ඔබ ඉපදුණේ ඕනෑම මාසයක 4-13-22-31 දිනයක නම් ඕනෑම අභියෝගයක් ජය ගන්නෙකි

නොවැම්බර් 8, 2024

ජන්ම අංක 04 න් උපන් ඔබ පිළිබඳ සුබාසුබ තත්ත්වයන් , චරිත ලක්ෂණ හා දුර්වලතාවයන් පිළිබඳව අංක විද්‍යා ඡ්‍යොතිෂයට අනුව විමසා බලමු.

අංක හතර යුරේනස් ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වෙයි. එහෙත් පෙරදිග ඡ්‍යොතිෂ විද්‍යාවට අනුව එය රාහු ලෙසද සලකනු ලබයි. අධික රස්නයකින් නිරන්තරයෙන් ගිනි ගෙන දැවී පවතින සූර්යයා හා සෘජු සම්බන්ධයක් යුරේනස්ගේ පවතින බැවින් සූර්යයාගේ ලක්ෂණ යුරේනස්ටද ආරෝපණය කර ඇත. මේ අනුව ජන්ම අංක හතරෙන් උපන් අය නිතර උස් පහත් වන සහ ඉහළ පහළ යන ජීවිතයක් පෙන්නුම් කරයි. ජුනි මස 21 වැනිදා සිට අගෝස්තු මාසයේ 21 දක්වා උපදින අයට මේ බලපෑම වැඩි වශයෙන් පවතින බව පෙනේ. මොවුන් ස්ථාවර භාවයකට පත් වන්නේ බොහොම හෙමින්ය. නිරන්තර වෙනස්වීම්වලට ලක්වෙයි. ජීවිතයේ් හදිසි අවස්ථාවන්ට ජන්ම අංක හතරෙන් උපන් ඔබට නිරන්තරයෙන් මුහුණ දීමට සිදුවෙයි. ඔබ කිසි විටෙකත් බලාපොරොත්තු නොවූ සිදුවීම් ඔබට සිදුවිය හැකියි. මෙය ඔබට හොඳ අත්දැකීමක්ද වනු ඇත. වරෙක ඉතා උසස් මට්ටමට පත්වන ඔබ බලාපොරොත්තු නොවූ අවස්ථාවන්වල ඉතාමත් ඛේදනීය ලෙස පහත වැටෙන අවස්ථා තිබේ. එමෙන්ම ඉතාමත් දුක්ඛිත ලෙස දුප්පත්ව ගත කරන කෙනා හෙට රජ කෙනකු සේ ඉතා ඉහළ යහපත් ජීවිතයක් ගෙවණු පෙනේ. නිරන්තරයෙන් දුක සැප අතර දෝලනය වන ජීවිතේ සැබෑ යථාර්ථය ඔබ අත්විඳීනු ඇත. ගල්පර අතරින් ගලන ගඟකට බාධා හමු වනවා සේ ඔබගේ ජීවිතයේ ද බාධා නොමැති අවස්ථා නොමැත. ඔබ ජීවිතයට උරුම කරගත් සියලු දේ ඉතාමත් අමිහිරි මතකයන් සමඟ බොහොම මහන්සි වී උරුම කරගත් දේවල්ය. ජීවිතය දෙස ආපසු හැරී බලන විට ඔබට එය මනාව වටහා ගත හැකිවනු ඇත. ඔබගේ ජීවිතය බාධාවන්ගෙන් සහ විවිධ ගැටලුවලින් ප්‍රශ්නවලින් ගහන එකකි. මෙය කිසි විටෙකත් ඔබ මනස අවුල් කර ගත යුතු දෙයක් නොවේ. මේ කුමන බාධා තිබුණද ගල්පර අතරින් ගලන ගඟ සේ ඔබේ ජීවිතය ද ඉතාම සුන්දර ලෙස ගලා යනු ඇත.

