හිසරදයට දේශීය ප්‍රතිකර්ම

සැප්තැම්බර් 18, 2020

හිස බර ගතිය, හිස කැක්කුම , කරකැවිල්ල, හිසේ තද බව, හිසෙහි ඇතිවන හිරිය, වමනය, ක්ලාන්තය, දෘෂ්ටිය වෙනස් වීම ආදී පොදු රෝග ලක්ෂණ සාමාන්‍ය හිසරදයේදී දැකගත හැකි අතර දෝෂ කෝප වීම අනුව විවිධ රෝග ලක්ෂණ ඇති විය හැකිය.

වාත දෝෂ වීමෙන් ඇති වන හිසරදයේදී අධික තාපය, අධික උණුසුම් ගතිය, හිස කරකැවිල්ල සහ උණ ලක්ෂණ ඇති විය හැකිය. රාත්‍රී කාලයේදී රෝග ලක්ෂණ අඩු වී යන අතර ආයුර්වේදයේ පෙන්වා දෙන්නේ මෙම රෝග ලක්ෂණම බඩගින්නේ සිටින විටත්, වකුගඩු හා පිත්තාශ රෝගවලදීත් දැක ගත හැකි බවයි.

සෙම් කෝප වීම නිසා ඇතිවන හිසරදයේදී හිසෙහි බර ගතිය, තද ගතිය, ශීතල, ඇස් ඉදිමීම,

කන්, ඇහි බැම හා උගුර ආදියෙහි සෙම් ඇතිවේ . මෙම රෝග ලක්ෂණ ප්‍රතිශ්‍යාව සමඟ බොහෝ විට ඇතිවේ.

වා, පිත්, සෙම ත්‍රිදෝෂයම කෝප වීමෙන් ඇති වන හිසරදය “සන්නිපාත හිසරදය” ලෙස

හැඳීන්වෙන අතර, මෙහි දී නාසය දෙපස, නළල දෙපස ඉදිමුණ ස්වභාවයක් දක්නට ලැබේ. තියුණු වේදනාවක් ඇති කෙ‌රේ.

ක්‍රිමීන් හෙවත් පණුවන් නිසාද හිසරදය වැලඳෙන අතර මෙය ආයුර්වේදයේ පෙන්වා දෙන්නේ “ක්‍රිමිජ හිසරදය” ලෙසයි. මෙහිදී හිසෙහි ඉදිකටු අනින්නාක් බඳු වේදනාවක් ඇතිවෙන අතර හිස ඇතුළත ලෙළදෙන්නාක් මෙන් දැනේ. මෙම තත්ත්වයේ දී නාසයෙන් සැරව සහිත ලේ පිටවීමක් ඇති විය හැකි අතර හිසෙන් අධික රශ්නයක් පිටවේ.

“ඉ‍රුවාරදය” අප කවුරුත් වැඩිපුර කතා කරනා හිසරද තත්ත්වයකි. හිරු උදාවත් සමඟ ඇහි බැම ප්‍රදේශයෙන් මඳ වේදනාවක් ඇති වෙන හිසරදය ආයුර්වේදයේ පෙන්වා දෙන්නේ එයද තුන්දොස් කෝප වීමෙන් ඇතිවෙන බවයි.

බෙල්ල දෙපස නහර, උර දෙපස නහර, ඇහි බැම, හක්ක සහ ඇස ආශ්‍රිතව තද වේදනාවක් ඇති වෙන හිසරදය ආයුර්වේදයේ හඳුන්වනුයේ “අනන්ත වාත” යනුවෙනි. ස්නායු සම්බන්ධව හට ගන්නා ඉවසිය නොහැකි වේදනාවක් ඇති කරනා තත්ත්වය “ත්‍රිධාර නාඩි ශුලය” නමින් හැඳීන්වේ. ආයුර්වේද විද්‍යාවේදී ඉගැන්වෙන තවත් හිසරද තත්ත්වයකි සංඛවාතය ශිර්ෂකුල දැවිල්ල සහිත තත්ත්වයක් සමඟ ඇතිවන තියුණු වේදනාව, මුහුණ රත්පැහැ වීම, ඉදිමුම ගෙල අවුරාලමින් රෝගය හට ගන්නා බැවින් රෝගියා උපරිම පීඩාවට පත් කරයි.

