වර්ෂ 2024 ක්වූ November 08 වැනිදා Friday
රන් සුරයක බල බිඳීන්න රන් උණ්ඩයකට හැකිද?
‘වෙඩි නොවදින සුරවල බල බිඳීන්න ක්ලබ් වසන්ත මරා දැමුවේ රන් ආලේපිත උණ්ඩවලින්‘ යනුවෙන් පසුගිය 09 වැනිදා අඟහරුවාදා ‘දිනමිණ‘ පුවත්පතේ ප්‍රවෘත්තියක් පළ විය. එසේම සමාජ මාධ්‍යවලද මේ පිළිබඳ විශාල කතාබහක් ඇති වූ බව අපි දනිමු. එබැවින් මෙහි ඇත්ත නැත්ත ගුප්ත විද්‍යානුකූලව විමසීමට කොණ්ඩදෙණියේ වත්මන් විහාරාධිපති කඩම්බාවේ අනුරුද්ධ හිමියන්ගෙන් විමසුවෙමු. එහිදී සුර පැලදීම සහ සැකසීම පිළිබඳ අනාවරණය වූ කරුණු බොහෝමයක් සුබසෙත පාඨකයන් වෙනුවෙන් මෙසේ සටහන් කරන්නෙමු.
අතීතයේ සිට සටන්කාමීන්, යුද සෙබළුන් මෙන්ම රජ මැතිවරුන් තමන්ගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් සුර පැලඳූ බව නොරහසකි. මේ අතරින් සිංහතෙල්, හෙණරාජ තෛලය වැනි තෙල් බින්දුවක් තමන් සතු කර ගැනීම සඳහා බොහෝ දෙනා උත්සාහ කරන්නේ ඒ වෙනුවෙන් ඉතා විශාල මුදලක් ගෙවීමට පවා සූදානමිනි. එදා යුද බිමට ගිය රජවරුන් සහ සේනාපතියන් වැනි උසස් නිලතල හොබවන්නන්ට පමණක් සීමා වූ මෙවැනි වටිනා ජීවිතාරක්ෂක ක්‍රම පසු කාලීනව විවිධ පුද්ගලයන් අතට පත් වූ බවද බොහෝ දෙනා දන්නා කරුණකි.
උතුවම් කන්දේ සූර සරදියෙල් පවා වෙඩි නොවදින්නට හෙණරාජ තෛලය ළඟ තබාගත් බව ජනප්‍රවාදයේ එයි. එසේම වර්තමානය වන විට තරාතිරමකින් තොරව විවිධ පුද්ගලයන් තම ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි ගුප්ත ක්‍රම භාවිත කිරීම සුලබ කරුණකි. එනිසාම මේ ගුප්ත විද්‍යාවන් විකුණාගෙන කන බොරුකාරයන් වැඩි වීම ද ශාස්ත්‍රය බාල්දු වීමට පවා හේතු වී තිබේ. කෙසේ වෙතත් බොහෝ දෙනා සුර පැලඳුව ද සුරයක් නිවැරැදිව සැකසීමට එය ජීවම් කරන්නා විසින් වෙහෙසිය යුතු තරම දන්නේ අතළොස්සක් පමණි.
යන්ත්‍ර ඇඳීම, ලිවීම, ප්‍රාණ කිරීම, පේ කිරීම, පලිප්පු කිරීම, පුට කිරීම, පැලඳීම සිදුකළ යුත්තේ අනාදිමත් කාලයක සිට පැවත එන සම්ප්‍රදායන්ට අනුකූලවය. එය සැකසීමේ දී පිළිපැදිය යුතු සම්මත මිමි සහ ක්‍රමවේද ද පවතියි.
වත්මනේ යන්ත්‍ර භාවිතය විශේෂ ක්‍රම දෙකකට සිදුවන බව පෙනී යයි. ඒ බුද්ධ භාෂිත ඇසුරෙන් සකස් කරන යන්ත්‍ර සහ භාරතීය වේද ශාස්ත්‍රය අනුව සකස් කරන යන්ත්‍ර ලෙසය.
ඇතැම් යන්ත්‍ර මන්ත්‍ර මෙන්ම යාග හෝම ක්‍රම බුද්ධෝත්පත්තියට පෙර බ්‍රාහ්මණ අවධියේ සිට වඩාත් ප්‍රචලිතව පැවතිණි. භාරතීය ශාස්ත්‍රවලට අදාළව යන්ත්‍ර මන්ත්‍ර භාවිතයට ගැනුණු සේ සැලකෙයි.
එහෙත් සිංහල බෞද්ධයන් අතර, රතන සූත්‍රය, සීවලී යන්ත්‍රය, ජලනන්දන සූත්‍රය, රත්නමාලි යන්ත්‍රය, අභිසම්භිදාන යන්ත්‍රය වැනි දේ වඩාත් ප්‍රචලිතව පවතියි. අපේ මුතුන් මිත්තෝ මේ යන්ත්‍රවලින් වඩාත් පල ප්‍රයෝජන ගත් අය වෙති. ඒ ඒ යන්ත්‍ර සැකසීමේ දී හා පිළියෙළ කිරීම්වලදී ඉතා සූක්ෂ්ම අයුරින් කටයුතු කළ යුතු අතර යන්ත්‍ර සකස් කිරීමේ සිට පැලඳීම දක්වා කළයුතු කෙම් පහක් ඇති බවද තේරුම් ගත යුතුය.
