වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
නිරෝගි සුවයට අනගි ආහාරපාන
ආහාර ගැන කතා කරන විට බත් ප්‍රධාන තැන ගනී. පෙරදිග බොහෝ රටවල ප්‍රධාන ආහාරය බත් බව අපි කවුරුත් දනිමු. බත් වර්ග රාශියකි. වී වර්ගද එසේ මය. පුරාණ කාලයේ ලෝකයේ වී වර්ග 3000 ක් පමණ තිබූ බව කියති. දැන් නම් 300ක් වත් තිබේදැයි සැක සහිතය. ලෝකයේ උතුම්ම බත කිරිබතයි.
පායාසො කළුදො බල්‍යො කිසරො වාත නාසනො
සුදෙධා නො පසුතො සින්නො සුඛූණහොලහු ඔදනො
කන්දමංස ඵලස්නෙහ සාධිතො බ්‍රෑහණොගුරු
කිරිබත බලයට හිතය. සෙම් උපදවයි. මනාකොට දෙවුන්ලද පෙරන ලද මඳ උණුසුම ඇති බත ලඝුය. අල මාංස තලතෙල් ආදියෙන් සිද්ධ කරණ ලද බත බ්‍රෑහණය කරන්නේය. වහා නොදිරන හෙයින් ගුරුද වේ. කිරිබත් ඇසට හිතවේ.බල ඇති කෙරෙයි. රක්ත පිත්ත දොස් නසයි. රසායනයක් වේ.
බත ශරීරය වැඩීම කරයි. පිනවයි. තර බව බර බව ඇතිකර ධාතු හා ඉන්ද්‍රිය වැඩීමද බල වැඩීමද බඩගින්න වැහැරීම දුක් කෘශ බව ජය ගනී. අලුත් බත සෙම් වඩයි. මධුර සිනිඳු තර බව ඇති කෙරේ. පරණ බත රස නැත. රළු බව හා අග්නිදීපනය කෙරේ. උණු බත බල නසයි. වියළි බත් අතිශයින් දුෂ්කරව දිරවයි. අතිශයින් තැම්බුණු බත රෝග ඇති කෙරේ. එවෙලේම දියෙන් සේදු බත වහා පැසවයි. සිහිල හා සැහැල්ලු බව ඇතිවෙයි. සහල් බැද පිසගත් බත සැහැල්ලුය. බඩගිනි වඩයි. පොඩි කළ දී මිශ්‍ර බත් වෙහෙසද ඩහද අර්ශස් ද නසයි. රුචි කෙරෙයි . පිනවීමද ගින්නද ඇති කෙරේ. වස්ත්‍රයෙන් බැදි බත බරය. මල බිඳී. මිහිරිය. සෙම හා වාත නසයි.
විලඳවලින් පිපාස වමන අතීසාර දොස් මේදස් ප්‍රමේහ සෙම නසන්නේය. පිත සමනය කර අග්නි දීපනය කෙරේ. ශීත හා සැහැල්ලු බව ඇත්තේය. සීත මිහිරි සැහැල්ලු බව ඇති විලඳ අග්නිය වඩයි. මල මූත්‍ර ස්වල්ප වේ. බල වර්ධනය කෙරේ. වමන පිපාස පහ කෙරේ. විලඳ කැඳ ගින්න උපදවයි. දාහ පිපාස නිවයි. උණ අතීසාර සමනය කරයි. ශ්ලේෂ්මා රෝග නසයි. විලඳ පේයාව බල හීන වූ උගුර කට ඇති අයගේ විඩාව දුරු කරයි. රෝග හා පිපාසයද ගින්නද දුබල බවද උණද දාහයද නසන්නේය. කැඳවලින් උණ පිපාස නසා සැහැල්ලු කෙරේ. මල මූත්‍ර ශුද්ධ කරයි. උණ අතීසාර දැවිල්ල ආදියට හිතකරයි. අග්නි වඩන්නේය. කැඳ වතුර බඩගින්න ඇති කරයි. මූත්‍රාශය ශුද්ධ කරයි. බල වඩයි. ලේ වඩයි. උණ, වා, පිත් සෙම් තුන්දොස් නසයි. ගුණ අටක් ඇත්තේය.
බතට වඩා එකින් එක ගුණ මෙසේය. බතට වඩා පිටි ගුණ අටක් ඇත. පිටිවලට වඩා කිරිගුණ අටක් ඇත. කිරට වඩා මංශ ගුණ අටක් මාංශවලට වඩා ගිතෙල් ගුණ අටක් ඇත. ගිතෙලට වඩා තලතෙල් ගැල්වීමෙන් ගුණ අටකි. අනුබව කිරීමෙන් ගුණ නැත.