“අර්ධාව ඛේදකය” හෙවත් මිග්ග්‍රේන් කායිකව මෙන්ම මානසිකව පීඩා ගෙන දෙන රෝගයක්

ලෙසට බටහිර වෛද්‍ය ක්‍රමයේදී මෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී හඳුනාගෙන ඇත. මෙහි දී වරින් වර හිසරදය පවතින අතර, එයට මූලික වශයෙන්ම බලපානු ලබන්නේ ශාරීරික, මානසික වෙහෙසකර බව, ඇස වෙහෙසට පත්වීම, අජීර්ණය, ආර්තව ප්‍රශ්න, ජානමය හේතූන්, මැලේරියා රෝග තත්ත්වයේදීත්, වාත රක්ත තත්ත්වයේදීත් හිසරදය ඇතිවිය හැකිය.

රෝගියා අවදිවන විටම හිසරදය ඇතිවන අතර දහවල් වන විට වැඩිවේ. හිසරදය සමඟ

මානසික කලකිරීම, ඈනුම් යාම, ශීතල ගැනීම, කරකැවිල්ල, පෙනීමේ වෙනස් වීම්, ඇස් පෙනීම, අඳුරු වීම, අඳුරේ සිටින්නාක් මෙන් දැනීම, අතේ සිට මුහුණ දක්වා පුපුරු ගසන්නාක් මෙන් දැනීම සිදුවන අතර හිටගෙන ඉන්නා විට වේදනාව වැඩිවේ. 

හාන්සි වී සිටින විට පහසුවක් දැනේ. රෝගී ලක්ෂණ ලෙස ශබ්දය ඇහෙනා විට හා දීප්තිමත් ආලෝකවලදී හිස දෙපස වේදනාව වැඩිවන අතර අවසානයේදී වමනය යයි. එවිට රෝගියාට පහසුවක් දැනේ. නමුත් රෝගියා සුදුමැලි විය හැකිය.

ප්‍රතිකර්ම විධි

හිසරදය සඳහා ප්‍රතිකාර කිරීමේදී දෝෂ කෝප තත්ත්වයන් හඳුනාගෙන කලානුරූපිව ප්‍රතිකාර යෙදීම සුදුසුය. විශේෂයෙන්ම රෝගියාට විවේකය ලබා දීම ඉතාම වැදගත්ය.

 සුවඳ කොට්ටං, එඬරු මුල් විනාකිරෙන් අඹරා හිසෙහි ආලේප කිරීමෙන් සුවය ලැබේ.

 පිත සම්බන්ධ ශීර්ෂ රෝගවලදී ගිතෙල් ආලේප කිරීම, නශ්‍ය කිරීම සහ ආහාර ලෙස ගැනීම හිතකර වේ. ඊට අමතරව වියළි මුද්දරප්පලම්, අරළු, බුළු, නෙල්ලි, උක්මුල් සමව ගෙන සාදා ගන්නා කසාය ගුණදායක අතර, විරේචනයද මෙවැනි රෝගීන්ට සුදුසුය.

 සෙම් සම්බන්ධ ශීර්ෂ රෝගයේදී ආහාර ගැනීම කළ යුතුය. ඊට අමතරව සුවඳ කොට්ටන්

චූර්ණය වතුර සමඟ අඹරා හිස ආලේප කිරීම සුදුසුය.

 දේවදාර, සුවඳ කොට්ටන්, ජඨාමාංශ, වියළි ඉඟුරු, විනාකිරෙන් හෝ තල තෙලින් අනා හිස පැලැස්තර යෙදීමද සුදුසුය.

