කිතු උපතයි ඡ්‍යොතිෂයයි

දෙසැම්බර් 27, 2024

 

පැතිරූ සෙනෙහස උතුරු ගුණ නැණ නිතර ලොව මෙනෙහි පාවා
අතුරු අනතුරු කෙරෙහි නොබියව මෙතින් ගෙනගිය දහම් සේවා
තුරු වන දෙව් මිනිස් වෙසඟෙන දෙරණ පත් දින මතක ගාවා
තුනු බැතිමුළු ලොවට වෙයෙසිව ලොවට සුබ නත්තලක් වේවා

ලොවට උතුම් වූ නත්තල සමරන මේ දිනවල ලොවෙහිම අඳුර නසාලමින් පීඩිතව සිටි ජනතාවට සහනාලෝකය ලබා දෙන්නටත් යායුතු නිවැරැදි මාර්ගය කියාදෙන්නටත් කටයුතු කළ ඒ මහා ශාස්තෘවරයාණන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත හා දිවි ගමන ඡ්‍යොතිෂ ඇසින් දකින්නට දරන වෑයමකි මේ...

සමස්ත වර්ගයාගේම ගැලවුම්කාර විශිෂ්ට රජකු ශාස්තෘවරයකු පෙරදිග රටක උපත ලබන බවත් ඒ මොහොතේ අද්භූත තාරකාවක් අහසේ දක්නට ලැබෙන බවත් බොහෝ කාලයකට පෙර දිවැස්ලාභී සෘෂිවරුන් පලකොට තිබූ අනාවැකියකි .

එම අනාවැකිය ස්ථිර කරමින් ශ්‍රී බුද්ධ වර්ෂ 543වැන්නේදී වර්තමාන ඊශ්‍රායලයට අයත් බෙත්ලෙහෙමේදී ජේසූස් ක්‍රිස්තුස් වහන්සේ උපත ලැබීය.

කිතු උපත සිදුවන වකවානුවේ මේ පෙදෙස රෝම අධිරාජයාගේ යටත් විජිතයක්ව පැවතියේය. බලකාමයෙන් මත් වී අන්ත දූෂණ භීෂණ ක්‍රියාවල යෙදෙමින් යටත් වැසියන් තලා පෙළා අයුතු අසාධාරණ බදු අය කර ගනිමින් කල්යැවූ අදමිටු පාලකයන් ජේසුස් වහන්සේගේ උපත ප්‍රිය නොකළේ, මේ නිසා ඔවුන් සතු බලතල නොබෝ කලකින්ම ගිලිහී යනු ඇතැයි සැක පහළ කළ බැවිනි .

ලෝකය ප්‍රකෘතියෙන්ම දුකට නැඹුරුව ඇතැයි පවසන්නට මෙන් කිතු සමිඳුන්ගේ උපත බෙත්ලෙහමේ ගණඳුරු ගවහලකදී සිදුවිය .

එහෙත් සෘෂිවරුන්ගේ අනාගත වාක්‍යය පිළිගෙන එහි පැමිණි පර්සියානු ඡ්‍යොතිෂවේදීන් තිදෙනකු ගවයින් තණ කෑ ඔරුවක සතපවා උන් ජේසු බිළිඳාණන් දැක මහත් සතුටට පැමිණ පුදපඬුරු පිරිනමා වැඳ නමස්කාර කර පිටව ගිය බවද පැවසේ.

ක්‍රිස්තුස් වහන්සේගේ ජන්ම කේන්ද්‍රය දෙස විමසිල්ලෙන් බලන කල එතුමා කන්‍යා ලග්නයෙන් ඉපිද තෙවැන්නේ සිකුරු හා රාහු ද පස්වැන්නේ රවි, බුධ සංයෝගය ද සයවැන්නේ කුජ ද සත්වැන්නේ ගුරු සඳු ශනි සංයෝගවද නවවැන්නේ කේතුද සිටි බව පෙනී යයි. මේ කේන්ද්‍රයේ දැක්වෙන ග්‍රහ බලයේ ප්‍රකට කරුණක් හැටියට දැක්වෙන්නේ ඉෂ්ඨානිශ්ට ප්‍රතිඵල දෙන නියම ජන්ම ඒරාෂ්ටකයක් පරිපූර්ණව තිබීමයි.

එසේම එතුමන්ගේ කේන්ද්‍රයේ විපතට නැඹුරු කාල සර්පයෝගයක් දක්නට ඇති අතර එය අති ධාවනකාරී සතුරු යෝගයක් ලෙසද සැලකේ. කිතු සමිඳුන්ට උපතේ සිටම බලවත් සතුරු පිරිසක් සිටියේ එනිසා වන්නට ඇත. උත්තරායනයෙහි රවි මෝක්ෂාස්ථානාධිපතිව විද්‍යා ස්ථානයෙහි බුධ සමඟ එක්වීමෙන් ආදිත්‍ය යෝගය යෙදීම නිසා අයුක්තියට අසාධාරණයට එරෙහිව නැඟී සිටීම, දූරදර්ශී ඥානය, පැහැදිලි අවබෝධය හා සකල ලෝ වැස්සන්ගෙන් පූජෝපාහාර ලැබීම ඇතුළුව මරණින් මත්තේ පූජනීයත්වයට පත්වීමේ භාග්‍යයද ගෙන දුන් බව පෙනී යයි.

කාල සර්ප යෝගය තුළ ගුරු , සදු , ශනි සංයෝගයෙන් නියමම ජන්ම ඒරාෂ්ටකයක් ඇති කල අතර එය නියම චිත්ත සමාධියක් ඇතිකරවීමට ද සමර්ථ විය. එසේම පීඩිත ජනයාගේ විමුක්ති දායකයාණන් වීමටද උන්වහන්සේට හැකිවිය.

එසේම අටවැන්නාධිපති කුජ සයවැන්නේ යෙදීම නිසා ඇතිවන විපරිත රාජ යෝග බලය නිසා ලෝකයේ විශාල බුද්ධිමය පරිවර්තනයක් ඇති කිරීමටත් රාජ රාජ මහාමාත්‍යාදීන්ගෙන් වැදුම් පිදුම් ලැබීමටත් එතුමන්ට හැකි වූ බව පෙනී යයි.

එසේම අටවැන්නාධිපති ශතෘස්ථානයේ සිටීමෙන් ඇති වූ අල්පායුෂ යෝගය නිසා නොසිතූ අවස්ථාවක පොදු මහත් ජනතාව වෙනුවෙන් දිවි පුදන්නටද උන්වහන්සේට සිදු වූවා විය හැකිය.

මේ ලිපියේ ලා අපගේ අරමුණු වූයේ ලොව පහල වූ ප්‍රබල ශාස්තෲවරයෙකුගේ, ලොවට සාමය සැනසුම ගෙනදෙන්නට කටයුතු කළ පූජනීය ශුද්ධ වූ දිවියක මහිමය ඡ්‍යොතිෂය ඇසුරින් අධ්‍යයනය කිරීමයි. ලැබුවා වූ නත්තල ලෝවාසී සියලු ජනී ජනයාට සාමය සතුට සැනසුම පිරි සුබ නත්තලක් වේවා!

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.