ඔබ ඉපදුණේ ඕනෑම මාසයක 9-18-27 දිනයක නම් ස්වාධීන අයෙකි

දෙසැම්බර් 13, 2024

ජන්ම අංක නවයෙන් උපන් ඔබ අඟහරු හෙවත් කුජ ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වෙයි. මේ අය තම අරමුණු සාර්ථක කර ගැනීම සඳහා නොපසුබට උත්සාහයෙන් ක්‍රියා කරයි. හොඳ ශක්ති සම්පන්න බවක් ද තිබේ. බොහෝ ගෞරවය සහ පිළිගැනීම බලාපොරොත්තු වෙයි. තම ගෞරවය ආරක්ෂා කරගැනීමටද කටයුතු කරයි. කාටවත් යටත් වීමට කැමැති නැත. මහන්සි වී තමන්ගේ කටයුතු කර ගැනීමට උත්සාහ දරයි. තරුණ කාලය තරමක් බාධාකාරී තත්ත්වයන් පවතී. මොවුන්ට හතුරු කරදර පවතින අතර සතුරු බාධකවලට මුහුණදීමට නිරන්තරයෙන් සිදු වෙයි.

අනුන්ගෙන් යැපීමට අකමැති මොවුන් ස්වාධීනව ජීවත් වීමට කැමති වෙයි. අවශ්‍ය තැනදී නිර්භීතව තීන්දු තීරණ ගැනීමට දක්ෂ වෙයි. මිනිසුන් මවිතයට සහ පුදුමයට පත් කරන ක්‍රියාකාරකම්වලට මොවුන් වඩාත් කැමැති වෙයි. එවැනි දේවලින් ජනප්‍රියත්වයද ලබයි. ආක්‍රමණශීලී පුද්ගලයන් ලෙස පිටට පෙනුණ ද ඉතාමත් යහපත් මිනිසුන් හැටියට හඳුනාගත හැකිය. තම වගකීම් නිසි ලෙස ඉටු කරයි. යහපත් විනයගරුක ගති පවතී. මාර්තු පහළොස් වැනි දා සිට අප්‍රේල් 15 දා දක්වා කාලය යහපත් සුබදායක කාලයක් වෙයි. ඔක්තෝම්බර් 13 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා දක්වා කාලය ද යහපත් කාලයක් වෙයි.

මොවුන්ට නායකත්වයට ඉතාමත් හොඳ සහජ දක්ෂතාවයක් පවතියි. මොවුන් බොහෝ අය ආරක්ෂක සේවාවල නිරතව සිටිනවා දකින්නට ලැබෙයි. වැඩක් කරන්නට ගිය පසු අනතුරු තුවාල සිදු කර ගැනීම සාමාන්‍ය දෙයක් වෙයි. එමෙන්ම ශල්‍යකර්මවලට ද මුහුණ දීමට සිදුවිය හැකිය. මොවුන්ට ඉක්මනින් තරහ එන අතර කෝපය පාලනය කර ගැනීමට උනන්දු විය යුතුයි. හොඳ තර්කන හැකියාවක් ඇත. තමාගේ අදහස් අන් අයට හොඳීන් තේරුම් කර දීමට ද පුළුවනි. පරාර්ථකාමී ගතිය සහ අන් අයට සහයෝගය ලබාදීම මොවුන්ගේ යහපත් ලක්ෂණ වේ. මොවුන්ගේ ගෘහ ජිවිතයද තරමක් ගැටීම් සහිත එකක් වෙයි. තමන්ව විවේචනය කරනවාට කැමැති නැත. ඉතාමත් හොඳ සංවිධාන ශක්තියක් ද මොවුන්ට තිබේ. උපදේශනයට ද දක්ෂතාවයක් මොවුන්ට ඇත. විශ්වාසය සහ අනුකම්පාව වෙනුවෙන් ඕනම දෙයක් කරයි. මොවුන් ස්ත්‍රී මායම්වලට පහසුවෙන් හසු වීමේ හැකියාව ඇත.

