අභිමතය පරිදි දරුවන් ලබා ගැනීමේ ක්‍රමවේදය

අගෝස්තු 5, 2022

අතිශයින් දුෂ්කර වුවත් තම අභිමතය පරිදි දූ පුතුන් ලැබිය හැකිය. ඒ සඳහා උපක්‍රම හා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඡ්‍යොතිෂයේද වෛද්‍ය විද්‍යාවේද සඳහන් වී තිබේ. යුග දිවියට පත් ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ එකම බලාපොරොත්තුව ජීවිතෙයේ ඉහළම තෘප්තිය ලෙස සලකන රති සැපත විඳ ගැනීම වෙයි.

එහි අතුරු ඵලයක් ලෙස දරුවන් ලැබීම සලකනු ලැබේ. නියම අඟ පසඟ ඇති නීරෝගිමත් රූමත් දරුවන් ලැබීමට වඩා සැපතක් විවාහක යුවළකට තවත් නොමැති බව කිව යුතු නොවේ. මෙම මහඟු ඵලය ලබා ගැනීම සඳහා පිරිමියාගේ ශුක්‍ර ධාතුවද ස්ත්‍රියගේ ශ්‍රෝණි ය ද ඉතා පිරිසිදු විය යුතු බව ආයුර්වේදයේ දැක්වේ. ඉංගී‍්‍රසි වෙදකමේද එය කියවේ. කායික මානසික නීරෝගිතාවය මෙහිලා ඉතා වැදගත් වේ.

නීරෝගි ලස්සන වාසනාවන්ත දරුවන් ලබා ගැනීම සඳහා ක්‍රියා කළ යුතු ආකාරය ආයුර්වේදයේ හා ඡ්‍යොතිෂයේ දැක්වේ. මනා සෞඛ්‍ය තත්ත්වයෙන් යුත් ස්ත්‍රී පුරුෂ දෙදෙනා පළමු කොට දරුවන් ලබා ගත යුතු ආශාවෙන් සිත පුරවා ගත යුතුය. ඉක්බිති යහන්ගත විය යුතු ආකාරය කිව යුතුය. ඇල් හාලේ බත් එළකිරි සමඟ වළඳා ඡ්‍යොතිෂ ශාස්ත්‍රනුකූලව ඒ සඳහා නියමිත සුබ මොහොතින් පළමුව දකුණු පසින් යහනට නැගිය යුතුය. තරුණිය උඳු, තෙල් මිශ්‍ර ආහාර අනුභව කර වම්පසින් හෙවත් පුරුෂයාගේ දකුණු පසින් යහන් ගත වී සයනය කළ යුතුය. චරක,වත්ස්‍යායන හා වාග්භංගාචාරීන්ගේ ග්‍රන්ථවල දැක්වෙන ආකාරයට සංවාසයේ යෙදීමට නිසි ඉරියව් දක්වා කාර්යය කළ යුතුය. බියවීම, ශෝක වීම, සිත චංචලවීම, කුසගින්නේ සිටිම, අධිකව කෑම ගත් විට අන් පුරුෂයින් පැතීම යන කරුණු දරුවන් ලැබීමට බලාපොරොත්තු වන කාන්තාවන් විසින් අත්හළ යුතුය. මේ අවස්ථාවලදී ගැබ් ගැනීම සිදු නොවන බව පුරාණ වෙදවරු නිසා තිබෙන අතර නවීන වෙද මත අනුව ඒවා අනුමත නොකරන බව හා ඒවායේ වැදගත් බවද යෝග්‍යතාවය තිබෙන බව ගැඹුරින් මැදහත් ලෙස සිතන්නාට වැටහී යයි.

ඉතා බාලවූද, ඉතා මහළු වූද, ලිංගික රෝගවලින් පෙළෙන්නාවූද ස්ත්‍රී පුරුෂයන් වර්ජනය කළ යුතුය. එවැනි අයගෙන් උපදින දරුවන් තමාටත් රටටත් වාසිදායක වන්නෙන් ඉතා කලාතුරකිනි. ඡ්‍යොතිෂ ශාස්ත්‍ර අනුකූලව මේ සඳහා සුදුසු නුසුදුසු වන ආකාරය මීළඟට සොයා බලමු. මේ ශාස්ත්‍රය පරිදි යහපත් හෝරා සැරයෙන් දරුවන් ලබා ගත හැකි ආකාරය විමසා බැලීම ප්‍රයෝජනවත් වේ. පුත්‍රයෙක් ලැබීමට ස්තී‍්‍ර කේන්දරයක සඳු උපචය රාශියක සිටියදී ඒ රාශිය ශුභ පුරුෂ ග්‍රහයෙකුට පෙනේ නම් ශුභ ලග්නයක් උදාව ඇති ඉරට්ටේ දිනක රාත්‍රියේ බීජ නිශේකය කළ යුතුය. ඵලදායක වන ලෙස ලිංගික සම්බන්ධතාවයට සුදුසු උචිත කාලය නම් රවි, සඳු, කිවි, ගුරු යන ග්‍රහයින් තම ක්ෂේත්‍ර රාශි ලග්නයේ හෝ නවාංශකයේ සිටි කල්හි කුජ යෝගවීම හෝ කුජගේ දෘෂ්ටිය වේ නම් ඒ කාලය හොඳය.