 රක්ත ශීර්ෂ රෝගයේදී සිරා විදීමෙන් ලේ ඉවත්කර ප්‍රතිකාර කෙරෙන අතර ඒ සඳහා

ආයුර්වේදයේදී කූඩැල්ලන් භාවිත කෙරේ. වාත නාශක තෙල්ද භාවිත කිරීම යෝග්‍යය.

 පණුවන් නිසා ඇති වන හිසරදයේදී ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, කරඳ ඇට, එළ මුත්‍රයෙන් අඹරා නශ්‍ය කිරීමෙන් පණුවන් ඉවත් වේ.

හිරුවාරදය රෝගීන්ට එළකිරෙන් සෑදු ගිතෙල් නශ්‍ය කිරීම සුදුසු අතර උක් හකුරු ගිතෙල් සමඟ මිශ්‍රකර ආහාරයට ගැනීමද සුදුසුය. මේ සඳහා වේලා බීජ චූර්ණයත්, වේලා කොළ අඹරා ආලේප කිරීමෙනුත් ඉක්මන් සුවය ලැබේ.

 හාතාවාරිය අල, කළු තල, වැල්මී, නිල්මානෙල් අල, ඊතණ, සාරණ යන සියල්ල සිසිල් ජලයෙන් අඹරා ආලේප කිරීමෙන් සුවය ලැබේ. අත්දුටු ප්‍රත්‍යක්ෂ සුදුසු ප්‍රතිකාරයන් ලෙස යවකාර ලුණු (ඇමෝනියම් ක්ලෝරයිඩ්) ජලය

ස්වල්පයක් යොදා මිශ්‍රකර වායු නිවාරක බෝලයක දමා හොඳීන් සොලවා නාසයට ඉරීමෙන් හිසරදය සුවවේ.

 හිසරදය සමඟ අධික රුධිර පීඩනය තිබේ නම්, සුදු ලූනු, සුදු හඳුන්, තල තෙලින් අඹරා

විනාකිරෙන් අනා හිසට පැලැස්තර යෙදීම යෝග්‍යය.  වියළි නෙල්ලි මිටක් කුඩුකර උතුරණ වතුර කෝප්පයකට දමා හුමාලය නොයනා සේ වසා තබා රාත්‍රියට බොන්න.

 බලා තෛලය, දශමූල තෛලය, මහා මාංශ තෛලය හිසට දැමීම සුදුසුය. එළබටු මුල්, කටුවැල්බටු,අස්වැන්න, පොල්පලා, සුදු ලූනු කලං එක බැගින්ද බැබිල මුල් කලං 6ක් දමා වතුර පත අට එකට සිඳ පෙරා සීනි මී පැණි දමා පානය කිරීම යෝග්‍යය.

 නිල්‍යාදි තෛලයට දෙහි ඇඹුල් දමා පොල් තෙල් පහනින් රත්කර නිවා හිසට දැමීමෙන් සෙම් ගතිය නැති ‌ වේ.

 උඳුපියලිය, රතු ලූනු, සියඹලා කොළ කොටා පොට්ටනි බැඳ, වණ්ඩුවේ තම්බා තැවීමෙන්

හිසරදය සුවවේ. පොල්තෙල් දෙහි ඇඹුල් දමා රත්කර හිසට දැමීමෙන් සුවය ලැබේ.

 වියළි කහ කුඩු කර තල තෙලින් අනා පාන්තිරයක ඔතා අවුලුවා ගින්දර නිවා කොස් කොළයක ගොටු සාදා ඒ තුළ තබා එන දුම නාසයට ඉරීම සුදුසුය.

පීනස් රෝගය සමඟ ඇති වන හිසරදයට ප්‍රතිකාර  දේවදාර, පත්පාඩගම්, වදකහ, සුවඳ කොට්ටං, අරළු, වියළි ඉඟුරු, සිරිතේක්කු, කලාඳුරු, බිං කොහොඹ, කොත්තමල්ලි කලං එකයි මංචාඩි දහහතර බැගින් ගෙන වතුර පත අට එකට සිඳුවා පෙරා සීනි, මී පැණි දමා දින 7ක් පානය කිරීමෙන් රෝගී තත්ත්වය පහ වී යයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.