හෘදයාබාධ බියෙන් කැල්සියම් ආහාර නතර කරන්න එපා

ජුනි 23, 2023

 

හෘදයාබාධයක සුලමුල සොයා ගියහොත් එයට බොහෝ සෙයින් හේතු පාදක වී ඇත්තේ රුධිර නාලවල කොලෙස්ටරෝල් තැන්පත් වීමය. රුධිරයේ කොලෙස්ටරෝල් අවම කර ගැනීමෙන් හෘදයාබාධයකට මුලපිරීම ද අවම කර ගැනීමට ඔබට හැකිවනු ඇත. එහෙත් ඇතැමුන් පවසන පරිදි රුධිර නාලවල කැල්සියම් තැන්පත් වුණහොත් එය කෙලෙස අවම කරගන්න ද? ඒ සඳහා ඔබ දැනුවත් කරන්නේ සර් ජෝන් කොතලාවල වෛද්‍ය පීඨයේ කුලපති හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජේසිංහයි.

 

සාමාන්‍යයෙන් හෘදයාබාදයකට මුලපුරන හේතුව කුමක්ද?

 

හෘද වස්තුවේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය වන රුධිරය සපයනු ලබන කිරීටක ධමනිවල බිත්ති මත කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා එම රුධිර නාළ අවහිර වීම හේතුකොට ඇතැමුන් හට angina නමින් හැඳීන්වෙන පපුවේ කැක්කුම ඇතිවිය හැකියි. තවත් සමහර අවස්ථාවන්හිදී එය හෘදයාබාධයකට(හාට් ඇටෑක්) තුඩුදෙන අවස්ථාවකට පත් වන බව පැවසිය යුතුයි. සාමාන්‍යයෙන් අපේ හෘදයට රුධිරය සපයන කිරීඨක ධමනි හෝ වෙනත් ඕනෑම ධමනියක් මෙලෙසින් අවහිර වීමේ ක්‍රියාවලිය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ atherosclerosis  නමින්.

 

කිරීඨක ධමනිවල කොලෙස්ටරෝල් තැන්පත්වීම ආරම්භ වන්නේ කුමන වයස් සීමාවලදී ද?

 

මෙම ක්‍රියාවලිය සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ වයස අවුරුදු 10 සිට 15 අතර වයස් සීමාවේදී. මෙම වයසේ පටන් ධමනි බිත්ති ඇතුළු පැත්තේ ඉතා සුළු වශයෙන් කොලෙස්ටරෝල් තැන්පත් වීම ඇරඹෙනවා. එම සුළු අවහිරතාවය පුද්ගලයා වයසට යන විට මෙම කොලෙස්ටරෝල් ආස්ථරය ඉතා සෙමින් සෙමින් වර්ධනය වන්නට පටන් ගැනීම සිදු වෙනවා.

 

හෘදයාබාධයට හේතු වන්නේ රුධිර නාළවල කොලෙස්ටරෝල් තැන්පත් වීම පමණක් ද?

 

විශේෂයෙන් දුම්පානය, දියවැඩියාව, අධි රුධිර පීඩනය, රුධිරයේ කොලෙස්ටරෝල් සාන්ද්‍රණය වැඩිවීම සහ තම පවුලේ අය අඩු වයසින් හෘදයාබාධවලට ගොදුරු වීම වැනි අවදානම් සාධක ඇති අයට මෙම කොලෙස්ටරෝල් තැන්පත් වීමේ ක්‍රියාවලිය ඉතා වේගයෙන් සිදුවනවා. මේ ආකාරයට කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා ධමනි බිත්තිවල කුහර ඉතා කුඩා වන අතර එම ස්ථානය හරහා රුධිරය ගමන් කිරීම අවහිර තත්ත්වයක් ඇති වෙනවා.

 

Angina  ලෙස හඳුන්වන්නේ කුමක්ද?

 

සාමාන්‍යයෙන් වෙහෙස මහන්සි වී දෛනික වැඩ කටයුතුවල යෙදෙන පුද්ගලයන්ට හදවතේ ක්‍රියාකාරිත්වයට වැඩිපුර රුධිරය අවශ්‍යයි. නමුත් ඉහත සඳහන් ආකාරයට රුධිරනාලවල කොලෙස්ටරෝල් බැඳීම නිසා සිහින් වු රුධිර නාල ඇති පුද්ගලයන්ට angina නමින් හැඳීන්වෙන පපුවේ වේදනාව ඇතිවිය හැකියි.

 

හෘදයාබාධයක් ඇති වන්නේ කෙලෙසද?

 

යම් අවස්ථාවකදී මෙසේ අවහිර වී ඇති ස්ථානයක රුධිර කැටියක් ඇතිවීම නිසා ධමනි ඉතා සුළු වේලාවක් තුළදී සම්පූර්ණයෙන්ම අවහිර වී යා හැකියි.