කලබලකාරී ගතිය මෙන්ම තරමක් හිතුවක්කාර මුරණ්ඩු ස්වභාවයක් ද ඔබ තුළින් පෙන්නුම් කරයි. පිටතින් ඉතාමත් මෘදු ස්වභාවයක් සෞම්‍ය ගතියක් පෙන්නුවද ඇතුළතින් ඔබ ඉතාමත් දැඩිය, ශක්තිමත්ය. හොඳ දරා ගැනීමේ හැකියාවක් ඔබට තිබේ. ඉක්මන් කේන්තිය ඔබේ දුර්වලතාවයකි. ඔබගේ ඉක්මන් කේන්තිය නිසා බොහෝ දේවල් පාඩු කරගන්නා අතර ඒ පිළිබඳ පසුතැවිලි වීම පසුව සිදු වෙයි. ඔබගේ තරහ ඉක්මනින් නිවී යයි. වැඩි වෙලා පවතින්නේ නැත. එහෙත් ඒ වන විට ඔබ ප්‍රමාද වැඩිය. රැකියාව තුළ ද ඔබට උස්පාත් වීම් ජීවිතය පුරා සිදුවන අතර විවිධ බාධක දුෂ්කරතා මැද රැකියාව කිරීමට සිදුවන බව පෙනේ. ඔබේ ජීවිතයේ සියලු දේවල් නිශ්චිත ස්ථාවර භාවයක පවත්වා ගැනීමට දැඩි වෙහෙසක් ගත යුතුයි. බොහෝ විට සියලු කටයුතු තුළ පිළිවෙළක් නැතිවා සේ පෙනෙයි. හෙට දවස හා අනාගතය පිළිබඳව තියා අද දවස පිළිබඳව වුවත් නිසි සැලැස්මක් නැතිකම ඔබේ දුර්වලතාවයක් බව පෙනේ. සිතින් ඔබ කොතරම් සැලසුම් කළත් ඒ සියල්ල ඔබට හිතාගන්නට බැරි විදිහට වෙනස් වෙයි. සමහරවිට ඔබ උදේට සැලසුම් කරන දෙය හවස් වනවිට වෙනස් කිරීමට බොහෝ විට සිදුවනු ඇත. ඔබගේ මේ චංචල මනසේ ස්වභාවය හොඳීන් තේරුම්ගත හොත් ජීවිතයේ ඉහළම තලයකට පත්වීමේ හැකියාව පවතී. ජන්ම අංක හතර හිමියන් ජීවිතයේ ඉහළට නැගීමට පටන් ගත් විට හිනිපෙත්තටම ගමන් කරන අතර එමෙන්ම පහළ වැටීමට පටන් ගතහොත් බින්දුවටම වැටීමට සිදු වෙයි. කුමන බාධා පැමිණියද තම මුලික අරමුණු අපේක්ෂා අමතක නොකර ක්‍රියා කිරීමට මතක තබා ගැනීම හොඳයි.

ජීවිතය් පුරා ඔබට විරුද්ධව නැඟී සිටින බලවේග ද බොහෝ වෙයි. විවිධ සතුරු කරදර උපක්‍රමවලට මුහුණ දීමට සිදුවෙයි. එක සතුරෙකු පරාජය කරන විට තව බොහො දෙනකු ඔබට විරුද්ධව නැඟී සිටින බව හොඳීන් මතක තබාගන්න. ඔබට ඕනෑම දෙයක් පෞද්ගලිකත්වය ආරක්ෂා කරගෙන කිරීමේ හැකියාව ඇත. එනම් ඔබ තුළ ඉතාමත් රහස් රැකීමේ දක්ෂතාවයක් පවතී. මුදල් පිළිබඳ ඔබට එතරම් දැඩි ආශාවක් ඇල්මක් නැත. මුදල් පසුපස අනවශ්‍ය ලෙස හඹා යෑමේ උවමනාවක් ද නැත. තමාගේ වියදමට සරිලන මුදලක් තිබුණා නම් ඇති යැයි සිතයි. සමාජයේ ඕනෑම කෙනකු වෙනුවෙන් ඔබ අවශ්‍ය කැපවීම් කරයි. තම පෞද්ගලික කටයුතු පවා පසෙකලා අන් අය වෙනුවෙන් කැප වීමට යොමු වන බව පෙනේ. කුමන බාධා අවහිරතා මැද්දේ වුවද තම යුතුකම් වගකීම් නිසි පරිදි ඉටු කිරීමට ඔබ උපරිම උත්සාහ දරයි. මේ නිසාම ජන්ම අංක 4 හිමියන් සමාජය තුළ ඉතාමත් ජනප්‍රිය ප්‍රියමනාප පුද්ගලයන් වනු ඇත.

ඔබ ඔබගේ මානසික සමබරතාවය සහ මානසික සුවය පවත්වා ගැනීමට නිතරම කල්පනාකාරී වන්න. මනස අවුල් කරන කාරණාවන්ගෙන් හැකි සෑම විටම ඈත් වන්න. උපේක්ෂාවෙන් සියලු දේට සමසිතින් මුහුණ දීමට ශක්තිය ඇති කරගත යුතුයි. ඔබට වේගවත් සිතුවිලි ඇති අතර නිතර යම් සිතිවිල්ලක කල්පනාවක යෙදී සිටින බව පෙනේ. පුංචි දෙයක් සාර්ථක වු විට බොහෝ සතුටට පත්වෙනවා සේම පුංචි දෙයක් අසාර්ථක වූ විට බොහෝ දුකට ද පත් වේ.

