ලග්න අටක් බලවත් කරමින් සිකුරු දෙතැනක

පුද්ගල සෞඛ්‍යය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්න
ජුනි 28, 2024

 

වසංගත රෝග බහුල වේ

ඉදිරි දින 24ක් පුරා දැඩි පාරිසරික බලපෑම්

ජූලි 31න් පසු සහනදායි කාලයක්

 

මාසයක් වැනි කෙටි කලක් තුළ සිකුරු ග්‍රහයා කටක සිංහ රාශි දෙකට ගමන් කරයි. ජූලි මස 07 වැනි ඉරු දින පෙරවරු 04.33ට කටක රාශියට සංක්‍රමණය වන සිකුරු ජූලි 31 වැනි බුධ දින සිංහ රාශියට පැමිණෙන්නේ මිතුරෙකු ලෙස නොව සතුරෙකු ලෙසිනි.

මේෂ, කටක, තුලා, මකර ලග්න සතරට පවතින රුචක මහා යෝග බලය ද සිංහ, කුම්භ, වෘෂභ, වෘශ්චික ලග්නවලට පවතින සස යෝග බලය ද ජුලි 07 සිකුරු කටක සංක්‍රමණයෙන් සවිබල ගැන්වෙන අතර සිකුරු සිංහ රාශි සංක්‍රමණයෙන් සස යෝග බලය සහිත සිංහ, කුම්භ, වෘෂභ, වෘශ්චික ලග්න හිමියන් තවදුරටත් බලවත් වෙයි. එම ලග්න අටෙන් උපන් අයට ජන්ම ග්‍රහ බලය අනුව දෝෂ තත්ත්වයක් නොපවතී නම් ධනය, බලය, කීර්තිය සහ සැපසම්පත් ළඟා කෙරෙනු ඇත. අනෙක් ලග්න හිමියන්ට මේ ග්‍රහ සංයෝගය අනුව මිශ්‍රපල ළඟා කෙරේ.

ඒ කෙසේ වුවත් බොහෝ දෙනාට හිස, මුහුණ, යටිබඩ, වකුගඩු, කොන්ද, තුනටිය, උරහිස් සහ කශේරුකා, දණහිස්, පාද ආශි‍්‍රත රිදුම් වේදනා ප්‍රබලව දක්නට ලැබෙයි. එනිසා සෞඛ්‍යය පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු කාලයකි.

මේ අනුව පොදුවේ ගත් කල දින 24 ක පමණ කාල පරාසයක් අසාමාන්‍ය ව්‍යාකූල ස්වරූපයක් සිකුරු ග්‍රහයා මුල්කොට ගත් ග්‍රහමාරුවෙන් නිර්මාණය විය හැකිය. ගංගා, වැව්, පොකුණු, ඇළ දොළ, ළිං ජලය, තුරුලිය, වෙළෙඳ ව්‍යාපාරික ආයතන, ඡ්‍යොතිෂය, අහිංසාවාදී මානුෂික ගුණාංග මෙන්ම සිතුම් පැතුම් පීඩාවට පාත්‍රවිය හැකි වටපිටාවක් නිර්මාණය විය හැකිය.කටකයේදී සිකුරු ග්‍රහයාගේ තාත්වික ස්වරූපය ද බොහෝ දුරට පිරිහි යා හැකි බැවිනි. වෘෂභයෙහි ගුරු වක්‍රවී සතුරුවීයාම ධාර්මික චින්තන පසුබිම දුර්වල වී යාමට බොහෝ දුරට ඉඩකඩ ඇත. බුධගෙන් ද දුර්වල වන සිකුරු ධනස්ථානගත වී අතිශය දුර්වල වී යාමක් දෘෂ්‍යමාන වෙයි. ආදරය, කරුණාව, මෛත්‍රිය බොඳ වී යා හැකි බවක් නිවේදනය කෙරෙයි.

වසංගත රෝග, අධ්‍යාපන ක්ෂේත්‍රය පිරිහීයාම, කාලගුණික දේශගුණික බලපෑම් දෙස් විදෙස් වශයෙන් ජන ජීවිත කෙරෙහි බලපානු ඇත. සැප්තැම්බර් 18 මධ්‍යහ්නය තෙක් කලා ලොවෙහි ඔටුණු දැරූ සෙල්ලක්කාර මනාළිය සිකුරු බොහෝ දුරට දුර්වලවීයාම සෞඛ්‍යය, අධ්‍යාපනය, නීතිය, ආගම දහම, ආර්ථිකය යනාදී පැතිකඩ ගණනාවක වෙනස්කම් රැසක් විද්‍යමාන විය හැකිය.

කටක රාශිය ජල රාශියක් බැවින් සිකුරු කටකයට සංක්‍රමණය වීමෙන් ධාරානිපාත මහ වර්ෂාපතන ආදියෙන් දෙස් විදෙස් ජනතාව පීඩාවට පත්විය හැකිය.

