ගුණ - අගුණ දෙකම දෙන රට දෙල්

මාර්තු 5, 2021

උෂ්ණාධික ආහාරයක් වන දෙල් වැඩිපුර ආහාරයට ගැනීමෙන් කාන්තාවන්ගේ රූප ශෝභාව අඩුවන බවත් පුරුෂ ශක්තිය හීනවන බවත් ශරීරගත වේදනා හටගන්නා බවත් ආයුර්වේදයෙන් පෙන්වා දී ඇත. විශේෂයෙන් කුෂ්ට රෝගවලින් පෙළෙන අය දෙල් ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුතුම ය.

එමෙන්ම කටේ තුවාල පවතින තොල් පැළෙන අය රක්තවාත රෝගීන් බඩේ දැවිල්ල පවතින අය මූත්‍රා දැවිල්ල, අත්පා දැවිල්ල ඇති අය ද දෙල් ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුතු ය. පිටි සහිත ආහාරයක් වන දෙල්වල කාබෝහයිඩ්රේඩ් සියයට විසි එකක්ම ඇති අතර විටමින් සී ද වැඩි ප්‍රමාණයක් ඇත. තන්තුද ප්‍රබල ලෙස ඇති බැවින් රට දෙල් දියවැඩියා රෝගීන්ට නම් ගුණාත්මක බව කියවේ. එයට හේතු වී ඇත්තේ ප්‍රතිඔක්ෂිකාරක අඩංගුව ඇති බැවිනි. එහෙත් දියවැඩියා රෝගීන් දෙල් වැඩිපුර ආහාරයට නොගත යුතු ය.

ශක්තිජනක ආහාරයක් වන දෙල් ග්‍රෑම් සියයක කිලෝ කැලරි එකසිය විසිපහක්ම ඇත. විටමින් බී ද සී ද වැඩි ප්‍රමාණයක් ඇත. රුධිරගත මේදය අඩු කිරීමේ ගුණයක් ද පවතින දෙල්

ක්ෂය රෝගය සන්ධිවේදනා ආතරයිටිස් පාචනය, මැලේරියාව ආදී රෝග රැසකටම ගුණදායක වේ. මොරාටේ ශාක කුලයට අයත් රට දෙල් අටෝකාප්‍රස් බිල්ටිලීස් යන උද්භිත නාමයෙන් හැඳින්වේ. ද්‍රවිඩ බසින් එරල්කාඩ් නමින්ද ඉංගී‍්‍රසි බසින් බ්‍රෙඩ්පෘට්ස් යනුවෙන් ද හැඳින්වේ. මෙරට ජනතාවගේ ප්‍රධාන ආහාරය වන බත හැරුණු විට කොස් හා දෙල් ආහාරයට ගත් බව රහසක් නොවේ. මේ නිසා බොහෝ දෙනකු පි‍්‍රය කරන්නේ දෙල් තම්බා පොල් සමඟ කෑමටයි. දෙල්වර්ග තුනක්ම මෙරට පවතී. එනම් රට දෙල්, සිංහල දෙල්, හා කොස් දෙල් යනුවෙනි . දෙල්වල ඇති පිටි කොටස සමඟ ඇති මැලියම් කොටසක් ද පවතී. මෙම මැලියම් පිටි අනූ පහසුවෙන් වෙන්වීම වළකයි. එසේම දෙල් පිටි වැඩිපුර ආමාශයට ගියවිට පාචකරසයේ පවත්වා හයිඩෝක්ලෝරික් අම්ලය හා මිශ්‍රව ඒ පිටි හා එක් වේ. මෙහිදී ඇතිවන අධික අම්ලය නිසා සමහර අයට බඩේ දැවිල්ලක් ඇති වේ.

දෙල් තම්බා පොල් සමඟ ආහාරයට ගැනීමෙන් හොඳ පෝෂණයක් ලැබේ. සී විටමින් අධික බැවින් රෝග ගණනාවකටම ගුණවත් වේ. විශේෂයෙන් දෙල් ආහාරයට ගැනීමෙන් අස්ථි දුර්වලතා රෝගීන්ට විශේෂ ගුණයක් ලබා දෙයි. ශරීරගත තුවාල වියළීමට ද දෙල් කදිම ඖෂධයකි. දත්වලට ද දෙල් සුවදායකය. දෙල් බෙහෙවින් උෂ්ණ බැවින් උෂ්ණාගත ශරීර ඇති අය දෙල්කෑමෙන් වැළකී සිටිය යුතු ය. රක්තවාද රෝගයෙන් පෙළෙන විලුඹ පැළෙන අයට ද දෙල් කෑම සුදුසු නැත. මූත්‍රා දැවිල්ල ඇති අයට මෙන්ම අත් පා කැක්කුන් ඇති රෝගීන්ටත් දෙල් කෑම සුදුසු නොවේ. බොහෝ දෙනෙකු දෙල් කෑමට පුදුම ආශාවක් දක්වති. එහෙත් ස්වභාවයෙන් අම්ලාධිකව ඇති අයට දෙල් කෑමෙන් ඇතිවන අපහසුතා එමට ය. කුෂ්ට රෝග අම්ල පිත්ත ශිත පිත්ත ආදී රෝග ඇති අයට ද දෙල් එතරම් ගුණ නැත. දෙල් උෂ්ණ උෂ්ණ වීර්යයයි. බරයි. මළබඳින සුලු ය. ආමාශයේ තද ගතියක් ඇති කරයි. වා, පිත්, සෙම් සහ ශරීර ධාතු කිපීමට හේතු වේ.

