ඉදිරියටම යන දිරිමත් ඔබත් තුලා ලග්නයේද?

සැප්තැම්බර් 27, 2024

මානව කටයුතු කෙරෙහි ඡ්‍යොතිෂයෙහි බලපෑම ගවේෂණයේදී තරු ලකුණුවලට ප්‍රමුඛ ස්ථානයක් හිමිවෙනවා.

දේශපාලන කලා ආදී ක්ෂේත්‍රයන් ජයගත් බොහෝ පුද්ගලයන්ගේ සාර්ථකත්වය පිටුපස මේ තරු ලකුණු පවතින බව නොරහසක්. අද තරු ගැන කියන තරු තුළින් කතා කරන්නේ තුලා ලග්න හිමි ඔබ ගැනයි.

චර ගුණයෙන් යුක්ත වූ තුලා ලග්න හිමියන් සාමාන්‍ය ප්‍රමාණයේ වැඩුණු සිහින් වූ ශරීරයක් ඇති ප්‍රියමනාප පුද්ගලයන් වෙනවා. මධ්‍යස්ථ ගතිගුණවලින් හෙබි කරුණාවන්ත අන්‍යයන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන මේ අය සමාජයට හිතවත්. ඒ වගේම මනුෂ්‍යත්වයට ගරු කරන පරාර්ථයට ප්‍රිය කරන පුද්ගලයන් ද වනවා.

තවත් විටෙක සාමය අගයන එහෙත් තර්කයට බර පුද්ගලයන් වනවා. ඉක්මනින් තරහ සංසිඳෙන මොවුන් තුළ උසස් සිතිවිලි ජනිත වනවා. මේ තුලා ලග්නයෙන්ද බොහෝ නම ගිය පුද්ගලයන් ජන්මය ලබා තිබෙනවා. නිරන්තරයෙන්ම කතාබහට ලක්වන දේශපාලන ක්ෂේත්‍රයේ මහා මොළකරුවන් බිහිකරන්නට ද තුලා ලග්නයේ ආලෝකය බලපා තිබෙනවා.

වර්ෂ 1869 ඔක්තෝබර් මස 02 වැනිදා ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ජන්මය ලැබූ දිවංගත මහත්මා ගාන්ධිතුමා තුලා ලග්න හිමිකාරයෙක්. දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් පෙනී සිටි දේශපාලන ක්‍රියාකාරිකයකු වූ මහත්මා ගාන්ධිතුමා බ්‍රිතාන්‍ය පාලනයෙන් ඉන්දියාවට නිදහස දිනා ගැනීමට අන්ත දිළින්දන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කළා. මනුෂ්‍යත්වයට ගරු කරන පරාර්ථය රුචි කරන තුලා ලග්න හිමිකාරයකු සතු ගතිගුණ මෙතුමා තුළින් ප්‍රකට වෙනවා. අවිහිංසාවාදය මුල් කරගත් විරෝධතාවට ඔහු ගෙන දුන් නිදර්ශන අද පවා ලෝකයේ ගෞරවයට පාත්‍රව තිබෙනවා. මෙතුමාට ජීවිතයේ සාර්ථකත්වය ස්පර්ශ කරන්නට තුලා ලග්නයේ ආශිර්වාදය ලැබී ඇති බවට ඡ්‍යොතිෂවේදීන් පවසනවා.

පස් වතාවක්ම රුසියාවේ ජනාධිපති වූ ව්ලැදිමීර් පුටීන් ද තුලා ලග්න හිමිකාරයකු බව ඔබ දැන සිටියාද? සුබසෙතට සමීප ඡ්‍යොතිෂවේදී උදම් පෙරේරා පවසන්නේ එතුමාගේ තුලා ලග්න කේන්දරේ දොළොස් වැන්නාධිපති බුධ එහිම පතිතව වර්ගෝත්තම බලයද ලබා ගනිමින් පදවි ලාභ ලබාදෙන විමල නම් විපරීත රාජ යෝගය පිහිටීම පුටින්ට රාජ්‍ය බලය ලබා ගැනීමට මහෝපකාරී වී ඇති බවයි. චර ගුණයෙන් යුක්ත වූ උසස් සිතිවිලි සහිත තුලා ලග්න හිමියකු සතු ගති ලක්ෂණ ඔහුගේ චරිතය තුළින්ද ප්‍රකට වනවා.

සංගීතය කියන්නේ මිනිසා සනසන නළවන දෙයක්. බොලිවුඩ් ඉතිහාසයේ ජනප්‍රියම පසුබිම් ගායිකාව වන ලතා මංගේෂ්කාර් ද 1929 සැප්තැම්බර් මස 28 වැනිදා ජන්මය ලබන්නේ තුලා ලග්නයෙන් බව දැනගත්තාම ඔබ සතුටු වනු ඇති. ඇගේ වෘත්තීය ජීවිතය පුරා සංගීතය වෙනුවෙන් ඇය කළ කැපවීම නිසාම ඉන්දියාවේ ගීත කෝකිලාවිය ලෙසින් ද හඳුන්වනවා. කොයි කවුරුත් ආදරය කරන හඬක් ලබන්නට ඇයට උත්පත්තිය ලැබූ ලග්නයත් බලපාන්නට ඇති. ගායන දිවියේ මෙන්ම පෞද්ගලික ජීවිතේ ද වෙනස්කම් සිදුවන්නට තුලා ලග්නය බලපෑ බව බොහෝ ඡ්‍යොතිර්වේදීන් අනාවරණය කරනවා.