ජුලි මස 31 වැනිදා සිකුරු සිංහ රාශි ගත වීමත් සමඟ මෙකී තත්ත්වය වෙනස් ස්වරූපයක් ගනු ඇත. ඒ අනුව බුද්ධිය සහ උසස් ඥානය මත රාජ්‍ය ත්‍රාන්ත්‍රික කටයුතු අතිශය ප්‍රබලත්වයට පත්වීමට හේතු වෙයි. විදේශ ප්‍රතිපත්ති, ආරක්ෂක සේවා අන්තර්ජාතික කීර්තියට පත්වෙයි. ශ්‍රී ලාංකේය ජනරජ සිංහ රාශි ග්‍රහ රටාව ශුභවාදී බවකින් සුවිශේෂී විජයග්‍රහණ කරා ළඟා වෙනු ඇත. ජීවන වියදම් පැතිකඩ සරල බවකට නැඹුරු වෙයි.

මේෂ ලග්නය

ලග්නගත අඟහරුගෙන් ශුභවාදීව රුචක යෝගය නම් වූ පංචමහා යෝගබලය පිහිටා ඇත. මේ අනුවද 11 වැන්න වූ අයස්ථාන ශනි බලයද අසීමිත වෙයි. ආර්ථිකය, අධ්‍යාපනය, පවුල් ජීවිතය, දේපළ වස්තු, ගොඩමඩ ඉඩකඩම් ආදී පැතිකඩ ගණනාවකින් සැනසුම සතුටු බවක් උදා කෙරෙනු ඇත. සමාරම්භක කාර්යභාරයන් සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙයි.

වෘෂභ ලග්නය

රැකියා ආදායම් මාර්ග කටයුතුවලින් සතුටුදායක වෙයි. පදිංචි ස්ථානය ආශි‍්‍රතව උසස් දියුණුවක් නිර්මාණය වෙයි. 10 වැන්න වූ කර්මස්ථානගතව සස පංචමහා පුරුෂ යෝගය උදා වී ඇත. උසස් ආර්ථිකයකට උරුම හිමිකම් ප්‍රකාශ කළ හැකිය. එහෙත් සිතෙහි ආකූල ව්‍යාකූල පසුබිමක් ඇතිවීමට හේතුවෙයි. දූ දරුවන්ගේ රැකියා විවාහ කටයුතු සඵල වෙයි.

මිථුන ලග්නය

තැන්පත් ධනය, දේපළ වස්තුව පිළිබඳ සහ දූදරු දැරියන් ආශි‍්‍රතව ආකූල ව්‍යාකූල බවක් මතු කෙරෙනු ඇත. උත්සාහය උනන්දුව ඇතිවෙයි. රැකියා ආදායම් මාර්ග මෙන්ම පදිංචිය ආශි‍්‍රතව තොරතුරු සාර්ථකත්වය කරා ගොඩනඟා ගැනීමට වීර්යය කළ යුතුව ඇත. ඒකාකාරී සිතැඟියාවන් ද මල් පල ගැන්වෙයි. පවුල් ජීවිතය ආශි‍්‍රතව තිබූ මතභේද ගැටලු නිරාකරණය වෙයි. ඉදිරිය සුබවාදී වෙයි.

කටක ලග්නය

රැකියා ආදායම් මාර්ග කටයුතු සතුටුදායක වෙයි. රුචක නම් වූ යෝග බලයක් 10 වැන්න වූ කර්මස්ථානගතව යෙදී ඇත. ජීවිතයෙහි දිගු කාලීනව තිබූ අරමුණු රැසක්ම ශුභවාදී වෙයි. උසස් ආර්ථික දියුණුවක් මතු කෙරෙයි. යහපත් උදාර ජීවිතයක් ගත කරලීමට භාග්‍යය වාසනාව උදාවෙනු පෙනී යන්නේ ය. සමාජගතව කීර්ති ප්‍රශංසා ගලා එයි.

සිංහ ලග්නය

07 වැන්නෙහි ප්‍රබලතම ‘සස’ යෝග බලය නම් වූ පංච මහා පුරුෂ යෝගය උදාව ඇත. 11 වැන්න වූ අයස්ථානය මෙන්ම 09 වැන්න වූ භාග්‍යස්ථානය ද ඉතා යහපත් වෙයි. මේ අනුව වර්තමාන ජීවිතය ඉතාම යහපත් බැව් පෙනී යයි. උත්සහය උනන්දුව මත මෙසේ ගත වී යන කාල පරාසය ශුභවාදී වෙයි. උසස්වීම්, විජයග්‍රහණ රැසක්ම ඔබගේ ජීවිතයට ලැබෙයි.

