නායකත්වයට උපන් හපන් ජන්ම අංක 1 හිමි ඔබ

ඔක්තෝබර් 18, 2024

මාසය කුමක් වුණත් ඔබ ඉපදුණේ 1, 10, 19, 28 යන දිනයක නම් ඔබගේ ජන්ම අංකය වන්නේ අංක 01 යි. ජන්ම අංක එකෙන් උපත ලබන අය රවි ග්‍රහයාගේ ශක්ති බලයට යටත්ව ක්‍රියාත්මක වෙයි. එමගින් ඔවුන් තුළින් කැපී පෙනෙන විශේෂ ලක්ෂණ ගණනාවක් හඳුනා ගැනීමට පුළුවන්. ඒවා නම් ස්වාධීන බව, ඕනෑම තැනක ප්‍රකට ලෙස කැපී පෙනෙන ගතිය, ස්වාධීන නිදහස්කාමී සිතිවිලි තිබීම, ඕනෑම දෙයක් ඉතා හොඳීන් කළමනාකරණය කිරීමේ හැකියාව, කොතැන කොයි කටයුත්තේදීත් මූලිකත්වය ගෙන ක්‍රියා කිරීම, හොඳ පාලන හැකියාවක් වගේම නායකත්ව ගති ලක්ෂණ පිහිටා තිබීම, තමන්ගෙ දියුණුව වෙනුවෙන් කැපවීම, නිශ්චිත ඉලක්කයක් වෙනුවෙන් වැඩ කිරීම, ආදිය මූලික වශයෙන් පෙන්වා දිය හැකිය.

ජන්ම අංක එකෙන් උපන් අය තරමක් ආඩම්බර ගති පෙන්වන අතර තමාගේ ආත්ම ගරුත්වය පිළිබඳව ද තදින් හිතයි. ජීවිතයේ සෑම දෙයක් ගැනම ධනාත්මකව සිතන ඔවුන් ලස්සන ජීවිතයක් ප්‍රාර්ථනා කරයි. එමෙන්ම ඕනෑම අභියෝගයකට බය නැතිව මුහුණ දෙන අතර තම පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමට ද කටයුතු කරයි. ජන්ම අංක එකෙන් උපන් අය සමාජයේ දී මෙන්ම යහළුවන් අතර ද මූලිකත්වය ගෙන කටයුතු කරන අතර කොතැනකට ගියත් විශේෂ පුද්ගලයකු ලෙස කැපී පෙනෙයි.

නිරෝගීමත් ශක්තිමත් තරමක් උස ශරීරයකට උරුමකම් කියන ඔවුන් කාගේත් සිත් දිනා ගැනීමට සමත් ප්‍රියමනාප පුද්ගලයෝ වෙති. පිරිස් පාලන හැකියාව හා නායකත්වය දැරීමේ හැකියාව උපතින්ම ලැබී තිබෙයි. මොවුන් නිතරම සාධාරණත්වය අගය කරන අතර අසාධාරණයට විරුද්ධව නැගී සිටී. ඒ වගේම සමහර අවස්ථාවලදී කේන්ති ගැනීම නිසා කටයුතු අවුල් කරගනී. බොහෝවිට පවුලේ කැපී පෙනෙන පුද්ගලයකු ලෙස වගකීම් දැරීමටද සිදු වෙයි. ඕනෑම ගැටලුකාරී අවස්ථාවක දී කෙසේ හෝ එය සමතයකට පත් කර ගැනීමට ද හැකියාව පවතියි.

මොවුන් බොහෝවිට බුද්ධිමත් පුද්ගලයින් වන අතර උසස් සිතුවිලි වලින්ද යුක්ත අය වෙයි. තම කටයුතු ඉතාමත් උවමනාවෙන් සහ කැපවීමෙන් ඉටුකරන ඔවුන් තුළින් අවංකකම ප්‍රකටව පෙනෙන නිසා අන් අයගේ අවධානයට නිතර යොමු වෙයි. හැමවිටම තමන් කරන දේ නිවැරැදිවත් අවංකවත් ඉටු කිරීමට උත්සාහ ගනී. මේ නිසාම ජීවිතයේ බොහෝ ජයග්‍රහණයන් අත් විඳීමටත් අන් අයගේ ඇගයීමට ලක්වීමටත් අවස්ථාව ලැබෙයි.