ලේ දූෂිත වේ. ශුක්‍ර සහ බඩගින්නද නසයි. ඇස්වලට හිතකර නොවේ. පුරුෂ ශක්තිය හීනවීමටත් කාන්තාවන්ගේ ඡවි කල්‍යාණය හා රූප ශෝභාව විරූපවීමටත් දෙල් හේතු වේ. මේ රට දෙල් ආහාරයට ගැනීම සඳහා පිසීමේදී මිටිකිරි යොදා දෙල් ව්‍යාංජනය සකස් කර ගැනීම යහපත් වේ. එමෙන්ම දෙල් තම්බා ගන්නා විට කහ ස්වල්පයක් මිශ්‍රකර පොල් සමඟ ආහාරයට ගැනීම ද අගුණයක් නොවේ. ශ්‍රී ලංකාවට දෙල් ගෙන ආ සැටි දැක්වෙන ජනප්‍රවාද කතා කීපයක්ම ඇත. රට දෙල් අපට ලැබී ඇත්තේ විදේශ රටකින් බවත් කියවේ. අප රටට පෘතුගීසීන් හා ලන්දේසීන් පැමිණි කාලයේ ඔවුන් වහලුන්ගේ කෑම සඳහා රට දෙල් මෙරටට ගෙන ආ බවත් සඳහන් වේ. මෙම ජනප්‍රවාද කතා අතර ශ්‍රී ලංකාවේ කාන්තාවන් රූපශ්‍රීයෙන් අග තැන්ව සිටින බවත් මෙම කාන්තාවන් විදේශරටවලින් මෙරටට එන තරුණයින් ඔවුන්ගේ සිත් ඇඳ බැඳ ගත හැකි බවත් තරයේ විශ්වාස කළ විදෙස් කාන්තාවන් ශ්‍රී ලංකා කාන්තාවන්ගේ රූපශ්‍රීය විනාශ කිරීම සඳහා රට දෙල් මෙරටට එවා ඇති බවත් සඳහන් වේ.

දෙල් ඉතා උෂ්ණාධික බැවින් දෙල් තම්බන විට අළු පුහුල් වැලේ කරටි දෙල් ව්‍යාංජනයට දමා තැම්බීමෙන් එය උෂ්ණාධික තත්ත්වය අඩු කර ගත හැකි බව අදත් ගම්බද ජනතාවගේ මතයකි. එමෙන්ම දෙල් ලොකු කෑලිවලට කපා තම්බා ආහාරයට ගන්නවාට වඩා දෙල් හීනියට කපා මැල්ලුම සාදා ආහාරයට ගැනීම වඩාත්ම ගුණදායකය. දෙල් අටුකොස් සාදා පසුව එම දෙල් අටු කොස් තැම්බෙන විට පොල් දමා කෑමට ද අපේ ගෘහණියන් පුරුදුව සිටියි. ලොකුවට කැපූ වැඩි කාලයක් තම්බා බෙරිවනතෙක්ම තැම්බීමෙන් පසු එම කෑලි සිහින් වෙන්න කපා හිරු එළියෙන් වේලා ගැනීමෙන් දෙල් අටුකොස් සාදා ගත හැකි ය. එම දෙල් අටුකොස් නැවත තම්බා පොල් සමඟ ආහාරයට ගත හැකි අතර තෙලෙන් බැද එයට සීනි උණුකර දැමීමෙන් හා පැණි කළවම් කිරීමෙන් රසවත් ආහාරයක් ලෙස තේ වේලාවකට පවා ගැනීමෙන් ගම්බද ජනතාව පුරුදුව සිටියි.

ඉංගී‍්‍රසි බසින් බ්‍රෙඩ්පෘට්ස් ලෙස හඳුන්වා ඇති දෙල් ලන්දේසීන් විසින් හඳුන්වා දී ඇත්තේ මෙරට මිනිසුන්ගේ ශක්තිය කාර්යක්ෂමභාවය හීන කිරීමට බවත් කියති. ඉතිහාසගත තොරතුරු අනුව පැරණිම දෙල් ගස තවමත් ගාල්ලේ පල දරමින් පවතින බවයි.

 

 

මොනරාගල සිරිගල ආයුර්වේද වෛද්‍ය,

මැණික් නේරංජනා

හෙට්ටිආරච්චි

 

සටහන - මාධ්‍යවේදී

එස්.එස්. එස්. ප්‍රනාන්දු

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.