ඔබට ජීවිතයේ බොහෝ අභියෝගවලට මුහුණදීමට සිදුවනු ඇති අතර ඔබ තුළ ඕනෑම අභියෝගයක් ජයගැනීමේ ශක්තිය ද ඇත. බොහෝ විට ඔබ ඉදිරිපස සෑම විටම දකින්නට ඇත්තේ අභියෝගයකි. කෙතරම් මහන්සි වී වැඩ කළද ඔබ එතරම් තෘප්තිමත් භාවයට පත්වන කෙනෙකු නොවේ. කොපමණ වැඩ කළත් මහන්සි වුණත් එය ප්‍රමාණවත් නොවන සේ ඔබට දැනෙයි. තවත් කිරීමට බොහෝ දේ ඇති බව ඔබට හැඟෙයි. එක් අභියෝගයක් ජයගෙන අවසන් කරන විට තව අභියෝග රැසක් ඔබ ඉදිරියේ දිස් වනු ඇත. ඔබට තම පවුලේ ඥාතීන්ගෙන් බලාපොරොත්තු වන තරම් ආධාර උපකාර ලැබෙන්නේ නැත. එහෙත් පවුලේ බොහෝ වගකීම් ඔබගේ කර පිට පැටවෙනු ඇත. පවුලේ ප්‍රධානියකු ලෙස කටයුතු කිරීමට ඔබට බොහෝ විට සිදුවෙයි. සමාජයේ උසස් මට්ටමේ අය ඔබේ මිතුරන් බවට පත් වේ. එහෙත් ඉක්මනින් මිතුරන් බවට පත්වෙන අය පිළිබඳ සැලකිලිමත් වන්න. ඔවුන් කරදරකාරයන් වන්නට වැඩි කලක් ගත නොවේ.

ජන්ම අංක හතර හිමියන් තීරණ ගැනීමෙහි දක්ෂ වුවත් යම් තීරණයක් ගැනීමට බොහෝ කල්පනා කරයි. සමහර තීරණවලදී අන් අයගේ උපදෙස් ගැනීම ද උදව් ගැනීමද සිරිත වේ. එහෙත් මානසික කලබලකාරී ගතිය නිසා ආවේගශීලීව ගන්නා වූ තීරණ ගැන සැලකිලිමත් වන්න. තමාගේ ආත්ම අභිලාෂයන් මුදුන්පත් කරවා ගැනීමේ අරමුණින් ක්‍රියා කරන ඔබ නීති-රීති රෙගුලාසි පිළිබඳ හොඳ අවබෝධයක් ඇත්තෙකි. අවශ්‍ය අවස්ථාවල ඒවාට පිටින් ක්‍රියා කරන ගතියද තිබේ. එනමුත් කිසිවෙකුට අසාධාරණයක් කිරීමට කැමති නොවේ.

ඔබ මුදල් ඉපැයිම හා කළමනාකරණය ගැන වඩා සැලකිලිමත් විය යුතුයි. හදිසි ධන ලාභ ලැබීමේ වාසනාවද ඔබට තිබේ. එනමුත් මුදල් ප්‍රවේශම් කර ගැනීම අතින් ඔබ ඉතා අසමත් වෙයි. අනාගතය වෙනුවෙන් මුදල් ඉතිරි කර ගැනීම පිළිබඳ වඩාත් සැලකිලිමත් වන්න. අනවශ්‍ය වියදම් පාලනය කර ගැනීම අනිවාර්ය කොට සලකන්න. ජීවිතයේ පසු කාලය තුළ ඔබට එය මානසික සැනසිල්ලට හේතු වනු ඇත. ඔබ යමක් කමක් තිබෙන අයෙකු ලෙස ජීවත් වීමට බොහෝ කැමැති වෙයි. වත් පොහොසත්කම් ප්‍රදර්ශනයෙන් සියුම් මානසික සතුටක් ලබයි. නිතරම අභිමානයෙන් යුතුව ජීවත් වීමට අපේක්ෂා කරයි. ඒ සියලු දේවල් මුදල් තිබෙනකල් පමණක් වේ. මුදල් අතින් අපහසුතා ඇති වු විට ඔබට එයට මුහුණ දීමට ඉතා අපහසු වන අතර කම්පාවට සහ දුකට පත්වෙයි. නැත කීමට ඔබ කිසි විට කැමැති නැත. එය ඔබ බොහෝ අපහසුතාවයට පත්කරන අතර නැති විට නැත කීමට පුරුදු වීම යහපත් වේ. බොහෝ විට ජීවත්වීම පිණිස වෘත්තීන් කිහිපයක යෙදෙයි. ඔබගේ ජීවිතයේ දියුණුව සහ ස්ථාවරත්වය සැලසෙන්නේ අවුරුදු 40 සිටය. මොන තරම් දේවල් තිබුණත් සමහර විට ජීවිතේ හිස් බවක් හෝ හුදෙකලා බවක් හිතට දැනෙනු ඇත.

