ඔසප් දිනවල අධික වේදනාව මඳසරුභාවයට අතවැනීමක් ද?

සැප්තැම්බර් 16, 2022

විවාහයෙන් වසරක් තුළ සාමාන්‍යයෙන් කාන්තාවක් ස්වභාවිකව ගැබ් ගැනීමේ ප්‍රතිශතය 80%ක් තරම් ඉහළයි. විවාහයෙන් පළමු වසර තුළ ගැබ් නොගන්නා කාන්තාවන්ගෙන් අඩක් පමණ දෙවෙනි වසර තුළදී ගැබ් ගැනීම සිදුවිය හැකිය. එහෙත් වයස අවුරුදු 35ට අඩු කාන්තාවක් විවාහයෙන් වසර දෙකකටත් පසු ගැබ් ගැනීමකට ලක් නොවනවා නම් ඇයට බලපාන බවට සැක කළ හැකි අතර ඇය මඳසරුභාවය පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍යයයි.

මඳසරුභාවය

නීරෝගි කාන්තාවක් මසකට වරක් තම ඩිම්බ කෝෂවලින් ඩිම්බයක් නිපදවයි. එම ඩිම්බය පැලෝපීය නාළය දිගේ ගර්භාෂ කුහරය වෙත ගමන් කරයි. සරු කාලයේ සිදුවන ලිංගික එක්වීමකින් ගර්භාෂය වෙත පිහිනා යන පිරිමි ශුක්‍රාණුවක් මඟින් එම ඩිම්බය සංසේචනය වී කළලයක් ඇතිවෙයි. එම කළලය නිවැරදි ලෙස ගර්භාෂ බිත්තියේ තැන්පත් වුවහොත් එම කලලය විකාශනය වෙමින් දරුවෙක් වර්ධනය වෙයි. මෙම ස්වභාවික තත්ත්වයට බාධා ඇතිවන ඕනෑම තත්ත්වයක් සාමාන්‍යයෙන් මදසරුභාවය ලෙස හඳුන්වයි.

දරුසම්පත්වලට බලපාන ඩිම්බකෝෂ ආශි‍්‍රත ගැටලු 
පොලිසිස්ටික් ඔවේරියන් සින්ඩ්‍රොම් 
(Polycystic ovarian syndrome) 

මෙහිදී සිදුවන්නේ ඩිම්බ නිසි ලෙස මේරීමේ ක්‍රියාවලිය දුර්වල වීම හෝ ප්‍රමාදවීමයි. මොළය හයිපොතැලමස හා පිටියුටරි ග්‍රන්ථිය හරහා එන හෝමෝන, ඩිම්බකෝෂ ගර්භාෂය හා යෝනි මාර්ගයේ නිසි ක්‍රියාකාරිත්වයට බලපානවා. ඊට අමතරව හෝමෝනවල ක්‍රියාකාරිත්වය මැනවින් පවත්වා ගැනීමට තයිරොයිඩ් ග්‍රන්ථියත් ඉතාම වැදගත් කාර්යයක් සිදුකරනවා. මේ කුමන හෝ ග්‍රන්ථියක ක්‍රියාකාරිත්වය අඩපණ වුවහොත් දරු සුරතල් බැලීමට ප්‍රමාදවීම් ඇතිවිය හැකියි. ඇතැම් කතුන්ට උපතින්ම මොළයේ හෝමෝන ක්‍රියාකාරිත්වයේ දුර්වලතා ඇතිවෙන්න පුළුවන්. කාන්තා සිරුරක් තුළ පිරිමි හෝමෝන වැඩියෙන් ක්‍රියාත්මක වීම මෙන්ම ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය වෙනස්වීම ආදිය නිසාත් දරු සම්පත් ලබාගැනීමට අපහසු වෙනවා. මේ තත්ත්වයන් මඟහරවා ගැනීමට විවිධ ඖෂධ හා එන්නත් ක්‍රම විශේෂඥ වෛද්‍ය උපදෙස් මත භාවිත කළ හැකියි. එහෙත් අධික ස්ථුලතාවයෙන් යුත් කාන්තාවක් නම් ප්‍රතිකාර ලබාගැනීමට පෙර වහාම ස්ථුලතාවය හා ශරීරයේ බර අඩු කරගැනීමට අත්‍යාවශ්‍යයි. ස්ථුලතාවය හා ශරීර ස්කන්ධය වැඩි අයට හෝමෝන ප්‍රතිකාර සිදුකළත් දරු සම්පත් ලබාගැනීම අපහසු වීම ඊට හේතුවයි.

ස්ථුලතාවය සහ අධික බර අඩු කරගත් පසු ඩිම්බ මේරීමට ලබාදෙන ඖෂධවලින් නිසි පිළියමක් ලබාගත හැකියි. මේ අයගේ ගර්භාෂ බිත්ති යහපත් මට්ටමක තිබෙන නිසා මූලික පිළියම් හා උපදෙස් පිළිපැදීමෙන් දරු සම්පත් ලබාගැනීම අපහසු නෑ. මෙමඟින් දරුවකු පිළිසිඳ ගැනීමට ඇති සාර්ථකභාවය 70%ක් තරම ඉහළයි.

