ලග්න කේන්දරයෙන් හෙළිදරව් වන ඇස් රෝග

අගෝස්තු 19, 2022

දෙනෙත් මිනිස් සිරුරට විශාල මෙහෙයක් ඉටු කරන ඉතා වැදගත් ඉන්ද්‍රියකි. මෙකී දෙනෙත් මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය යහපත් ලෙස පවත්වාගෙන යෑමට විශාල මෙහෙයක් ඉටු කරයි. එයට හේතුව නම් මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය 70% ක්ම සිදුවන්නේ දෙනෙත් මඟින් මිනිස් මොළයට සපයන සංඥා මඟිනි. එහෙත් ඇස් පෙනීම දුර්වල වුවහොත් එය මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි අයහපත් බලපෑමක් ඇති කරන අතර, ඒ හේතු කොට ගෙන ඇස් පෙනීමේ දුර්වලතාවයක් ඇති පුද්ගලයන්ට දුර්වල මනසක් ඇතිවේ.

ඇස් පෙනීම යහපත් පුද්ගලයන්ට යහපත් මනසක් ඇති වන අතර ඔවුන් යහපත් අදහස් ආකල්ප ඇති පුද්ගලයන් වන්නේ ය. එලෙස මිනිසාට යහපත් මානසික සෞඛ්‍යයක් ඇති කිරීමට දෙනෙත් මුල් වන නිසා ශුද්ධ වූ බයිබලයේ ජේසුස් වහන්සේ සිරුරට පහන ඇස යයි සඳහන් කොට ඇත.

එමෙන්ම මෙකී දෙනෙත් ඉතා සෞම්‍ය සිත් ගන්නා සුළු ඉන්ද්‍රියක් වන නිසා ලස්සන ඇස් ඇති තරුණියන්ට තරුණයනුත් ලස්සන ඇස් තරුණයන්ට තරුණියනුත් වශීවී ප්‍රේම සම්බන්ධතා ඇති කර ගනියි. යෞවන, යෞවනියන් අතර, ප්‍රේම සම්බන්ධතා ඇතිවීමට මිනිසාට දෙවියන් විසින් දී තිබෙන මෙකී සුන්දර දෙනෙත් මුල්වන නිසා, බොහෝ ප්‍රේම ගීතවලට, මෙකී දෙනෙත්වල ඇති සුන්දරත්වය ඇතුළත් කර ඇත. මෙකී දෙනෙත් පිළිබඳ ඡ්‍යොතිෂය ශාස්ත්‍රයට අනුව කරුණු විමසා බැලීමේ දී එම ග්‍රහයන්ගෙන් රවි, සඳු, සිකුරු යන ග්‍රහයන් මිනිසාට පෙනීම ලබා දෙන ප්‍රධාන ග්‍රහයන් වශයෙන් ඡ්‍යොතිෂය ශාස්ත්‍රයේ සඳහන් කොට ඇත. ඒ අනුව රවි ග්‍රහයා දිවා කාලයේ දී මිනිසාට පෙනීම ලබා දෙන අතර, සඳු, සිකුරු යන ග්‍රහයන් රාත්‍රී කාලයේ දී මිනිසාට පෙනීම ලබා දෙයි. මෙහිදී ලග්න කේන්දරයේ දෙවැන්න ජන්මියාගේ දකුණු ඇස නිවේදනය කරයි. 12 වැන්න ජන්මියාගේ වම් ඇස නිවේදනය කරයි. රවි පුරුෂ කේන්දරයක දකුණු ඇසට කාරක ග්‍රහයා වන අතර, සඳු වම් ඇසට කාරක ග්‍රහයා වේ. ස්ත්‍රී කේන්දරයක සඳු දකුණු ඇසට කාරක ග්‍රහයා වන අතර රවි වම් ඇසට කාරක ග්‍රහයා වේ. එහෙයින් ලග්න කේන්දරයකට අනුව ජන්මියෙක් ගේ පෙනීමේ බල දුබලතාවයන් ගැන කරුණු විමසීමේ දී යටකී 2, 12 යන භාවාධිපතියන් සමඟ එකී 2, 12 යන භාවයන්ට කාරක වන රවි, සඳු යන ග්‍රහයන්ගේ බල දුබලතාවයන් ගැනද විමසා බැලිය යුතු ය. ලග්න කේන්දරයකට අනුව ජන්මියෙක් ගේ පෙනීම එදිනෙදා වැඩ කටයුතු කරගෙන යෑමට නොහැකි ආකාරයට දුර්වල වීමට නම් ලග්න කේන්දරයේ 2 වැන්න 12 වැන්න යන භාවයන්ට අධිපති වන ග්‍රහයනුත් එකී 2 සහ 12 වැනි භාවත්, එම භාවයන්ට කාරක වන රවි සහ සඳු යන ග්‍රහයනුත් ලග්නය සහ එහි අධිපතින්, පාප පීඩිත විය යුතු ය. 2 වැන්න සහ 12 වැන්නාධිපතියන් පාප පීඩිතව සිටියදී 2, 12 යන භාවවලට ලග්න කේන්දරයට ශුභ ඵල දෙන යෝගකාරක ග්‍රහයන්ගේ හෝ කේන්ද්‍ර, ත්‍රිකෝණස්ථානාධිපතියන් ගේ දෘෂ්ටියක් හෝ එකී ශුභ ග්‍රහයන් එකී 2, 12 යන භාවවල තැන්පත්ව සිටියි නම් සහ ලග්නාධිපති සහ රවි, සඳු යන ග්‍රහයන් ශුභ භාවගතව බලවත්ව සිටී නම්, දෘෂ්‍ය ආබාධ ඇති වන නමුත් ඒවා උපැස් පැළඳීමෙන් හෝ වෙන යම් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් මඟින් යථා තත්ත්වයට පත් කොට, දෛනික වැඩකටයුතුවල යෙදිය හැකි වන්නේ ය.

