ට්‍රම්ප්ට හා රේගන්ට අභය දානය දුන් කණ්ඨක ශනි අපලය

ඔක්තෝබර් 18, 2024

පසුගිය ජූලි 13 වැනි සෙනසුරාදා ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු මෙන්ම ජනාධිපති අපේක්ෂයකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජන රැලියක් අමතමින් සිටියදී ස්නයිෆර් වෙඩික්කරුවකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් දකුණු කනට තුවාල සිදුවිය.

එමෙන්ම 2024 ජූලි 12 වැනි සිකුරාදා සුබසෙත පුවත්පතට තිස්ස ප්‍රේමසිරි මහතා විසින් ‘ඡ්‍යොතිෂවේදිනියකට වැරදුණු අනාවැකිය’ යන සිරස්තලය යටතේ ලියන ලද ලිපියේ හිටපු ඇමෙරිකාවේ ජනාධිපතිවරයකු වන රොනල්ඩ් රේගන් මහතාට 23 හැවිරිදි තරුණයකු විසින් පිස්තෝලයකින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් පපුවට තුවාල සිදුවූ බව සඳහන් කොට තිබුණි.

ඒ අනුව ඉහත කී අමෙරිකානු ජනාධිපතිවරයන් දෙදෙනාට එල්ල කරන ලද වෙඩි ප්‍රහාරවලින් ඔවුන්ගේ ජීවිතවලට අනතුරක් සිදු නොවී ශාරීරික වශයෙන් සුළු තුවාල ලැබීමට හේතු වූයේ ඔවුන් දෙදෙනාටම ඒ මොහෙතේ කණ්ඨක ශනි ඒරාෂ්ටක අපලයක් ලබා තිබුණු නිසාය. ඒ අනුව ජන්මියකුගේ මරණය හදිසි අනතුරකින් හෝ සතුරු ප්‍රහාරයකින් සිදුවීමට නම් ඔහු හෝ ඇයගේ ලග්න කේන්දරයේ සඳු ග්‍රහයා මුල්කරගෙන ජන්ම ඒරාෂ්ටක අපලයක්, ලග්න ඒරාෂ්ටක අපලයක්, ලග්න හෝ ජන්ම අෂ්ටම ඒරාෂ්ටක අපලයක් යෙදිය යුතුය.

මෙයට උදාහරණයක් වශයෙන් හදිසි අනතුරුවලින් සහ සතුරු ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වූ මෙරට ජනනායකයන් වන ඩී.එස්. සේනානායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිවරයන් දෙදෙනාත්, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාත් මියැදෙන විට ඔවුන්ගේ හඳන්වල සඳු ග්‍රහයා කේන්ද්‍ර කොටගෙන ජන්ම ඒරාෂ්ටක අපල යෙදී තිබීම පෙන්වාදිය හැකිය.

ඒ අනුව පහත දැක්වෙන්නේ අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සිංහ ලග්න කේන්දරයයි.

උපත 1946.06.14 උදේ 10.54 ජැමෙයිකාවේදී දෙට නැකතේ 4 වැනි පාදයෙන් උපත ලබා ඇති හෙයින් බුධ මහ දශාව ඉදිරියට වර්ෂ 1යි මාස 09 යි දින 15 ශේෂව තිබුණි. රතු අක්ෂරවලින් දක්වා ඇත්තේ වෙඩි ප්‍රහාරයට ලක්වන දිනයේ පිහිටි තත්කාල ග්‍රහචාරයයි.

ඉහත සිංහ ලග්න කේන්දරයේ ලග්නයේ අඟහරු පිහිටීම, ලග්නාධිපති රවි 10 වැන්නේ සතුරුව යෙදීම, එසේ සතුරුව යෙදුණු ලග්නාධිපති රවි පාපි රාහු කේතු ගිනිකාරක අඟහරු යන ග්‍රහයන්ගෙන් පීඩා වීම, ගිනි අවිවලින් අනතුරු සිදුවන බව පෙන්වාදෙන ග්‍රහ පිහිටීමක් වන්නේය. ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට් වෙඩි ප්‍රහාරයට ලක්වන විට ශනි ග්‍රහයා 7 වැන්නේ ජන්ම ලග්නයට ජන්ම සඳු සහ රවිට කේන්ද්‍රගතව ගෝචරය වෙමින් ලග්න ජන්ම, සූර්ය කණ්ඨක ශනි, ඒරාෂ්ටක අපල 3ක් එකවර යෙදී තිබුණු අතර මාරක ස්ථානයක් වන දෙවැන්නේ පතිත 8 අධිපති මෙන්ම 22 වැනි දෙර්කාණාධිපති ගුරුගේ මහ දශාවද, රහස් සතුරු බලවේග ගැන කියැවෙන 12 වැන්නෙහි පතිත මාරක ස්ථානයක් වන 7 වැන්නට අධිපති සෙනසුරු සමඟ යෝග ලග්නාධිපති රවිට සතුරු සිකුරු ග්‍රහයාගේ අතුරු දශාව ද ලබා තිබුණි. මෙහිදී මහ දශා අධිපති ගුරුට රවි, කුජ යන අග්නි කාරකය්ගේ බලපෑම, රාහුගේ පූර්ණ දෘෂ්ටියක් ලැබීමත්, අතුරු දශා අධිපති සිකුරුට ගිනි කාරක අඟහරුගේ බලපෑම, ගිනිකාරක රවිගේ පූර්ණ දෘෂ්ටිය තුළින් ලැබීම නිසා වෙඩි ප්‍රහාරයෙන් දකුණු කනට තුවාල සිදුවිය. 3 අධිපති සිකුරු දකුණු කන නිවේදනය කෙරෙන ග්‍රහයා වී 6 අධිපති සෙනසුරු සමඟ යෝගව දුෂ්ට භාවයක් වන 12 වැන්නෙහි පතිතව සිටීම ප්‍රහාරයෙන් දකුණු කනට හානිවීමට හේතුවූ ප්‍රධාන ග්‍රහ බලය විය. මෙහිදී තත්කාල කේන්දර සටහනේ සඳු, ශනි අතර යෙදුණු අෂ්ඨාෂ්ටක දෝෂය ප්‍රහාරයෙන් දෝෂයක් මිස ජීවිත හානියක් සිදු නොවීමට හේතු විය.