ඉතා බලවත් වූ ගුරු 1, 5,9 යන ස්ථානයක හෝ ඉහත කී රාශියක නවාංශකයක සිටින ශුභ දිනයක යුවතිපති සබඳතාවෙන් පුත්‍ර ලාභ ඇති වේ. පුතෙක් පිළිසිඳ ගැනීම සිදුවේ. ලග්නාධිපති ග්‍රහයා සමඟ පස්වැන්නාධිපතියා එක්ව සිටි විටද, ඒ දෙදෙනා ඔවුනොවුන් දක්නා විටද එම ග්‍රහ ක්ෂේත්‍ර රාශි මාරු කරගෙන සිටින විටද පුතුන් ලබන යෝග බලය උදා වෙයි. ශනි බලවත්ව, අනෙක් ග්‍රහයින්ගේ දෘෂ්ඨි හෝ යෝගවීම් නැතිව සිටීමද පුතුන් උපදවා පිළිසිඳ ගන්නා ග්‍රහ බලය තිබෙන අතර උත්සාහය සාර්ථක වන බව පෙන්නා දිය හැකිය. එසේම 6 හෝ 11 භාවයක සිටීමද යහපත් වේ. පහ අධිපති බලවත් වීමද සියලුම ග්‍රහයින් ඔත්තේ රාශිවල සිටීමද පුතුන් ලැබිය හැකි තත්ත්වයකි. පහේ හෝ දහයේ සඳු කිවි ද්වි ග්‍රහ යෝගය තමන්ගේ රාශිවල හෝ නවාංශකයක සිටිමද යන ග්‍රහ බල අවස්ථාවන්හි ගැහැනු දරුවන් පිළිසිඳ ගනී. ලග්නයේ සිටින රාහු සඳුට පෙනීම ද ලග්නයේ සිටින සඳු රාහුට පෙනීමද දියණියන් ලැබීමට හේතු වෙයි. සිකුරු සඳුගේ හෝරාවේ සිටීමද කේන්ද්‍ර ස්ථානයක 1,4,7,10 සිටීමද නිසා ස්ත්‍රී දරුවෝ පිළිසිඳ ගනිති. අගනා භාව කුතුහලය පොතේ සඳහන් වන ආකාරයට ඡන්ම පතක ලග්නාධිපතියා 1,2,3 යන ස්ථානයක සිටි විට ඒ තැනැත්තාට පළමුව පුතෙක් ලැබේ. ලග්නාධිපති 4 හි සිටි විට පළමුව දුවෙක් ද ඉන් පසු පුතෙක් ද ලැබේ. එසේම පහ දකින ග්‍රහයින් යම් ප්‍රමාණයක් වෙයිද එපමණටම පුත්තු ලැබෙන බවද, පහේ යම් පමණ ස්ත්‍රී ග්‍රහයින් ප්‍රමාණයක් දකී නම් එපමණටම ගැහැනු දරුවන් පිළිසිඳ ගන්නා බවද පෙන්වා දිය හැකිය. 1,3,2,5,12 යන ස්ථානයක සිටීද දරුවන් ලැබීම බෙහෙවින් අඩු වේ. සඳු, කිවි, කුජ තිදෙන ධනු රාශිය හැර මිථුන, කන්‍යා, මීන යන උභය රාශිවල සිටි විටද ඒ තැනැත්තාට බොහෝ දරුවන් ලැබෙන බවද පෙනේ.

එකවර දරුවන් දෙදෙනකු නොහොත් නිඹුල්ලු ඉපදෙන ග්‍රහයෝග ග්‍රහ පිහිටීම් අතරින් කීපයක් මීළඟට බලමු. ගුරු බුධ ද්වි ස්වභාව රාශි ලග්න ස්ථානයක සිටීම ඉන් ප්‍රධාන වෙයි. ද්වි ස්වභාව රාශියක් ලග්නය වී එය බුධට පෙනීමද, බුධ දහයේ සිටීමද නිසා නිඹුල්ලු උපදිති. මෙය යවල යෝගය යනුවෙන් හැඳින්වේ. සම රාශිවල සඳු සිකුරු සිටීමද, ද්වි ස්වභාව නවාංශකවල සිටීමද, ලග්නයේ බුධ හා ගුරු කුජ වීෂම රාශිවල සිටීමද නිසා ඒකාන්තයෙන්ම ඒ අයට නිවුන් දරු උපත් ලැබෙන බව හෝරා සාරය නම් ග්‍රන්ථයේ සඳහන් වේ. කේන්දරයක පහ අධිපතියා සෞම්‍ය ග්‍රහයින් සිටි පුත්‍ර ස්ථානය. 5 දැකීමද, සෞම්‍ය ග්‍රහයින් සමඟ පුත්‍ර ස්ථානය අධිපතියා සිටියිද දරුඵල තිබේ. මීළඟට එන්නේ බොහෝ කල් ගොස් දරුවන් ලැබෙන යෝග කීපයකි. පාප ග්‍රහයන්ගේ රාශිවලත් ලග්නයෙත් පාප ග්‍රහයින් සිටි විට රවි වෘශ්චික කුජ මිථුනයෙත් සිටී නම් එවැනි කේන්දර හිමියන්ට අවුරුදු 30කින් පුතෙක් ලැබේ. පාපයන් විසින් දකිනු ලබන හෝ අශුභයන් සමඟ සඳු කටකයේ සිටි විට ශනිගේ වීක්ෂණයට ලක්වේ නම් ඔහුට අවුරුදු 60 කින් පුතෙක් ලැබෙන බව භාව කුතුහලය පෙන්වා දෙයි.