කිරෙහිලු හබල පෙති බල වඩයි. මල බිඳීම් කරයි. වාතය නසන්නේය. හබල පෙති බර බවද සිනිඳු බවද කර බවද ඇත්තේය. බැදි සහල් සෙම් දුරුකරයි. සුවඳය. රළුය. පිත් වඩයි.
බත් මෙන්ම අතිරේක ආහාරද ගත් බව දුරාතීතයේ සිට පසිඳුය.අමු මෙනේරි , කුරක්කන් ආදී ධාන්‍ය වර්ගද අල,බතල, කොස් ආහාර වර්ග ආදියේ සිට අනුභව කළහ. කුරක්කන් වියළි කලාපයේ මහජනයාගේ පි‍්‍රයතම ආහාරයකි. කලින් කල ජනගහනය සීඝ්‍රයෙන් වැඩිවීම නිසාත් හේන් ගොවිතැන් අඩුවීමත් වියළි කලාපයට පි‍්‍රය අඩුවීමක් විශාල වාරිමාර්ග ක්‍රම ඇතිවීම නිසාත් හේන් ගොවිතැන බොහෝ අඩු විය. වනයේ හට ගන්නා කටුවල, හිරිතල, ගෝනල, කුකුලල, කිරිඅල, වැල්අල, හිඟුරල, බතල, මඤ්ඤොක්කා, ආදි අල වර්ග වැඩි වශයෙන් තම ආහාරවේලට එක්කර ගත්හ.
කොස්වලින් කොස් ඇට, අටු කොස්, වැලි කොස් ඇට ආදි නොයෙක් ආහාර සකසා ගත්හ. කොස් ගස බත් ගසයයි හැඳින්වූයේ ලොකු ගෞරවයකිනි. ගැමුණූ රජතුමා කල දන්දීමක් ගැන මෙසේ සඳහන් වේ. “සූසාලිස් තැනක නිතර තෙල් උපුලුවා පිස කිරිබත් තබා දුන්හ. සූසාලිස් තැනක එළඟිතෙල් පෑදෙන ලද පුළුබදරා සමඟ සූප ව්‍යාංජන සහිත බත් දුන්හයි සඳහන් වේ. රුවන්මැලි මහා දෑයේ මහා පින්කමට වඩින ලද සඟුන් වැළඳූ පාත්‍රා සේදූ අභය වැවේ අඟල් හතරක් ඝනකමට ගිතෙල් මිදී තිබුණේයයි ථූපවංසයේ සඳහන් වේ. ගිතෙල් කොපමණ වළඳන්නට ඇත්දැයි මෙයින් සිතා ගත හැකිය. ගිතෙල් ඖෂධීය ඉතා අගනා ආහාරයකි. මෙවන් පෝෂ්‍යදායි ආහාර, සුවඳැල්, හීනටි, මාවී මඩතවාලු හාල්වල බත් වෙනත් රසවත්, ගුණවත් ආහාර අනුභව කළ නිසා අපේ පැරණි මුතුන්මිත්තෝ මනා ශරීර සෞඛ්‍යයෙන් යුත් දීර්ඝායුෂ විඳින්නෝ වූහ. අද මේ දේවල් ඉතා දුර්ලභ වන අතර අප ගිතෙල් ඩිංගක් මිශ්‍රකර ගන්නේ සිංහල කසායකට පමණක් වීමෙන් එය පැහැදිලි වේ.
පුරාණ ලංකාවේද මස් අනුභව කිරීමේ පුරුදුද තිබුණ බව පෙනේ. ගොවිකමට පෙර දඩයම ජීවන වෘත්තියවීම ඊට හේතු වු අතර පසුව ගොවිකම ප්‍රධාන ජීවනෝපාය බවට පත්විය. ඇතැම් රජවරු මාඝාතය නීති පනවා සතුන් මැරීම තහනම් කළහ. එහෙත් සිංහලයින් සම්පූර්ණයෙන් මස් කෑමෙන් වැළකීමට හැකිවූ බවක් නොපෙනේ. බොහෝවිට විශේෂ ආහාරයකින් ආගන්තුකයින්ට සංග්‍රහ කිරීමට අවශ්‍යවූ විට දඩමස් ටිකක් සොයා ගත් බව කිව හැකිය.