එසේ වූ විට අවහිර වූ ස්ථානයෙන් ඔබ්බට රුධිරයේ සැපයුම සම්පූර්ණයෙන්ම ඇන සිටින නිසා එම පුද්ගලයාට හෘදයාබාධයක් ඇතිවීමට ඉඩකඩ තිබෙනවා.

 

රුධිර නාළවල කැල්සියම් තැන්පත් වීම යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද?

 

කොලෙස්ටරෝල් බැඳී අවහිර වී ඇති රුධිර නාළවල පසුකාලීනව කැල්සියම් තැන්පත් විය හැකියි.

එබැවින් ඇන්ජියෝග්රෑම් පරීක්ෂණවලදී මෙලෙස ධමනි අවහිර වී ඇති ස්ථානවල කැල්සියම් ද තැන්පත් වී තිබෙන බව වෛද්‍යවරයාට දැකගත හැකිවනවා.

විශේෂයෙන් සඳහන් කළයුතු වන්නේ මෙලෙස කැල්සියම් තැන්පත් වන්නේ ප්‍රථමයෙන්ම කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා අවහිර වී ඇති ධමනි බිත්තිවලයි.

 

රුධිර නාළවල කැල්සියම් පමණක් තැන්පත් වීමක් සිදු වෙනවා ද?

 

නැහැ. සමහරකු පවසන්නේ ඔවුන්ගේ රුධිර නාළ අවහිර වී ඇත්තේ කොලෙස්ටරෝල් තැන්පත් වීමෙන් බවයි. ඇතැමකු පවසන්නේ ඔවුන්ගේ ධමනි බිත්ති අවහිර වී ඇත්තේ කැල්සියම් තැන්පත් වීම හේතුකොට ගෙන බවයි. එය වැරදියි. ධමනි බිත්තිවල කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා අවහිර වීමත් ධමනි බිත්තිවල කැල්සියම් තැන්පත් වීම නිසා අවහිර වීමත් එකම ක්‍රියාවලියක අවස්ථා දෙකක්. සාමාන්‍යයෙන් සිදු වන ක්‍රියාවලිය වන්නේ ධමනි බිත්තිවල කොලෙස්ටරෝල් තැන්පත් වීමෙන් අනතුරුව කැල්සියම් ද තැන්පත් විය හැකි වීමයි.

 

රුධිර නාළවල කැල්සියම් තැන්පත් වීමත් හෘදයාබාධයකට හේතු වනවාද?

 

ඇතැමුන්ගේ රුධිර නාළවල කිරීටක ධමනිවල කොලෙස්ටරෝල් පමණක් නොව කැල්සියම් ද තැන්පත් වී තිබෙන්නට පුළුවන්. කිරීඨක ධමනි අවහිර වීමට නිවැරැදිම හේතුව වන්නේ රුධිර නාළ මත කොලෙස්ටරෝල් තැන්පත් වීම ද එසේ නොමැතිනම් කැල්සියම් තැන්පත් වීම ද යන්න වෛද්‍යවරයා විසින් ප්‍රථමයෙන් සොයා බැලිය යුතුයි .

සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාවලිය වන්නේ ධමනි බිත්ති වල කොලෙස්ටෙරෝල් තැන්පත් වීමෙන් අනතුරුව කැල්සියම් තැන්පත් වීමයි.

 

රුධිර නාළවල කැල්සියම් තැන්පත් වී තිබේ නම් කැල්සියම් අඩංගු ආහාර පාන ලබා ගැනීමට නොහැකිද?

 

ඇතැමුන් තමාගේ රුධිර නාළවල කැල්සියම් තැන්පත් වී ඇති නිසා බියට පත්වී කැල්සියම් අඩංගු ආහාර වන හාල්මැස්සන් ආදී ආහාර ගැනීමෙන් වැළකීමත් කැල්සියම් පෙති විටමින් ඩී වැනි ඖෂධ වර්ග පාවිච්චියට අනිසි බියක් දක්වනවා .

ඒ එසේ කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. කැල්සියම් අඩංගු ආහාර සහ කැල්සියම් පෙති සහ විටමින් වර්ග පාවිච්චි කිරීමෙන් ධමනිවල කැල්සියම් තැන්පත් වීමක් සිදු නොවන බව පැවසිය යුතුයි. එබැවින් මේදය සහිත ආහාර පානවලින් වැළකී නිසි ආකාරයට ව්‍යායාම්වල නිරත වීමෙන් රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අවම කරගත හැකි බැවින් ධමනිවල කැල්සියම් තැන්පත් වීමේ අවදානම ද වැළකී යනු ඇති. කැල්සියම් තැන්පත් වීම පිළිබඳව බියෙන් කැල්සියම් අඩංගු ආහාර සහ කැල්සියම් පෙති ලබා ගැනීමට බිය වන්නට එපා.

 

සර් ජෝන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ කුලපති හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය

නාමල් විජේසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.