ඉතා අවංක සහ විශ්වසනීය පුද්ගලයන් වන ජන්ම අංක හතර හිමියන් වගකීම් සහිතව කටයුතු කරන්නන්ය. ප්‍රායෝගික මෙන්ම විද්‍යාත්මක ක්‍රමවේදයන් අනුව කටයුතු කිරීමට දක්ෂ වෙයි. යම් යම් දේවල් නිර්මාණය කිරීම් සහ අත්හදා බැලීම්වලද නිරතවෙයි. එකතැන සිටිනවාට වඩා ඇවිදීමට, සංචාරය කිරීමට කැමතිය. එමෙන්ම ඔබ සතුන්ගෙන් වඩාත් ප්‍රවේශම් වීමට මතක තබා ගන්න. ඔවුන්ගෙන් අනතුරු සහ සපාකෑම සිදුවිය හැකි බැවිනි. ජන්ම අංක 4 හිමි අයට අධ්‍යාපනඥයන්, විද්‍යාඥයන්, ඉංජිනේරුවන්, නීතීඥයන්, ව්‍යවසායකයන් බවට පත්වීමේ වාසනාව ඇත. එමෙන්ම යන්ත්‍ර සූත්‍ර ක්‍රියාකරුවන් , සංචාරක හෝටල්, ඇඟලුම් ක්ෂේත්‍රය, ප්‍රවහන සේවා, ගොඩනැගිලි ඉදිකිරීම්, රියැදුරු සේවය, ප්ලාස්ටික් හා රබර් කර්මාන්ත ආශ්‍රිත රැකියා, කොන්ත්‍රාත් වැඩ ආදී වෘත්තීන් ද ඉතාමත් පල දේ. ඍණාත්මක සිතිවිලි සහ මැළි භාවය ඔබව සාර්ථකත්වයෙන් පහත් කරනු ඇත. එමෙන්ම අනවශ්‍ය බර කරට ගැනීම අනවශ්‍ය ලෙස ඕනෑවට වඩා සිතීම සහ ඉක්මනින් කම්පාවට පත් වීම ඔබේ සාර්ථකත්වය පහත හෙළන බව මතක තබා ගන්න.

ඔක්තෝම්බර් මුල සිට දෙසැම්බර් අවසානය දක්වා කාලය එතරම් යහපත් නැත. බාධා කරදර ඇති කළ හැකි බැවින් ප්‍රවේශම් විය යුතු කාලයකි. එමෙන්ම රුධිරගත රෝග, උදරය සහ පපුව ආශ්‍රිත රෝග තත්ත්ව, දනහිස් හන්දිපත් ආදී ආබාධ, වකුගඩු හා මුත්‍රා පද්ධතිය ආශ්‍රිත රෝග, මානසික ආතතිය, ස්වසන ආබාධ ආදිය පහසුවෙන් වැලඳීය හැකි අතර මේ පිළිබඳ කල් ඇතිව නිසි වෛද්‍ය උපදෙස් ගෙන ප්‍රවේශම් වීම ඉතා වැදගත් වෙයි. නිතරම කලබලයට පත් නොවී මානසික සුවයෙන් යුතුව කටයුතු කරන්න. කරුණාව සහ මෛත්‍රිය පෙරදැරි ව ම කටයුතු කරන්න. කේන්තිය පාලනය කරගන්න, දුටු පමණින් කිසිවෙකු විශ්වාස නොකරන්න, තද සීතලෙන් සහ බෝවෙන රෝගවලින් ආරක්ෂා වෙන්න, තිබෙන පමණට පමණක් වියදම් කරන්න, සකසුරුවම්කම සහ අරපරෙස්සම ගැන නිතර සිතන්න, ලේ කෝප වන ආකාරයේ කටයුතුවලින් අත්මිදෙන්න, කතාව අඩු කරන්න අවශ්‍ය දේ පමණක් කෙටියෙන් කියන්න, සන්සුන්ව මනස නිතර තබාගන්න. මේ කරුණු ඔබට ඉතා වැදගත් වනු ඇත.

(ජන්ම අංක 05 හිමි ඔබ පිළිබඳ ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.