ප්‍රධාන ආහාර ලැයිස්තුවක් සද්ධම්මාලංකාරයේ එයි. කිරි වෙඩරු, ගිතෙල්, පස්ගෝරස, කෙසෙල්, කොස්, වැල වරකා, උක් හකුරු , අතිරස, මත්ස්‍ය මාංශ, මීකිරි, මී පැණි වටිනා ආහාර ලෙස සැලකූ බව පෙනේ. උසස් අය දකින්ට යන විට කිරි පැණි, බැදි බත් ආදිය ගෙනයාම අනුරාධපුර යුගයේ සිට පැවතුණ බව පෙනී යයි. මී කිරි මී පැණි සුවිශේෂ ආහාර විය. රොබට් නොක්ස්ගේ ඉතිහාස පොතේ නුවර යුගයේ ගත් ආහාර වර්ග කීපයක් ගැන සඳහන් වේ. කැවුම්, අග්ගලා එයින් ප්‍රධාන වේ. මහනුවර රජ කළ 11 වැනි රාජසිංහ රජතුමා හමුවට ඔහු ගිය අවස්ථාවේදි කැවුම්වලින් සංග්‍රහ කළ බව සඳහන් වේ. ඒවා ගසකින් නෙළා ගත් දෙයක් දැයි ඇසූ බවද කියනු ලැබේ. බුදු මැදුරට ද දෙවොලට ද, පිදේනි තටුවලට උතුම් තැනක් හිමිව තිබූ බවයි. හින්දු සංස්කෘතිය අනුව ගණදෙවි පිදුමට භවිත කළ බව කිව හැකියි. අවුරුද්දක් නරක් නොවී තියාගන්නට පුළුවන් කැවුම් සෑදූ අති දක්ෂයින්ද පුරාණ කාලයේ සිටිය බව ජනප්‍රවාදයේ එයි.
අවුරුදු පතා රජ දැක්මට එවැනි සුවිශේෂ කැවුම් සෑදු බවත් කියවේ. සිංහල අවුරුදු උත්සව සමයේ උයනු ලබන හත්මාළුව සුවිශේෂ කෑමකි. ඉතා ගුණදායක වූ රසවත් වූ මෙය සාදනු ලබන්නේ කජු, කොස් ඇට, වම්බටු , මෑ කරල් හා අල වර්ග කීපයක් සහිත හත් වර්ගයක් එකට පිසීමෙනි. තම්පලා මෙයට අවශ්‍යයෙන්ම ගනු ලැබේ. මෙහි රස ගුණ සුවඳින් පිරිපුන්ය.
උදේ ආහාරය සඳහා විශේෂයෙන් මැල්ලුම් වර්ග ගත්හ. ඒ පැරණි දේත් සමඟ අදට ගැළපෙන ආහාරපාන අනුභව කිරීමෙන් අවැඩක් නොවේ.
අපි දැන් බීම පිළිබඳවත් මඳක් හෝ කිව යුතුය. පැරැන්නෝ ඉරමුසු රණවරා, පොල්පලා, රසකිද, තිරැස්සවාළු, නෙල්ලි තැම්බූ වතුර, මුරුවා වැල් , අරත්ත, බැමිතිරිය ආදිය තම්බා වතුර බී තිබෙන බව කිව හැකිය. තවද අටළොස්වන සියවස දක්වා කෝපිත් විසි එක්වන සිය වස දක්වා කේක් පිළිබඳ සිංහලයින් දැන සිටියේ නැත. කුරුම්බා, තැඹිලි, පලතුරු ඉස්ම පානය කර තිබෙන බවද කිව හැකිය. අතීතයේ පුරුදුව පැවති එකට මත්පැන් වර්ගය, රා බව පෙනේ. රා බොන්නන් බහුලව සිටියේ පොල් , කිතුල තල් බහුලව තිබුන ප්‍රදේශ හා ඒ ආශි‍්‍රත ප්‍රදේශවලය
වඩා පහසුවෙන් නිපදවිය හැකි ගුණවත් බවින් අඩු ආහාර භාවිතයට පුරුදු වී ඇති නිසා පිරිහුණ ශරීර ශක්තියෙන් යුතු ලෙඩ රෝග අධික ජන සමාජයක් අද දක්නට ලැබීම. අභාග්‍යයකි. කෙසේ නමුත් මෑතක සිට රජයද මේ ගැන අවධානය යොමුකර තිබීම සතුටට කරුණකි. දේශීය වී වර්ග වගා කිරීමට දිරිදීම පුරන් කුඹූරු ඇස් වැද්දීම වස විසෙන් තොර දේශීය සහල් වර්ග එළවළු , පලතුරු ආදිය ජනතාවට ලබා ගැනීමට සැලැස්වීම කාලෝචිත අගනා ව්‍යාපෘති ආරම්භ කර තිබීමද ඉතා අගය කළ යුතුමය. මහා පැරකුම්බා රජ සමයේ මේ සිරිලංකාවෙන් සහල් පිට රව පවා යවා තිබෙන බව ඉතිහාසයෙන් පෙනේ. අවශ්‍ය උපදෙස් ආධාර, කාබනික පෝර භාවිතයට යොමු කිරීම ආදියෙන් ගොවි ජනතාව ශක්තිමත් කළොත් අපටද එතැනට ළඟා විය හැකිය.