එහෙත් 2025 මාර්තු 29 වැනි දින සෙනසුරු ග්‍රහයා මීන රාශිගත වීමෙන් පැන නඟින ලග්න අෂ්ටම ඒරාෂ්ටක අපල කාලසීමාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ස්වකීය දේශපාලන ප්‍රතිවාදීන් අතින් ඝාතනය වීමේ දැඩි ප්‍රවණතාවක් පෙන්වයි.

ඊළඟට දැක්වෙන්නේ ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන රොනල්ඩ් රේගන් මහතාගේ ධනු ලග්න කේන්දරයයි. 1911 පෙබරවාරි 6 වැනි දින අලුයම 4.16ට අමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ බෙරණ නැකතේ 3වැනි පාදයෙන් උපත ලබා ඇති හෙයින් සිකුරු මහ දශාව ඉදිරියට වර්ෂ 8 යි මාස 4 යි දින 1ක් ශේෂව තිබුණි.

රතු අක්ෂරවලින් දක්වා ඇත්තේ වෙඩි ප්‍රහාරයට ලක්වන දිනයේ පිහිටි තත්කාල ග්‍රහචාරයයි. ලග්නයේ ගිනිකාරක අඟහරු සිටිනුයේ මාරක ස්ථානය අධිපති බුධ සමඟ තවත් ගිනි කාරක ග්‍රහයකු වන රවි දෙවැන්නේ සිටින සතුරු රවිගෙන් පාප කර්තරිත යෝගයකට මැදිවය. ලග්නාධිපති ගුරු 11 වැන්නෙහි සිටින්නේ ගිනි කාරක කේතු සමඟ යෝගව 8 අධිපති මෙන්ම 22 වැනි දෙර්කාණාධිපති සඳු සහ නීච ශනි සතුරු රාහු යන ග්‍රහයන්ගේ සප්තම දෘෂ්ටියට ලක්වය. එම ග්‍රහ බලය දේශපාලන කටයුත්තකදී ගිනි අවිවලින් තුවාල සිදුවන බව පෙන්වාදෙන ග්‍රහ බලයක් වන්නේ ය. ඒ අනුව 1981 මාර්තු මස 31 වැනි දින වෙඩි ප්‍රහාරය ලක්වන විට රොනල්ඩ් රේගන් මහතාට ගුරු මහ දශාවේ රවි අන්තරය ලබා තිබුණි. ඒ වන විට සෙනසුරු ග්‍රහයා ලග්න කේන්දරයෙන් 10 වැන්නෙහි ගෝචරය වෙමින් කණ්ඨක ශනි ඒරාෂ්ටක අපලය උදා කර තිබුණි. ඒරාෂ්ටක අපලය උදා කළ ශනි මහ දශා අධිපති ගුරුම පාප කර්තරිත යෝගයකින් පීඩා කළ අතර, අතුරු දශා අධිපති රවීව කේන්ද්‍රීය දෘෂ්ටියෙන් පීඩා කොට ඇත. ඒ හේතු කොටගෙන හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන් මහතා වෙඩි ප්‍රහාරයට ගොඳුරු වූ නමුත් ඒරාෂ්ඨක ශනි ජන්ම සඳුව පීඩා නොකිරීම නිසා ජීවිතයට හානියක් සිදු නොවීය. එහෙත් ජන්ම සඳු සහ ඒරාෂ්ටක ශනි අතර තිබුණු ෂෂ්ටාෂ්ඨක දෝෂය හේතු කොට ගෙන ප්‍රහාරයෙන් පපුවට සුළු තුවාල සිදුවිය. මන්දයත් මහ දශා අධිපති ගුරු පපුව නිවේදන කෙරෙන 4 වැන්නාධිපති වීම නිසාත් උත්පතියේ 4 වැන්නාධිපති ගුරු 4 වැන්නෙන් 8 වැන්න වූ 11 වැන්නෙහි. ගිනි කාරක, රවි, කුජ යන ග්‍රහයන් ගෙන් පීඩා වී සිටීම නිසා ය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.