හෙණ හඬට අවදි වූ මිය ගිය සුරූපිනිය

ඩ්‍රැකියුලාගේ මිටියාවත - 2
සැප්තැම්බර් 13, 2024

 

මෙතෙක් කතාව

සංචාරකයකු මෙන්ම ලේඛකයකුද වන එක්තරා පුද්ගලයකු ජර්මනියේ ප්‍රාදේශීය හෝටලයක ලැගුම් ගන්නා අතර සවස් යාමයේ වට පිටාවේ ඇවිදින්නට යයි. මේ ගමනේදී එක්තරා සුන්දර මිටියාවතක් දකින ඔහු ඒ කරා පිය නඟන්නේ තම රියදුරාගේ බලවත් විරෝධය මධ්‍යයේය. ඒ මිටියාවත මළවුන්ගේ ආධිපත්‍යයට නතු වූවකි.

මා රැගෙන ආ රියදුරා පැවසූ පරිදි මැදියම් රැය එළැඹෙත්ම සිය මිනී වළවල් තුළින් නැඟිට මිනිස් රුධිරය සොයා ඇදී එන භූතාත්මයෝ සැරිසරන්නේ මෙහි ය. ඒ බව යළි යළිත් සනාථ කරන්නට මෙන් එක්වරම වේගවත් සුළං රැල්ලක් හමා ගියේ වෘකයින්ගේ උඩු බිරුම්ලෑමට සමාන ශබ්දයක් පිට කරමිනි.

ඒ සමඟම හදවතෙහි ක්ෂණික තිගැස්මක් ඇති වුවද, එය මා බියට පත් කරවන්නට තරම් ප්‍රමාණවත් වූයේ නැත. එහෙත් දේශගුණයේ කුරිරු භාවය හේතුකොටගෙන ශාරීරිකව හා මානසිකව පීඩාවට ලක් වෙමින් සිටියෙමි. එසේ වුව ද, සඳ එළිය පතිතව සුදු පැහැයෙන් දිස්වන කිරි ගරුඬ සොහොන් කොත කවරෙක්ගේදැ'යි විමසා බැලීමේ කුතුහලය මැඩගත නොහැකි ලෙසින් මා තුළ නැඟී එන්නට විය.

ඒ වෙත ළඟා වූ මට පෙනී ගියේ එහි ඉදිරිපසින් සහ පසු පසින් වදන් කීපයක් ලියා ඇති බවය. සඳ එළියේ උපකාරයෙන් කියවාගත හැකි වූ පරිදි ඒවා මෙසේ ය. ඩොලින් ජෙන් ආදිපාදවරිය, ස්ටීරියා ප්‍රදේශය, අභාවය -1801 මේ ආකාරයට සොහොන් ගැබ ඉදිරිපසෙහි සටහන්ව තිබූ අතර, පසුපසින් වූයේ මෙවැන්නකි. එනම් “මරණය ඉතා වේගයෙන් ගමන් කරමින් තිබේ” යන්නය.

මේ සමඟම මට එක්වර සිහිපත් වූයේ මා දැන් සිටින්නේ, මහලු අස් රථ රියදුරා පැවසූ මළවුන්ගේ මිටියාවතෙහි නොවේද යන්න ය. මේ මා සිටින්නේ කන්ද මත මාර්ගයෙහිදී දක්නට ලැබුණු සිය දිවි නසා ගන්නාවුන් වළ දමා ඇති කුරුස හන්දියේය. වොල්පුර්ගීස් නම් මේ භයංකාර මිටියාවත ගැන දන්නා කියන ජනතාව විශ්වාස කරන පරිදි, මෙය මිනී වළවල් තුළින් අවදිවන මළවුන් ජීවත්ව සිටින්නන්ගේ රුධිරය සොයා ඇවිද යන තවත් එක් රාත්‍රියකි.