මොවුන්ට අන් අයව මෙහෙයවීමේ හා පාලනය කිරීමේ සහජ හැකියාවක් පවතින අතර අන් අය තුළ මොවුන්ට සවන්දීම හා අවනත ගතියක් නිරායාසයෙන් ඇති කරයි. ඉතාමත් දක්ෂ ලෙස උපක්‍රමශීලීව සෑම දෙයක් ගැනම විමසිල්ලෙන් කටයුතු කරන මොවුහු තැනට සුදුසු ලෙස තීරණ ගැනීමට දක්ෂයෝ වෙති. තමන්ගේ තනි මතයට අනුව වැඩිදුර නොසිතා ඉක්මන් තීරණ ගැනීම මේ අයගේ ප්‍රධාන දුර්වලතාවයක් වන අතර ආවේගශීලීව ක්‍රියා කරන ගතිය ගතිය ද අඩු කර ගැනීමට උත්සාහ කළ යුතුයි. දුරදිග නොබලා ගනු ලබන ක්ෂණික තීරණ නිසා සමහර විට ප්‍රශ්න ගැටලු ද ඇති කර ගනියි. සමහර වෙලාවට තමා ගත් මතය වෙනස් නොකිරීම ද දුර්වලතාවයක් වෙයි. ඔබ අවශ්‍ය අවස්ථාවලදී නම්‍යශීලී වීමට මතක තබා ගැනීම හොඳයි.

රැකියාවේ හෝ ව්‍යාපාරික කටයුතුවලදී මහන්සි වී කැපවීමෙන් ක්‍රියා කරන මොවුන්ට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට වාසනාව තිබේ. එහෙත් උපයන මුදල් ප්‍රවේශම් කර ගැනීමට සමත් නොවීම දුර්වලතාවයක් ලෙස පෙන්වා දිය හැකි අතර අනවශ්‍ය වියදම් පාලනය හා ආයෝජනවලට මුදල් යෙදවීමේදී කල්පනාකාරීව ක්‍රියා කිරීම සුදුසු වේ. වියදම් කිරීමට ගිය කළ අත දිග හැර වියදම් කිරීම මොවුන්ගේ සිරිතයි. ආර්ථික වශයෙන් ජීවිතය පුරාම විවිධ උස්පහත් වීම්වලට ලක්වන ඔබ මුදල් අතින් ස්ථාවර වීමට පටන් ගන්නේ මැදි වයසට ආසන්න වන විට ය. බොහෝ විට වයස අවුරුදු 35 න් පමණ පසුව දියුණුව සහ ස්ථාවරත්වයක් ඇති කරයි.

ඔබ ආදරය කිරීමට මෙන්ම ආදරේ ලැබීමටද වාසනාවන්තය. ඔබට ප්‍රේම සබඳතා කිහිපයකම විවිධ අත්දැකීම් ලැබීමට සිදුවනු නොඅනුමානය. ආදරයේ සුන්දරත්වය මෙන්ම වේදනාවද ඔබ හොඳට දන්නවා ඇත. ඔබ වඩාත් කැමති වන්නේ ඔබගේ අදහස්වලට එකඟව කටයුතු කරන ඔබට ගෞරවයක් දක්වන පෙම්වතෙකුට හෝ පෙම්වතියකටයි. ඇය හෝ ඔහු ඔබ ළඟම රැඳෙමින් ඔබට අවනතව සිටිනවා නම් ඊට වඩා දෙයක් ඔබ බලාපොරොත්තු නොවෙයි. එහෙත් ඔබගේ හදවතේ තිබෙන තරමට ආදරය ප්‍රදර්ශනය කිරීමට ඔබ අපොහොසත් වෙයි.

විවාහ ජීවිතයේදී සංවේදීව කටයුතු කරන ඔබ තම බිරිඳ හෝ සැමියා සහ දරුවන් වෙනුවෙන් අවශ්‍ය කටයුතු නොපිරිහෙලා ඉටුකරන අතර තම පවුල සහ පවුලේ ගෞරවය රැක ගැනීමටද කටයුතු කරයි. ඔබ ඔබේ පවුලට ආදරණීය කෙනකු වනු ඇත.

සමාජශීලී පුද්ගලයකු වන ඔබ මිතුරු ඇසුර ද බොහෝ සේ ප්‍රිය කරයි. ඔවුන් වෙනුවෙන් ද අවශ්‍ය කටයුතු කර දීම ඔබේ සිරිතයි. එහෙත් ඔබ වඩාත් ඇසුරු කිරීමට ප්‍රිය කරන්නේ උගත් බුද්ධිමත් හෝ තරමක් උසස් මට්ටමේ මිනිසුන්ය.