කන්‍යා ලග්නය

06, 08, 10 ස්ථානබල අනුව සමාරම්භක කටයුතු සාර්ථකත්වය කෙරෙහි තුඩුදෙයි. උසස් රැකියා ආදායම් මාර්ග සතුටුදායක වෙයි. දූ දරු අඹු සැමි ගෘහ ජීවිතය සතුටුදායක වෙයි. සමාජගත දිවිපෙවෙතක් උසස් බවක් නියත වශයෙන් උදාවෙයි. නිර්මාණශීලී හැකියාවට ජීවිතයෙන් කීර්තිය ප්‍රශංසාව විජයග්‍රහණ ගලා එයි.

තුලා ලග්නය

07 වැන්නෙන් රුචක යෝග බලයෙන් ගෘහජීවිතය ඔබ හට නවතාවයකින් සමාරම්භ වෙයි. දෙස් විදෙස් සංචාරකමය කටයුතු සාර්ථකවෙයි. අලංකාරය, ක්‍රමවත් බව සහ සිතැඟියාවන් රැසක්ම මේ කාල පරාසය තුළ ඉටුවෙයි. බාධක අවහිර දුෂ්කරතා අතරින් උසස් දිවියකට විජයග්‍රහණය අත්වෙයි. අඩුලුහුඬුකම් දුරුවිය හැකියි.

වෘශ්චික ලග්නය

04 වැන්නෙහි සස යෝග බලය වර්තමාන කාල පරාසය දියුණුකර ගැනීමට යහපත් වෙයි. උත්සාහය උනන්දුව මත රැකියා ආදායම් මාර්ග ව්‍යාපාර සේවා බොහෝ දුරට සතුටුදායක වෙයි. අතහැර දමා තිබූ ව්‍යාපාර නැවත ආරම්භයට ද යහපත් කාල පරාසයකි. දෙස් විදෙස් සංචාරක ගමන් සතුටුදායක වෙයි.

 

ධනු ලග්නය

දිගු කාලීනව අතහැර දමා තිබූ ව්‍යාපාරික මෙන්ම නිත්‍ය රැකියා කටයුතු කෙරෙහි ප්‍රබලව සතුටුදායක පසුබිමක් ඇතිකර ගැනීමට උත්සාහ ගනු ලබයි. අන්‍යයන් කෙරෙහි කරුණාව මෛත්‍රිය ඇති කර ගනියි. විශේෂයෙන් 03 වැන්න 05 වැන්න ශුභවාදී ග්‍රහ ගෝචර ගමන් යෙදී තිබීමද සතුටුදායක බවට යහපත් වෙයි. පදිංචිය කෙරෙහි සතුරු බලවේග ද මතුවිය හැකියි.

මකර ලග්නය

02 වැන්න වූ ධනස්ථානගතවද 04 වැන්න පදිංචි ස්ථානගතව දැඩි අවධානය යොමුවෙන කාල සීමාවෙකි. නිර්මාණශීලී වූ නව නිෂ්පාදන වගා කටයුතු සතුටුදායක වෙයි. ප්‍රබල වූ කාල පරාසයක උසස් දියුණුවකට මඟ සලසා ගැනීම යහපත් වේ. දෙස් විදෙස් සංචාරක සේවා සතුටුදායක වෙයි. උත්සාහය උනන්දුව මත ව්‍යාපාරයන් බොහෝ දුරට දියුණූු වෙයි.

කුම්භ ලග්නය

සස යෝග බලය ලග්නගතව ද 03 වැන්න වූ වික්‍රමස්ථානගතව යෙදී ඇත. අඟහරු බලය ද වර්තමාන කාල පරාසය තුළ ද දියුණු වෙයි. තිරසාර අනාගත අරමුණු ද සපල කරදෙන වර්තමාන කාල පරාසය ජවබල සම්පන්න වෙයි. සිතැඟියාවන් මල්ඵල ගැන්වෙන අපූර්වාත්මක වර්තමාන ග්‍රහචාරය ඉතා ප්‍රශස්ත වෙයි.

මීන ලග්නය

02 වැන්න ධනස්ථානය ද 12 වැන්න ද ප්‍රබලව ග්‍රහ ගමන් මඟක යෙදී ඇත. එසේම 05 වැන්නෙහි ද ග්‍රහ ගමන්මග හදිසි ධන ලාභයනට මෙන්ම උසස්තම දියුණුවට තුඩුවෙන ග්‍රහ ගමන් මඟෙහි දිගු කාලීන වූ සැලසුම් ගණනාවක දියුණුව සමාරම්භය සාර්ථක ප්‍රතිඵල ගලා එනු ලබයි. විධිමත් ක්‍රියාකාරකම් මඟක් ඔස්සේ මීන රාශිය හිමි ඔබවෙත භාග්‍යය වාසනාව ළඟා කෙරෙයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.