1. යන්ත්‍රය හඳුනා ගැනීම.
2. යන්ත්‍ර පත්‍රය සකස් කිරීම. එනම් රිදී, තඹ, පස්ලෝ තහඩු සහ පුස්කොළ, ඒ ඒ, සුබ මිමි උපයෝගී කරගෙන සැකසිය යුතු ය.
3. පේවීම- යන්ත්‍ර ඇඳීමට සහ ලිවීමට පේවීම අත්‍යවශ්‍ය වෙයි. කිළි දෝෂ ද ඉවත් විය යුතු ය.
4.යන්ත්‍රය ඇඳීම - ශුභ හෝරාවකින් ඇරඹිය යුතුය. රේඛා ඇඳීමේදී ඒවා එක වර ඇඳීය යුතු අතර යම් අතපසුවීමක් නිසා ඇතිවන අඩුපාඩු සම්පූර්ණ කිරීමට අඳීන ලද රේඛාව මත යළි නො ඇඳීය යුතු ය.
5. යන්ත්‍ර ලිවීම - යන්ත්‍ර ඇඳීමත්, ලිවීමත් ඒකාබද්ධ කාර්යයන් වශයෙන් කළ යුතු ය. යන්ත්‍ර පත්‍රයේ අකුරු ලිවීමේදී පිළිගත් සම්ප්‍රදායන් පවතී. යන්ත්‍රයට අදාළ කිසිම අකුරක් රේඛා කැපෙන අයුරින් හෝ රේඛාවල ගෑවෙන පරිදි නොලිවිය යුතු ය. පස්ලෝවලින් (ලෝහ පහකින් සැදුම්ලත්) නිමවන ලද උල් කටුවකින් යන්ත්‍ර ලිවීම සුදුසු ය. එහෙත් පුස්කොළවල ලියනුයේ පන්හිඳෙනි.
යන්ත්‍රාසනය සකස් කිරීම
බොහෝ විට මෙයට මල් බුලත් පුටුවක් සකසා ගත යුතුය. මෙයට උඩින් සුදු රෙද්දකින් වියනක් බැඳ මල්, බුලත් අඳුන්, සඳුන්, පඬුරු, පහන් පිනිදිය එහිතබා සත්කාර කළ යුතු ය. වියනට යටින් බුලත්, බෝ, නා ආදී රිකිලිද පුවක් මල් කිනිති ද එල්ලිය යුතුය. ලද පස්මල් ඉස අඟුරු කබලක් දල්වා හඳුන්කූරු, කට්ටකුමන්ජල්, සාම්බ්‍රාණි යොදා සුවඳ දුම් ඇල්විය යුතුය.
ඉන්පසු යන්ත්‍රාසනය ප්‍රාණ කිරීම සහ යන්ත්‍රය සිද්ධි කිරීම කළ යුතුය. යන්ත්‍රය නිසි ලෙස වාර සංඛ්‍යාවට අනුකූල වන සේ ජප කළ යුතු ය.
අවසානයේ යන්ත්‍රය පැලඳීම සිදුකරනු ලබයි. මේ කාර්යයන් ඉටුකිරීමේ දී සම්මත ක්‍රියාදාමයක් ද පවතී. එනම් යන්ත්‍රයට අදාළ මන්ත්‍රයක් ජප කරමින් එම කාර්යයන්හි නිරත විය යුතු ය.
මන්ත්‍ර ශාස්ත්‍රීය යම් ක්‍රියාවකට සූදානම් වීමේ දී ද වත් පිළිවෙත් නිසිලෙස අනුගනමනය කළ යුතුය.
1. ගණ දෙවියන්ට පිදුම් කිරීම.
2. යන්ත්‍ර මන්ත්‍ර කාර්යයන්ට වරම් ලබාගැනිම.
3. අදාළ දෙවියන් හෝ දේවතාවන් /
යක්ෂයන් සිහිකොට කාර්ය සාධනයට සිතින් යොමුවීම.
4. කරන අඳුනගේ ආරක්ෂාව සකසාදීම.
5. නාම ජීවම් සිදු කිරීම් ක්‍රියාවලිය.
6. පූජා විධි අනුගමනය කිරීම.
7. දිෂ්ටි ලබා ගැනීම.
8. ජීවම් කිරීම (ජපය) ඇරඹීම.
ඒ ඒ පළාතට අනුව මේ ක්‍රමවේදවල යම් යම් වෙනස්වීම් ද දක්නට ලැබෙයි. මේ ක්‍රමවේදයන් ඉතා නිවැරැදිව කොණ්ඩදෙණියේ නයක හිමි ලෙස හැඳීන් වූ කඩම්බාවේ සීලරතන හිමියන් මෙන්ම ඒ හා සමකාලීනව ජනප්‍රසාදය දිනාගත් බත්තරමුල්ලේ විසූ යන්ත්‍ර මන්ත්‍රවලට විශාරද හිමිනමක් විසින් ද අනුගමනය කළ බව බොහෝ දෙනා දනිති.