දරුවන් නොලැබෙන ග්‍රහ බලපෑම් පිළිබඳවද සුළු වශයෙන් නමුත් විමසා බැලිය යුතුය. කේන්දරයක පහේ කුජද, පාප ග්‍රහයකු සමඟ පහ අධිපති හත් වැනි අංශකයේ සිටීමද දරුවන් නොලැබීමට හේතු වේ. සතුරු ග්‍රහයින් සමඟ සිටින ලග්නාධිපති ශනි සඳු විසින් දැකීමද හා සමඟ රවි 6, 2 යන ස්ථානයක සිටි විටද දරුවන් නොලබන ග්‍රහබල වේ. රවි සඳු බුධ විසින් දක්නා ලද ශනි හය වැන්නේ සිටියත් එසේම වෙයි.

ගැබ් හටගැනීම

ආධාන සමයෙහි සිය නවාංශකවල සිටි රවි සඳු කිවි කුජ යන ග්‍රහයින් සිව්දෙන හේතු කොට ගෙන නිසැකයෙන්ම දරු ගැබක් හට ගනී. ගුරු 5,9,1 යන ස්ථානවලින් එකක යෙදුන විටද ගැබ් හට ගන්නා බව කියනු ලැබේ. පාප ග්‍රහයින් පස්වැන්නේ සිටි නම් ඇය දරුවන් නොලබන්නීය.

වෘශ්චිකයේ ගුරු කිවිද, ලග්නයේ බුධ ශනි දෙදෙනෙක් සිටි කල්හි යමෙක් උපන්නේද ඔහුට කිසිකලෙක දරුවන් නොලැබෙන බව භාව කුතුහලයේ සඳහන් වේ. රවි ගුරු සඳු කිවි කුජ යන ග්‍රහයින් ද්වි ස්වභාව රාශි නවාංශකයක බුධගේ දැකීමෙන් යුක්ත වූ කල්හි නිවුන් දරු දෙදෙනකු උපදින බව “ ජාතක පාරිජාතකයේ” දැක්වේ. මිථුන, කන්‍යා, ධනු, මීන, ස්ත්‍රී රාශි වන අතර රවි ගුරු මිථුන ධනු නවාංශකවලට පැමිණි විට බුධගේ වීක්ෂණයට ලක් වේ නම් පිරිමි දරුවන් දෙදෙනෙක් උපදිති. කන්‍යා, මීන නවාංශකවල සිටින සඳු කිවි කුජ බුධ විසින් දකිනු ලබන කල්හි ගෑණු නිවුන් දරු දෙදෙනෙක් බිහි වෙති. ඉහත කී නවාංශක කොටස්වලට යෙදුන මුලින් සඳහන් ග්‍රහයින් බුධ විසින් දකිනු ලැබේ නම් එක පිරිමි දරුවෙක්ද ගැහැනුු දරුවෙක් ද උපදින බව කිව යුතුය.

පුවපල්, සා, දෙට , පුනාවස, මුවසිරස, රෙහෙන යන නැකත්වලින් උපන් කතුන්ට රූමත් නැණවත් වාසනාවන්ත දරුවන් ලැබෙන බව ස්ත්‍රී ජාතක චන්ද්‍රිකාවේ සඳහන් වෙයි. විෂ්කම්භය, පී‍්‍රති, ශෝභන, ධෘත, ධ්‍රෑව යන යෝගවලින් උපන් ළඳුන්ට ද යහපත් දරුවන් ලැබෙන බව සඳහන් වේ. මල්වර නැකත් අනුව අස්විද, රෙහෙන, මුවසිරස, පුනාවස, පුෂ, අස්ලිස, පුවපල්, උතුරුපල්, හත, සා, අනුර සුවණා, දෙනට, සියාවස, උතුරුපුටුප, රේවතී යන නැකත් අදාළ කාන්තාවන්ට යහපත් දරුවන් නොලැබේ. මකර, කුම්භ, මේෂ, වෘශ්චික යන ශනි කුජ දෙදෙනාට හිමි රාශියක් ලග්නය වී එහි කිවි සඳු සිටි කල්හිද, පාප වීක්ෂණයට ලක් වූ කල්හිද ඒ කාන්තාව දරුවන් නොලබන්නීය.

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී

අමුවල අමරසේන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.