අප මේ ජීවත් වන ලංකාවේ එදාට වඩා අද අක්ෂි රෝගවලින් පෙළෙන ජන සංඛ්‍යාව ඉහළය. එයට හේතු කිහිපයක් ඇත. ඉන් පළමුවැන්න නම් පරිගණකය සමඟ වැඩි වේලාවක් කාලය ගත කිරීම උසස් අධ්‍යාපන කටයුතුවල යෙදීමේ දී දවසේ වැඩි කාලයක් පොත්පත් කියවීම, තෙවැනි කරුණ නම් මත් ද්‍රව්‍ය භාවිතය. ඒ අනුව මෙකී කරුණු තුනෙන් තුන් වැනි කරුණ එනම් මත් ද්‍රව්‍ය භාවිතය හේතු කොටගෙන ඇති වන අක්ෂි රෝගවලින් පෙළෙන ජන සංඛ්‍යාව ඉතා ඉහළත්වයට හේතුව නම් වර්තමාන ජන සමාජයේ මත් ද්‍රව්‍ය භාවිතා කරන පිරිස දිනෙන් දින ඉහළ යෑමයි. ලග්න කේන්දරයට අනුව දෘෂ්ටි ආබාධයක් ඇති වී ඇත්තේ මත් ද්‍රව්‍ය භාවිතයෙන්ද යන්න පැවසිය හැක. ඒ මෙසේ ය. ලග්න කේන්දරයක දෙවැන්න හෝ 12 වැන්නේ රාහු පතිතව සිටියදී එම රාහු 6, 8 දුෂ්ට ස්ථානාධිපතියන්ගේ දෘෂ්ටිය ලබා සිටියදී රවි, සඳු ලග්න කේන්දරයේ පාප පීඩිතව ඇත්නම් කලකදී හොඳට පෙනුන ඇස් මත් ද්‍රව්‍ය භාවිතය නිසා නොපෙනෙන බව කිව හැකි ග්‍රහ පිහිටීමක් වන්නේ ය. මෙහිදී රාහු 2 / 12 යන භාවයක මිත්‍ර ස්වක්ෂේත්‍ර උච්ච යනාදී බලයකින් යුතුව 6, 8, 12 යන දුෂ්ට භාවාධිපතියන්ගේ දෘෂ්ටියෙන් හෝ සංයෝගයෙන් පාප පීඩිත නොවී ලග්න කේන්දරයට ශුභ ඵල දෙන යෝග කාරක හෝ කේන්ද්‍ර ත්‍රිකෝණ ස්ථානාධිපතියන්ගේ දෘෂ්ටියට හෝ සංයෝගයට ලක්ව බලවත්ව සිටී නම් එවන් ග්‍රහ බලයක් ඇති ජන්මින්, මත් ද්‍රව්‍ය භාවිතයට යොමු නොවන නිසා දෘෂ්ටි ආබාධ ඇති වන්නේ නැත.

ඒ අනුව ලග්න කේන්දරයක රවි, කුජ, ශනි, රාහු, කේතු යන ග්‍රහයන් වැඩි දෙනෙක් නීචව, සතුරු අස්ත යනාදි බලයකින් යුතුව 2/12 යන භාවයක පතිතව ඇති විටදී සඳු, සිකුරු යන ග්‍රහයන්ද පාප පීඩිතව දුර්වලව ඇත්නම් යටකී දුර්වල සහජ පාපි ග්‍රහයෙක්ව අයත් මග දශාවක් හෝ අතුරු දශාවක් ලැබූ කල එකී දුර්වල සහජ පාපියාට හය අධිපතිගේ බලපෑමක් ඇත්නම් එවන් ග්‍රහ පිහිටීමක් ඇති කේන්දර හිමියාට ඇස් රෝග වැළඳෙන්නේ ය.

මතු සම්බන්ධයි.

 

ඡ්‍යොතිෂවේදී

උදම් පෙරේරා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.