කෙසේ වෙතත් යන්ත්‍රයක් කෙතරම් හොඳීන් සැකසුව ද එය පැලඳූ පසු භාවිත කරන්නා විසින් පිළිවෙත් රැකීම ද අවශ්‍ය කරුණකි.
මේ මාතෘකාවට පදනම් වූ යන්ත්‍රය මෝස්තරය සඳහා පැලැඳී එකක් බව ද නියම යන්ත්‍රය ක්ලබ් වසන්ත භාවිත කළේ අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණක් බවද ඔහු පිළිබඳ පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පැවසීම මෙවැනි යන්ත්‍ර භාවිත කරන්නන්ට යන්ත්‍ර භාවිතය පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීමට හේතු වනු ඇත. එසේම සැබෑ රන් සුරයක් භාවිත කරනවා වෙනුවට රන් ආලේපිත සුර භාවිතය ද මෙවැනි ජීවිතාරක්ෂක තෙල්වල බලය බාල කිරීමට හේතු වන බැවින් නියම ගුප්ත විද්‍යා විශාරදයන් ඒ සැබෑ තෙල්වර්ග එවැනි බාල ගණයේ යන්ත්‍ර සඳහා නිකුත් නොකරන බවද කඩම්බාවේ අනුරුද්ධ හිමියෝ පැවසූහ. හේතුව රත්රන් ආලේපිත සුරයක් පැලඳීමේදී එහි නිසි මාත්‍රාවට රත්රන් අන්තර්ගත නොවී තිබුණහොත් එහි බලය බිඳී යන බැවිනි. එමෙන්ම යමෙකු නියමිත මාත්‍රාවෙන් යුතු රත්රන්වලින් යන්ත්‍රයක් භාවිත කළ ද වෙඩි උණ්ඩය හා මූනිස්සම්වල කෙළවර හෝ රන් ආලේප කර තිබුණ හොත් ඒ ලෝහ අතර ඇති වන ආකර්ෂණය නිසා එයට ගොදුරු වීමේ සම්භාවතාවක් ඇති බව වත්මන් කොණ්ඩදෙණිය රජමහ විහාරාධිපති ශාස්ත්‍රපති කඩම්බාවේ අනුරුද්ධ නායක හිමියෝ මේ පිළිබඳ විමසීමේ දී පැවසූ සේක. කාන්දමක් තවත් කාන්දමකට හෝ ලෝහයකට ඇදී යන්නා සේ රත්රන් තැවරූ උණ්ඩයක් භාවිත කිරීම හෝ මුනිස්සමේ කෙලවර රන්බිඳුවක් දෙවා තිබුණහොත් රත්තරන් යන්ත්‍රයේ බලය සිඳී යනු ඇත.
ඒ කෙසේ වෙතත් ජීවිතාරක්ෂාව සඳහා නිතර පැලඳීය යුතු සුරය වෙනුවට මෝස්තර සුර පැලඳ සිටීමෙන් මෙවැනි අනතුරු සිදු වීම වළක්වා ගැනීමට කිසිසේත් හැකියාවක් නැති බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ. එවැනි කටයුතු නිසා සිදු වන්නේ අතීතයේ පටන් පැවතෙන සුවිශේෂ වූ ගුප්ත විද්‍යා කටයුතු පිළිබඳ ජනතාව අතර අනවශ්‍ය මතවාද ගොඩනැඟීමයි. එසේම නිවැරැදි ලෙස පිළිවෙත් සුරකිමින් යන්ත්‍ර භාවිතය මඟින් දිවි ගමන සරු කරගන්නා පිරිසට ද මෙවැනි වැරැදි භාවිතයන්හි නොයෙදීමට මෙය නිදසුනක් කර ගැනීම වටී.
පොලිස් ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේ අදාළ උණ්ඩයේ රන් ආලේපිත ද යන්න තවමත් සැක සහිත වන අතර ලෝකයේ මේ වන විට එම පැහැයෙන් යුතු උණ්ඩ නිෂ්පාදනය කෙරෙන බවයි.
කොණ්ඩදෙණියේ වත්මන් විහාරාධිපති කඩම්බාවේ අනුරුද්ධ හිමියන් අවසාන වශයෙන් පවසා වදාළේ යමෙකු යම් ශාස්ත්‍රයක් හෝ විද්‍යාවක් සම්බන්ධව විශ්වාස කරන්නේ නම් ඒ විශ්වාසය වෙනුවෙන් නිරන්තර පිළිවෙතින් පැවැතිය යුතු අතර එය තමන්ගේ අභිවෘද්ධියට විනා මෝස්තරයක් වැනි සරල කටයුත්තක් වෙනුවෙන් යොදා නොගත යුතු බවය.
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)
ඡ්‍යොතිෂ අවිශ්කාර්
ඡ්‍යොතිෂ ශිරෝමණී
ආචාර්ය විජය සමරසිංහ