හොඳ එඩිතර භාවයක් ඇති ජන්ම අංක නමය හිමියන් ජීවිත අවදානමක් ගෙන වුවද ඕනෑ දෙයක් කිරීමට බය නැත. හිත සංසුන්ව තබා ගැනීමට උනන්දු විය යුතු අතර විවාහ ජීවිත තුළ බොහොම කල්පනාවෙන් ඉවසීමෙන් කටයුතු කිරීම ඉතා වැදගත් වේ. වයස යාමේදී ඉක්මනින් දුර්වල භාවයට පත්වීමේ හැකියාව පවතින නිසා තරුණ බවත් මනා සෞඛ්‍යයත් ආරක්ෂා කර ගැනීමට මුල සිටම කටයුතු කළ යුතුය. එමෙන්ම තරුණ කාලය තුළදී වසවිස ශරීරගත වීමෙන් ද මොවුන් වඩාත් ප්‍රවේශම් වීම වැදගත් වෙයි. එමෙන්ම ගින්දර විදුලිය සහ පුපුරන ද්‍රව්‍ය වැනි දේවලින් වඩාත් ප්‍රවේශම් වීම ඉතා අවශ්‍ය වෙයි. ඒ වගේම සතුන්ගෙන්ද ප්‍රවේශම් වීමට වගබලා ගන්න.

මොවුනට මඟ පෙන්විය හැකි යහපත් මිතුරකු ලැබෙන්නේ වයස අවුරුදු 30 න් පසුවය. ඔබ ඉතාමත් බුද්ධියෙන් සිතා බලා කටයුතු කළ යුතු අතර ආත්ම ගරුත්වය ගැන අනවශ්‍ය ලෙස සිතීම පාලනය කළ යුතුය. ඔබ අනුන්ගේ වැරදි කතා නොකළ යුතු අතර ප්‍රියමනාප ලෙස ජීවත් වීමට හුරුවීම හොඳයි. උපන්දින අංක 9 හිමි අයට ගැළපෙන යහපත් වර්ෂ වන්නේ නමය 3 6 9 18 27 36 45 54 63 72 යන වර්ෂ වන අතර ඔබගේ ජීවිතයේ ඉතාමත් වැදගත් සැලසුම් මේ කාලවල යොදා ගැනීම තුළින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකිය. එසේම මාසයක් තුළ යෙදෙන ඉහත දිනයන්ද සුබපල දෙන දින වෙයි.

ආර්ථිකමය වශයෙන් ඉතාමත් වාසනාවන්ත පුද්ගලයන් බවට මොවුන්ට පත්විය හැකිය. මුදල් හම්බ කිරීමට ඉතාමත් දක්ෂ වෙයි. එමෙන්ම හිතුමතේ වියදම් කිරීම ද දක්නට ලැබෙයි. විශේෂයෙන් අංක නවයෙන් උපන් පිරිමි ස්ත්‍රීන් වෙනුවෙන් අත දිගහැර වියදම් කරයි. මොවුන්ට දේපළ වෙළෙඳාම වගේම ව්‍යාපාර ද ඉතාමත් හොඳීන් පල දේ. විශේෂ ව්‍යාපාර වශයෙන් ඉඩකඩම් සහ දේපළ වෙළෙඳාම, යාන වාහන අමතර කොටස්, විවිධ තාක්ෂණික යන්ත්‍රෝපකරණ ආදිය වෙළෙඳාම ගැළපෙන අතර ආරක්ෂක අංශය, විශාල ව්‍යාපාරික ස්ථාන පාලන කටයුතු, විධායක ශ්‍රේණියේ තනතුරු, ආදියද හොඳීන් ගැළපේ. වකුගඩු සහ මුත්‍රා ආබාධ සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් විය යුතු අතර හෘදයාබාධ සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කළ යුතුය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.