අනුන් යටතේ කරන රැකියා ව්‍යාපාරවලට ඔබ එතරම් කැමති නොවන අතර එකම රැකියා ස්ථානයේ දීර්ඝ කාලයක් එසේ රැඳී සිටීමට ලැබෙන්නේ කලාතුරකිනි. ඔබට වඩාත් සුදුසු වන්නේ ඔබට ප්‍රධානත්වය හෝ පාලනය කළ හැකි රැකියා ව්‍යාපාර හෝ ආයතනයි. එවැනි තැන්වල ඔබ බොහෝ කල් රැඳී සිටියි. තමන්ගේම ස්වයං රැකියා ව්‍යාපාර ද සාර්ථක කරගත හැකිය. විශේෂයෙන් ජන්ම අංක එකෙන් උපන් බොහෝ දෙනකුට රාජ්‍ය අංශයේ රැකියා ලැබීමේ වාසනාව පවතී. බොහෝවිට පරිපාලන කටයුතුවලට සම්බන්ධ වීමේ හැකියාව ද පවතී. සෞන්දර්ය අංශයට සම්බන්ධ හෝ ඉංජිනේරු, අධ්‍යාපන ආදී ක්ෂේත්‍රවල ඔවුන් බොහෝ විට දැකිය හැකි වෙයි. මීට අමතරව විදුලි කාර්මික අංශය, නීතිඥ වෘත්තිය හා ජනමාධ්‍ය අංශය ඔවුන්ට වඩාත් පලදෙන රැකියාවන් වෙයි.

ඔබගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් කතා කරන විට රුධිරය හා සම්බන්ධ රෝග, අධි රුධිර පීඩනය, උෂ්ණගත රෝග, ස්නායු පද්ධතියේ ආබාධ, බඩවැල් ආශ්‍රිත රෝග, පාදවල ආබාධ, ඇස්වල පෙනීමේ දුර්වලතා, හෘදයාබාධ, වැනි රෝග සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු අතර වෛද්‍ය පරීක්ෂණවලට වරින් වර පෙනී සිටිමින් එවැනි රෝග තත්ත්වයන් පිළිබඳ පරික්ෂා කර ගැනීම වඩා සුදුසු වේ. ඔබගේ නිරෝගිභාවය සඳහා උෂ්ණ ආහාර ගැනීමෙන් වැළකිය යුතු අතර ජලය වැඩිපුර පානය කිරීම පුරුද්දක් කර ගන්න. හැකි සෑම විටම සීතල ආහාර හා පළා වර්ග හැකි තරම් එකතු කරගැනීම හොඳ අතර මස් මාළු ආහාරයට ගැනීම සීමා කිරීම ඉතා යහපත් වෙයි.

ඕනෑම වර්ෂයක ජූලි 15 සිට අගෝස්තු 20 දක්වා කාලය බොහෝ යහපත් කටයුතු සිදු කළ හැකි සාර්ථකත්වය ඇති කරන කාලයක් වෙයි. එමෙන්ම ඔබට වයස අවුරුදු 19, 28, 37, 46, 55, 64, 73, ජයග්‍රාහී දියුණුව ඇති කරන වර්ෂ වෙන අතර ඕනෑම මාසයක 1, 4, 10, 13, 19, 22, 28, 31 යන දිනයන් සුබ කටයුතුවලට යොදා ගැනීමෙන් සාර්ථක පල ලැබිය හැකිය.

ඔබට වඩාත් සුබදායක සතියේ දවස් වන්නේ ඉරිදා සහ සඳුදා දිනයන් ය. ඉහත සුබ දිනයකට සුබ දවසකුත් යෙදේ නම් වැඩි සාර්ථකත්වයක් හා සුබපල ලබාගත හැකිය. ඕනෑම මාසයක 7, 16, 25 දින අයහපත් දින වන අතර 7,16, 25, 34, 43, 52, 61, 70 යන වර්ෂ අයහපත් පල දෙන වර්ෂ වෙයි. එවැනි දින කාල වකවානු සුබ කටයුතු සඳහා යොදාගැනීම හැකිතරම් මඟහැරීම වඩාත් සුදුසු වෙයි. මේ කාරණාවන් සම්බන්ධයෙන් අවධානය යොමු කොට කටයුතු කිරීමෙන් ඔබගේ බොහෝ කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙන බව සඳහන් කළ හැකිය.

(ඕනෑම මාසයක 2, 11, 20, 29 දිනවල උපන් අයගේ ජීවන තොරතුරු ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න.)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.