක් සමඟ මිශ්‍රකර පානය කරන්න. දිනපතා උදේ සවස මාසයක් පමණ මෙය පානය කරන විට සෙම තත්ත්වය ඉවත්ව යනු ඇත.කතුරුමුරුංගා කොළ මනා ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත නිසා රුධිර ගමනය යහපත් කරයි.
පෝෂණීය ගුණයෙන් අධික නිසා ගර්භණී මවුවරුන්ට ඉතාම ගුණදායක ආහාරයකි. මෙම මනා පෝෂණ ගුණය නිසා කුසේ සිටින දරුවාගේ කළලය හා ස්නායු පද්ධතිය මනාව ප්‍රකෘතිමත් කරයි. ඇඟිලිකරු අතර හටගන්නා පණුහොරි තත්ත්වය සමනයට කතුරුමුරුංගා ගසේ පොතු අඹරා එහි ආලේප කිරීමෙන් දින දෙක තුනකින් පමණ සුවය ලබාගත හැකියි. ඕනෑම උදරාබාධයකට ගුණදෙන පානයක් ද, කතුරුමුරුංගා පොතු ඇසුරෙන් සකස් කරගත හැකිය.
මේ සඳහා කතුරුමුරුංගා පොතු තම්බා එය කකාරා පත එකට සිඳුවාගෙන ලුණු ස්වල්පයක් හා කබලේ බැදගත් කරාබු නැටි දෙකක් කුඩුකර ඊට එකතු කර උදේ සවස පත භාගය බැගින් පානය කිරීම සුදුසුය. ආර්තව අපහසුතා සඳහා විශාල ගුණයක් කතුරුමුරුංගා කොළ හා මල් ආහාරයට ගැනීමෙන් ලබාගත හැකියි.
කතුරුමුරුංගා කොළවල සුවිශේෂී ගුණ
උණ රෝගය සුව කරයි.
සන්ධි වේදනා මඟ හරවයි.
සිරුරේ බාහිර තුවාල සුවපත් කරයි
ආමාශයේ තුවාල හා වණ සුව කරයි.
සර්ප දෂ්ඨනවලදී තුවාල මුඛය සෝදා කතුරුමුරුංගා කොළ ඉස්ම ආලේප කරයි. (මෙයින් සර්ප විෂ මෙන්ම වේදනාවන් ද සමනය වේ.) කතුරුමුරුංගා කොළ ඇල් දියෙන් අඹරා සන්ධි මත ආලේප කිරීමෙන් සන්ධි වේදනා සමනය වේ.
මෙම රෝගීන්ට හා ඕනෑම පුද්ගලයෙකුට පපඩම් වෙනුවට බැදගත් කතුරුමුරුංගා කොළ ආහාරයට ගැනීමට සුදුසුය.
කතුරුමුරුංගා කොළ කොටා මිරිකාගත් යුෂ පානය කිරීමෙන් මළ බද්ධය හා ගෑස්ට්‍රයිටිස් තත්ත්වයෙන් මිදිය හැකියි. මෙය පානය කිරීමට අපහසු නම් නිතර ආහාර වේලට කතුරුමුරුංගා කොළ එකතු කර ගැනීම යහපත්ය.
කතුරු මුරුංගා කොළ සිහින්ව අඹරා චර්ම රෝග ඇති තැන්වල තැවරීමෙන් චර්ම රෝග සුව වේ.
ඇස්වලින් කඳුළු ගැලීම, දුර නොපෙනීම, බොඳවී පෙනීම, ඇස් පෙනීම අඩු වී යාම වැනි තත්ත්වයන් සුව වීම සඳහා දිනක් හැර දිනක් බැගින් මාස 06ක් පමණ කතුරුමුරුංගා කොළ සම්බෝල, මැල්ලුම, කිරි හොද්ද ආදී වශයෙන් ආහාරයට ගැනීම සුදුසුයි.
සෙම්ප්‍රතිශ්‍යාව හා උගුර කට වියළී ගිය විටත් අනවශ්‍ය ලෙස කටහඬ ගොරහැඬි වූ විටත් කතුරුමුරුංගා මිටකට වතුර කෝප්ප අටක් දමා තම්බා අට එකට සිඳුවා එම ජලයට මී පැණි බිංදු කීපයක් දමා උගුර කට සේදීමෙන් එම අපහසුතා මඟහරවා ගත හැකියි.
කතුරුමුරුංගා මල්වල සුවිශේෂී ගුණ
පිළිකා නාශක ගුණවලින් පරිපූර්ණයි.
ශරීරයේ සියලු විෂ නැසීමේ ගුණ සහිතයි.
අජීර්ණ රෝගීන්ට උණු වතුර වීදුරුවකට කතුරුමුරුංගා මල් කීපයක් දමා තම්බා පෙරා බීමට දෙන්න. බඩේ අමාරුව සුවවේ.
කාන්තා ශ්වේතප්‍රදර රෝගයට සුදු කතුරුමුරුංගා මල් වියළා කුඩුකර එම තේ හැඳී භාගයක් එළකිරි වීදුරුවකට දමා සීනි ස්වල්පයක් දමා දිනකට දෙවරක් බැගින් සති කීපයක් පාවිච්චි කිරීමෙන් එම වේදනා දුරුවේ.
සුදු කතුරුමුරුංගා මල් වියළා ඒවා කුඩුකර තේ වෙනුවට දිනපතා පානය කළ හැකි නම් සෙම් රෝග, කැස්ස, පීනස රෝග සුවවේ.
කතුරුමුරුංගා මල් තම්බා එහි යුෂ උදේ සවස පානය කිරීමෙන් (මාසයක් පමණ භාවිත කර සතියක් ඉන් මිදී යළි ඊළඟ මාසයේදී මෙම පානය යළි මාසයක් හැර මාසයක් ගත යුතුයි.) ශරීර දාහය නිවා සිරුරේ විෂ සියල්ල නසයි. ශරීරය පැහැපත් කරයි.
වල්ගම ආයුර්වේද රෝහලේ
වෛද්‍යාචාරිනී,
ධම්මිකා අමරසේකර
සටහන
කීර්ති එස් කුමාර