බොලිවුඩ් සිනමාව හැඩ කළ සුපිරි ඉන්දීය නළු අමිතාබ් බච්චන් 1942 ඔක්තෝම්බර් මස11 වැනිදා උත්පත්තිය ලබන්නේ තුලා ලග්නයෙන්. ඉන්දියානු සිනමාවේ සියලු නළුවන් අභිබවා තම නම ඉහළ තලයකට ගෙන ගිය සුපිරි නළුවෙකු ලෙස සැලකෙන අමිතාබ් බච්චන් රසිකයන් පිළිගන්නේ ඉන්දීය සිනමාවේ අධිරාජයා ලෙසයි. වෘත්තීය මෙන්ම පෞද්ගලික ජීවිතයේ බොහෝ සාර්ථකත්වයන් ලබාගත් ඔහුට තුලා ලගනයේ ආලෝකය නොමඳව ලැබී තිබෙන බව නොරහසක්. තුලා ලග්න හිමිකාරයෙකු වන ඔහු ඡ්‍යොතිෂය ඉහළින්ම විශ්වාස කරන බොලිවුඩ් තරුවක් වනවා.

සිකුරු ග්‍රහයා විසින් පාලනය වන තුලා ලග්න පුද්ගලයන් සාමාන්‍යයෙන් චිත්‍ර, සංගීතය, රංගනය ප්‍රිය කරන අය වෙනවා. ඒ අතර 1954 ඔක්තෝබර් 10 වැනිදා උපන් සම්මානනීය නිළි රේඛාද තුලාවෙන් ජන්මය ලබනවා. එවකට දෙමළ සිනමාවේ ප්‍රකට නළු ජෙමිනි ගනේෂන් ඇයගේ පියායි. ඇය ළමා නිළියක ලෙස 1966 දී රංගුල රත්නම් චිත්‍රපටයෙන් රංගන ක්ෂේත්‍රයට පිවිසුණා. කුඩා කල සිටම අන්‍යයන් සමඟ සහයෝගයෙන් කටයුතු කරීමේ තුලා ලග්න හිමිකානියක් සතු ලක්ෂණ ඇයට තිබුණා. සිනමාවේ ආකර්ෂණීය නිළියක වන රේඛාගේ දෝ අංජානේ, කුබ්සූරත් ප්‍රසිද්ධ චිත්‍රපට අතර වෙනවා. ඇයගේ පෞද්ගලික මෙන්ම වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය හඹා යෑමට ඇයට තුලා ලග්නය පිටිවහල් වූ බව ඇගේ විශ්වාසයයි.

ඉන්දීය සිනමාවේ ජනකාන්ත නළු ධර්මේන්ද්‍රගේ වැඩිමහල් පුත් සනී ඩියෝල් ද තුලා ලග්නයේ ආලෝකය ලබා 80 දශකයේ සිට මේ දක්වා ඉන්දීය සිනමාවේ නමක් දරා ගත් රංගන ශිල්පියෙක්. ඔහු ඉපදෙන්නේ 1957 ඔක්තෝබර් මස 19 වැනිදා. ත්‍රිදේව්, බෝඩර්, ගායල් වැනි චිත්‍රපට රාශියකට ඔහුගේ රංගන දායකත්වය ලබා දී තිබෙනවා. ඔහු රංගනය පමණක්ම නොව අධ්‍යක්ෂණයෙන් ද සිනමාවට දායක වුණා. ඒ වගේම ඔහු ඉන්දීය දේශපාලනයටත් සම්බන්ධ බවයි පැවසෙන්නේ. ඔහුගේ ජීවිතයේ සාර්ථකත්වය ලබා ගන්නට තුලා ලග්නය හේතු වූ බවට සිතිය හැකියි.

බොලිවුයේ බොහෝ දෙනා කතා කරන කඩවසම් නළුවෙක් රන්බීර් කපූර් ද 1982 සැප්තැම්බර් මස 28 වැනිදා තුලා ලග්නයෙන් ජන්මය ලබා තිබෙනවා. හින්දි සිනමාවේ ජනප්‍රිය නළු නිළි යුවළකගේ පුත්‍රයා වන රන්බීර් කපූර්ට ඉහළම වැටුප් ලබන තරුවක් වීමට පුරුෂ රාශියක් වූ තුලා ලග්නයේ ආලෝකය නොඅඩුව ලැබී තිබෙන බව ඡ්‍යොතිර්වේදීන් විශ්වාස කරනවා. අංජනා අංජානි, යේ ජවානී හේ දිවානේ ඔහුගේ ජනප්‍රිය චිත්‍රපට අතරින් කිහිපයක්.

එමෙන්ම ශ්‍රී ලාංකීය ජනප්‍රිය නළු දර්ශන් තවරාජ් ද තුලා ලග්න හිමිකාරයෙක් වනවා. ලංකාවේ ප්‍රධාන දෙමළ නාළිකා අටක පමණ සේවය කළ ඔහු නිරූපණ ක්ෂේත්‍රයේ මෙන්ම රංගන ක්ෂේත්‍රයේද ඉහළට යමින් සිටින තරුණයකු වනවා.

ඔහුගේ ජීවිතයේ බොහෝ තැන් සාර්ථක කර ගන්නට තුලා ලග්නය පිටිවහල් වූ බව ඔහුගේ විශ්වාසයයි. හිතුවක්කාර, සිඳු 2, සීයූ ඔහුගේ ජනප්‍රිය නාට්‍ය අතර වෙනවා.

ඔබ තුලා ලග්න හිමියෙකු නම් , ඔබ තුළ පවතින මෙවැනි ගතිගුණ හඳුනාගෙන ජීවිතයේ ඉදිරියටම යන්නට අදිටන් කරගන්න.

ඡායාරූප අන්තර්ජාලයෙනි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.