ඔසප් දිනවලදී අධික වේදනාවක් දැනීම

මෙම තත්ත්වය මුලින් සඳහන් කළ පොලිසිස්ටික්ඕවේරියන් තත්ත්වයට වඩා බරපතළ ගැටලුවක්. එන්ඩොමෙට්‍රියෝසීස් රෝගය ඇති විට කලලය ගර්භාෂ බිත්තියට අල්ලාගැනීම ඉතාම දුර්වල මට්ටමකට පත්වෙනවා. මෙවැනි කතුන්ට දරුඵල ලබාගැනීමට ඇති හැකියාව 40%ක් තරම් අඩුයි. නළ දරු තාක්ෂණය මගින් පවා මෙවැනි කාන්තාවන්ට දරුවෙකු ලබාගැනීම බොහෝවිට කළ නොහැකි වෙන්න පුළුවන්. මේ නිසා ඔසප් දිනයට පෙර සිටමත් ඔසප් දිනවලත් අධික වේදනාවක් දැනෙන යුවතියන් ඒ සඳහා නියමිත වෛද්‍ය පරීක්ෂණවල ඉක්මනින් සිදුකර ගැනීම අත්‍යවශ්‍යම කරුණක් බව කිව යුතුයි. මේ සඳහා ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥයකු හමුවී අවශ්‍ය ස්කෑන් පරීක්ෂණ හා රුධිර පරීක්ෂණ සිදුකරවා ගැනීම ඉතාමත්ම වැදගත්. මෙම පරීක්ෂණ මඟින් “එන්ඩොමෙට්‍රියෝසීස්” රෝගය ඇති බව තහවුරු වුවහොත් ඉක්මනින් විවාහ වී ඉක්මනින් දරු සම්පත් ලබාගැනීම ඉතාම සුදුසුයි. එවැනි කතුන් කිසිම විටක කිසිදු උපත් පාලන ක්‍රමවේදයක් අනුගමනය නොකිරීමත් වැදගත්. මන්ද මෙවැනි රෝගී තත්ත්වයක් ඇති කාන්තාවන්ගේ ගර්භාෂයේ යම් තරමකින් ඉතා සුළු වශයෙන් රුධිරය තැන්පත් වීමක් සිදුවිය හැකියි. මේ තත්ත්වය දිගින් දිගටම සිදුවීමෙන් එලෙස එකතුවන රුධිර ගුළිය ගර්භාෂය සමඟම ඉවත් කිරීම සිදුකිරීමට ඇති ප්‍රවණතාවය ඉහළයි. ඒ වගේම තමයි එන්ඩොමෙට්‍රියෝසීස් රෝගී තත්ත්වය නිසා කලලයට මාස 2 - 3 ක් වන විට ස්වභාවිකවම ගබ්සාවීම්වලට ලක්වීමටද ඉඩ තිබෙනවා. මෙවැනි කාන්තාවන් අවශ්‍ය පරීක්ෂණ සිදුකර ප්‍රතිකාර ලබාගනිමින් ඉක්මනින් දරු සුරතල් බැලීමට සූදානම් විය යුතුයි. යම් විදියකින් විවාහය කල් දැමීමට ප්‍රබල හේතුවක් ඇත්නම් පමණක් ඩිම්බ කීපයක් ඉවත්කරවාගෙන ශීතන තත්ව යටතේ ඩිම්බ ගබඩාකර (ඡ්ඨඨ ජ්ඥපපලඪදඨ ඊඥජඩදධතධඨර) විවාහයෙන් පසු සැමියාගේ ශුක්‍රාණු සමඟ සංසේචනය කර දරු සම්පතක් ලබා ගන්නට එමඟින් හැකියාව තිබෙනවා.

අමතක නොකරන්න ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු මඟින් මේ පිළිබඳව ඔබට වඩාත් දැනුවත් වීමත් හා උපදෙස් ලබාගන්න පුළුවන්.

ඩිම්බ සංචිතය වේගයෙන් අඩු වීම

ඕනෑම කාන්තාවකට දරු සම්පත් ලබා ගන්න පිහිට වෙන්නේ උපතින්ම ඩිම්බ කෝෂ තූළ තැන්පත්ව තිබෙන ඩිම්බ ප්‍රමාණයයි. මාසික ඔසප්වීම සමඟ සමහර කාන්තාවන්ගේ ඩිම්බ ප්‍රමාණය වේගයෙන් අඩු වී යන්න පුළුවන්. මෙවැනි අය ද විවාහය ඉක්මන්කර, ඉක්මන් දරු උපතකට යා යුතුයි. එසේ නොවුනහොත් වෙනත් කාන්තාවකගේ ඩිම්බ සැමියාගේ ශුක්‍රාණු සමඟ පිටතදී සංසේචනය කර තම ගර්භය තුළ තැන්පත් කිරීමෙන් දරු සම්පතක් ලබාගැනීම සඳහා නවීන ක්‍රමවේදයකට යා යුතු වෙනවා. ඔසප් වීමේ අක්‍රමිකතා කලාතුරකින් සහ සමහර මාසවල දෙවතාවක් ඔසප්වීමට ලක්වන කාන්තාවන් විශේෂඥ වෛද්‍ය උපදෙස් මුලසිටම ලබාගැනීම මෙහිදී ඉතාමත්ම වැදගත් වෙනවා.

රඹුක්කන කීර්ති එස්.කුමාර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.