කඩුවට පැන දිවි නසාගත් තනිවැල්ලේ දෙවියෝ

නොවැම්බර් 29, 2024

මහා බලගතු දේව අනුහස් ඇති ප්‍රාදේශීය දෙවියෙකි තනිවැල්ලේ දෙවියෝ. කෝට්ටේ විසූ අටවැනි වීර පරාක්‍රමබාහු රජුගේ පුත් මාදම්පේ විසූ තනිවල්ලභ යුව රජු මියගිය පසු තනිවැල්ලේ දෙවියන් නමින් ගැමි ජනයා අතර ප්‍රකට විය.

රජුගේ තේජසත් බලපරාක්‍රමයත් පළාතට සිදු වූ මානව සේවයත් සලකා ඔහුව දේවත්වයෙන් සැලකීමට පටන් ගත්හ. විශාල කේතකී නම් කුඹුරු යායක් අස්වැද්දවීමට මුළු ශක්තියම දෙන ලද්දේ මේ දෙවියන් යැයි ජනයා අතර විශ්වාසයක් පැතිර ගියේය.

වීර පරාක්‍රම රජුගේ පුතුන් දෙදෙනා වූ උඩුගම්පළ සකලකලා වල්ලභත් මාදම්පේ තනිවැල්ලේ වල්ලභත් දෙදෙනාම පිය රජුගේ අණට යටත් වූහ. යුද්ධයට ගිය තනි වල්ලභ කුමරු මරණයට පත් වූ බැව් බිසවට දැන්වීය. බිසව, සැමියා නමින් දිවි පිදුවාය. යුද්ධයට ගිය කුමරු නිරුපද්‍රිතව ආපසු එනවිට බිසව මියගිය බැව් ඇසූ විටදී තමන් ගෙන ආ රන්රිදී, මුතු මැණික් සම්භාරයම ගල්, අමුණ නම් තැන නිදන් කොට රැකීමට තම පුතාට අණ දුන්නේය. සිදුවූ දේ විමසා දුෂ්ට ඇමැතියා වධයට පමුණවා යළි තමා නවතා ආ කුමරු හට පුතා ධනය නසන බව සැලවී ගල් අමුණ වෙත ගොස් ඔහුගේ ගෙල කපා තමදිවියේ පලක් නැති බැව් වැටහුණ බැවින් තනි පිටියේ සිය මඟුල් කඩුව සිටුවා ඒ මතට පැන දිවි තොර කර ගත්තේය.

එදා සිට එතැන කඩපිටිමාදම්පාය නමින් අදත් හැඳින්වේ. මින් පසු ජනයා විසින් රජු දේවත්වයෙන් සලකන ලදී. මේ වෙල්යායේ අස්වැන්න කපාගත් අලුත් සහල් ගෙන තියවැල්ලේ දෙවියන්ට පූජා කරති.

මේ පූජාව පවත්වන විටදී පොල්මලෙන් කඩුවක ස්වරූපයක් තනා එය වෙල්යාය මැද සිටුවා පුද පූජා තබන්නේ ය. කඩුවෙන් තම දිවි තොර කරගත් බවට එය අගනා සාක්ෂියකි. ගල් අමුණේ දී ගෙල සිඳුම් ලැබූ කුමාරයා ගලගත් බණ්ඩාර නමින් ජනයා අතර ප්‍රකට විය.

තනිය වැල්ලේ හෙවත් තනිවැල්ලේ දෙවියන් ඉතාම බලගතු හාස්කම්පාන දෙවියෙක් බවට ප්‍රදේශවාසීහු අදත් ගෞරව කරති.

ප්‍රසිද්ධ තනියවැල්ලේ දේවාලය අභිමුඛයේ මාදම්පේ පිහිටා ඇත. එහි රජුගේ වාහනය වන සුදු අශ්වයාගේ පිළිරුවක් ද නිර්මාණය කර තිබේ. මේ ප්‍රතිමාව ඉදිරියෙන් යන එන අය ඉතාම නිශ්ශබ්දව, ශාන්තදාන්තව ගමන් කරනුයේ දේව භක්තිය නිසාය. තව ද මේ අශ්වරුව සහිත ප්‍රතිමාවට ගරුසැලකිලි දක්වන්නේ නම් යන එන ගමන් බිමන් සාර්ථක වන බැව් ජන විශ්වාසයකි. සුදුමල් ඉසීම එක්තරා ගරු කිරීමක් ය. එළකිරිවලින් අශ්වපාදය නැහැවීමෙන්ද දේව බලය ලැබෙන බවට ජන විශ්වාසයක්ව පවතී.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.