මේ මොහොතේ එක් ක්ෂණයක් තුළ අසාමාන්‍ය හිම කුණාටුවක් සුළියක් මෙන් කැරකෙමින් හමා ආවේය. එය මොන ආකාරයකින්වත් මුහුණ දිය හැකි එකක් නොවුණේ ඇද වැටෙන හිම පියලි අසාමාන්‍ය ලෙස විශාලව පැවැති බැවිනි. මා වටා වූ සයිප්‍රස් ගස්වල අතු පතරට ඉන් පහර වැදුණේ, මා හට ප්‍රවේසම් වන ලෙස අනතුරු හඟවන්නාක් බඳු හඬක් නගමිනි. ශීතලෙන් ගල් වී මිය පරලොව යෑමෙන් බේරීම මේ වන විට මගේ අරමුණ වී තිබිණි.

එසේ වුවද නොනවත්වාම පහර දෙන මේ රුදුරු හිම කුණාටුවෙන් බේරෙනු පිණිස තිබූ එකම පිළිසරණ, නැතිනම් ආවරණය වූයේ සොහොන් ගැබෙහි දොරකඩ පමණි. දොරකඩ අසල බිම හිඳගත් මා, හැඳ සිටි කුඩා කබායද පොරවාගෙන, වකුටු වූයේ එහි දොරට හේත්තු වෙමිනි. ලෝහමය තහඩුවකින් නිමවා තිබූ සොහොන් ගැබෙහි දොරටුව මගේ බර හේතුවෙන් ඇතුළට විවෘතව ගියේ ඉමහත් අද්භූත හැඟීමක් මා තුළ ජනිත කරවමිනි. එහෙත් ඒ මොහොත වන විට පිටත පරිසරයේ තත්ත්වය කොතෙක් අයහපත් වීද යත්, එක මොහොතකු ද කල්පනා නොකරමින් මම සොහොන් ගෙය තුළට ඇතුළු වූයෙමි.

ඒ සැණින් ඇති වූ එක පිට එකක් ලෙසින් වූ විදුලි කෙටීම්වල ආලෝකයෙන් මා හට දැකගත හැකි වූයේ මේ දැන් මිය ගියාක් බඳු පෙනුමකින් යුත් කාන්තාවකගේ සිරුරක් එතුළ වු කිරි ගරුඬ පුවරුව මත සතපවා තිබෙන අයුරු ය.

හිත කීරි ගැස්සෙන බලවත් සංත්‍රාසයක් මධ්‍යයේ වුවද, නිරන්තරෙයන් කොටන විදුලියේ ආධාරයෙන් දකගත හැකි වූ විශේෂ කරුණක් වූයේ ඇයගේ දෙතොළඟ ද රක්ත වර්ණ රුධිරයෙන් තෙත්ව ඇති බව ය.

එසැණින් මුළු මිටියාවතම උඩු යටිකුරු කරවන හඬකින් අකුණක් පිපිරී ගියේ, යෝධයකු විසින් සිදුකළ දෙයක් පරිද්දෙන් මා සොහොන් ගැබෙන් එළියටද විසිකර දමමිනි. එසැණින්ම නොනැවතී ඇද වැටෙන හිම කැට ප්‍රහාරයකට ලක්ව මම බිම ඇද වැටුණෙමි. එසේ වුවද තවමත් ඉතිරිව පැවැති සිහි කල්පනාව හේතුවෙන් මට දැනී ගියේ තවත් කිසිවෙකු හෝ මේ අවට සිටින්නේ යයි හැඟීමකි.

එහෙත් ඒ සිතිවිල්ලට වැඩෙන්නට ඉඩ නොදී පළාතම දෙවනත් කරමින් ගැසූ අකුණු පහරක් නිසා ඇති වූයේ මොහොතකට දෙඇස් අඳ කරවන සුලු අසීමිත දීප්තියකි. සොහොන් ගැබෙහි ලෝහමය දොරටුවට වැදුණු එම අකුණු පහර සිතාගත නොහැකි නිමේෂයකින් සොහොන් ගැබ කුඩු පට්ටම් කර දමනු ලැබුවේ මහා අග්නි ජාලාවක් ඇති කරවමිනි.

මේ ගිනි ජාලාව මධ්‍යයෙන් සොහොන් ගැබ තුළ වැතිර සිටි කාන්තාවගේ මළ මිනිය නැගිට ගත්තේ සියොළඟම කිළිපොළා යන ආකාරයේ විලාපයක් නඟමිනි. කුණාටුව නිසා සුණු විසුණු වූ කිරි ගරුඬ කැබලි ඇය වටා වළාවක් සේ විසිර යමින් පැවතිණි.

ඒ සමඟම ඇති වූ මගේ සිහි කල්පනාවේ අවුල් සහගත තත්ත්වයත් සමඟ මට හැඟී ගියේ යෝධ ශක්තියක් ඇති යමෙකු විසින් මා මේ අග්නි ජාලාව ඇති තැනින් ඔබ්බට ඇදගෙන යන බවකි. මේ අයුරින් ඇදී යමින් සිටි මගේ දෙසවනෙහි පතිත වූයේ මේ පළාතේ නොසිටින්නේ යයි අසන්නට ලැබුණු වෘකයන් සමූහයකගේ උඩු බුරලෑමකි. ඉන් අනතුරුව මට අත් දකින්නට ලැබුණේ ඉතිරිව තිබූ සිහි කල්පනාව ද සම්පූර්ණයෙන් ම විකල්ව යන අන්දමේ දර්ශනයකි. එය නම් සොහොන් පිටියේ මා වටා වූ සියලු මිනී වළවල නිද්‍රෝපතව සිටි මළමිනී අවදිව කලකින් දක්නට ලැබුණු මනුෂ්‍ය ප්‍රාණියාගේ රුධිරය උරා බොනු පිණිස මා වෙත ඇදී එන අයුරුය. ඒ දර්ශනයත් සමඟ සියල්ල අන්ධකාරයේ ගිලී ගියේ ය.

දෙඇස් ඇර බැලීමට තරම්වත් ශක්තියක් නොමැති තරමට හෙම්බත් ව සිටි මම යළිත් දැඩි නින්දකට පත් වූයෙමි. බොහෝ කාලයක් තිස්සේ මා දීර්ඝ නිද්‍රාවකට පත් වී සිටින්නට ඇතැයි යන හැඟීමත් සමඟ අවදි වූ මා හට පළමුවෙන් ම දැනෙන්නට වූ හැඟීම වූයේ මගේ හදවත ආසන්නයෙන් තවත් උණුසුම් හදවතක් ස්පන්දනය වන අයුරු ය.

ඒ සමඟම මගේ ගෙල පෙදෙස රළු දිවකින් පිරි මැදීමේදී ජනිත වන උණුසුම ද සිරුරට දැනෙන්නට පටන් ගත්තේ ය. කෙමෙන් දැස් විවර කළ මා පළමුවෙන් ම දුටුවේ සඳ කැල්මෙන් දිදුලන දැවැන්ත වෘකයෙකුගේ දෙඇස ය. ලේ රතුවන මුව තුළ වූ කිරි සුදු පැහැති දත් පෙන්වා ලමින් මේ බියකරු තිරිසන් සත්ත්වයා තව දුරටත් මගේ පපුව මතට වී මා උණුසුම් කරමින් සිටියේ ය. එක්වරම දැඩි භීතියක් ඇති වුණ ද, බිය නිසාම ගල් ගැසුණු මම නොසෙල් වී සිටීමට තීරණය කළෙමි.

ඉක්බිති යළිත් ඉන්ද්‍රජාලික බලයකින් මෙන් නින්දකට වැටුණු මා අවදි වූයේ මා අසල සිටි වෘකයාගේ හදිසි උඩු බුරලෑම හේතුවෙනි. ඒ සමඟ මා අවට වනාන්තරය දෙසින් මගේ නම කියමින් කෑ ගසන හඬක් ද, ඔවුන්ගේ හඬ නැඟීමට පිළිතුරු වශයෙන් මෙන් තවදුරටත් කෙරෙන වෘකයාගේ උඩු බුරලෑම ද සිදුවි ය. මේ කෑ ගැසීම් එන්නේ කොයි අතකින් ද යන්න දැනගනු පිණිස මම ඉතා අසීරුවෙන් හිස හරවා බැලීමි. ඒ මොහොතේ මා හට දැක ගත හැකි වූයේ වනාන්තරයේ ගස් කොළන් අතරින් මා දෙසට යොමු වුණු රක්ත වර්ණ දෙ ඇසකි.

බ්‍රෑම් ස්ටෝකර් ගේ කෙටි කතාවක් ඇසුරිනි

(තව කොටසක් ලබන සතියේ )

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.