ඒරාෂ්ටකයේදී නිදහස් සටන ජයගත් මහත්මා ගාන්ධිතුමා

ජුනි 14, 2024

මාගේ වැඩිමහල් සහෝදරයා ඉතා තදබල ඒරාෂ්ටක කාල වකවානුවලදී මුහුණ දුන් සුබදායක අත්දැකීම් කිහිපයක් පිළිබඳව පසුගිය ලිපියෙන් සාකච්ඡා කරන ලදී. මේෂ ලග්නයෙන් උත්පත්තිය ලැබූ ඔහුට ඒරාෂ්ටක කාල වකවානු තුළ මුහුණ දීමට සිදු වූ තවත් සුබදායක අත්දැකීම් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට අද දිනයේ දී බලාපොරොත්තු වෙමි.

1984 වසරෙහි දෙසැම්බර් 20 වැනිදාත්, 1985 වසරෙහි මැයි 29 වනදාත් අතර කාලය තුළ ද 1985 සැප්තැම්බර් 16 වනදාත්, 1987 දෙසැම්බර් 12 වැනිදාත් අතර කාලය තුළද ඔහුට තදබල අෂ්ටම ඒරාෂ්ටක කාලයක් ගත වී ඇත. මේ කාල සීමාව තුළ ඔහුගේ ජීවිතයට සුබවාදී ලෙසින් බලපෑ ඉතා ප්‍රබල සිදුවීමක් සිදු වී ඇත.

එනම් 1987 වසරෙහි මුල් භාගයේ දී ඔහු එතෙක් කල් අධ්‍යාපනය ලැබූ ගමේ පාසලින් ඉවත්ව මධ්‍ය මහා විදුහලකට ඇතුළත් වීමය. එය ඔහු ලබා ගත් විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස හඳුන්වා දිය හැකි අතර එම ජයග්‍රහණය ලැබී ඇත්තේද තදබලම අෂ්ටම ඒරාෂ්ටකයක් ගතවද්දීය.

තවද 1986 වර්ෂයේ දී අපගේ ළාබාල සහෝදරයාගේ උත්පත්තිය සිදුවීම නිසා වැඩිමහල් සහෝදරයාට සිටින සහෝදරයන් ගණන දෙකක් බවට පත් විය. වසර අටකට පසු මෙය සිදුවන්නේ ද ඔහු ප්‍රබලම ඒරාෂ්ටක කාලයක් ගත කරද්දීය.

මීළඟට ලෝක ප්‍රසිද්ධ චරිතයක් ඒරාෂ්ටක කාලවකවානුවලදී මුහුණ දුන් සුබදායක අත්දැකීම් පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි. භාරතය විසින් ලොවට තිලිණ කළ අසහාය යුග පුරුෂයාණන් වන මහත්මා ගාන්ධිතුමාගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්ද්‍ර සටහනට අනුව ලග්නය ‘තුලා’ වන අතර 10 වැනි භාවය තුළ චන්ද්‍ර සහ රාහු යන ග්‍රහයන් තැන්පත්ව ඇත. ඒ අනුව ඔහුට 1945 වසරෙහි සැප්තැම්බර් 23 වැනිදාත්, 1945 වසරෙහි දෙසැම්බර් 21 වැනිදාත් අතර කාලය තුළද, 1946 වසරෙහි ජුනි 8 වැනිදාත්, 1948 වසරෙහි ජුලි 26 වැනිදාත් අතර කාලය තුළ ද ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වී ඇත.

එනම් 1947 වසරෙහි ඉන්දියාව නිදහස ලබන විටද එතුමාට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වෙමින් තිබී ඇත. ඉන්දියාවට නිදහස ලබා දීම ගාන්ධිතුමාගේ ප්‍රධානම අරමුණ වූ බව අප අසා ඇත. එනම් ගාන්ධිතුමාගේ ප්‍රධානම අරමුණු ඉටු වී ඇත්තේ එතුමා ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත කරද්දීය. ඉන්දියාවට නිදහස ලැබීම, යුග පුරුෂයෙකු ලෙස එතුමාව ඉස්මතු වීමට බෙහෙවින් බල පෑ අතර ඒ නිසා පසු කලක විසි වැනා සියවසේ මහා පුරුෂයන් තිදෙනාගෙන් එක් අයෙකු බවටද මහත්මා ගාන්ධිතුමා නම් කරන ලදී.

ඒරාෂ්ටක කාලවකවානු තුළ සිදු වූ සුබ ප්‍රතිඵලවලට අදාළව මා දන්නා තවත් පෞද්ගලික උදාහරණයක් පිළිබඳව සාකච්ඡා කිරීමට මීළඟට බලාපොරොත්තු වෙමි.

මා ඉතාම හොඳින් දන්නා ධනු ලග්නය දරන පුද්ගයෙකු උසස් පෙළ විභාගය ලියා එය සමත් වීම නිසා විශ්වවිද්‍යාල ප්‍රවේශය වෙනුවෙන් අයදුම් කර තිබුණි. විභාගය සමත් බොහෝ දෙනෙකු විසින් එසේ අයදුම් කරන නිසා පුරුද්දට මෙන් එයට අයදුම් කළ ද විශ්වවිද්‍යාලයට තේරී පත්වීම පිළිබඳව සැලකිය යුතු බලාපොරොත්තුවක් ඔහුට නොතිබුණි.

ක්‍රමයෙන් මාස ගණනාවක් ගත වූ නිසා ඔහුවත් ඔහුගේ පවුලේ සාමාජිකයන්වත් ඔහුව විශ්වවිද්‍යාලයට තේරී පත් වෙතැයි සිහිනෙන්වත් සිතුවේ නැත. කෙසේ වෙතත් ඔහු ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත කරද්දී හදිසියේ නිවෙසට ආ ලිපියක් මගින් ඔහුගේ දෛවය වෙනස් කරන ලදී. එනම් ඔහුව රජයේ පිළිගත් විශ්වවිද්‍යාලයක භෞතික විද්‍යාව උපාධිය හැදෑරීම සඳහා තෝරා ගෙන තිබුණි. ඔහු ඇතුළු පවුලේ සාමාජිකයෝ එයින් සතුටට පත් වූහ.

ඔහුව ඇසුරු කරන සමහරකුට එය අදහා ගත නොහැකි සිදුවීමක් විය. සමහරෙකු එම ආරංචිය එක් වරම විශ්වාස කළේද නැත. ඒරාෂ්ටක කාල වකවානු තුළ සිදු වන අසුබ සිදුවීම් ද සිදුවිය හැකි බවට මෙය ඉතා හොඳ උදාහරණයක් බව සිතමි. මේ දක්වා ලිපිවල ඒරාෂ්ඨක කාල වකවානුවල සිදු වූ සුබ සිදුවීම් පිළිබඳව සාකච්ඡා කළ අතර අද දිනයයේදී ඒරාෂ්ටක කාල වකවානු තුළ සිදුවූ අසුබ සිදුවීම් කිහිපයක් පිළිබඳවද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

උදාහරණ ලෙස, ඉහත කී පුද්ගලයාට ජන්ම ඒරාෂ්ටකයේ උච්චතම අවස්ථාව ගත වූ කාල සීමාව තුළ සහ ඊට ආසන්න කාල සීමාව තුළ මුත්‍රා පද්ධතිය ආශි‍්‍රතව සුළු ශල්‍ය කර්මයක් සිදු කළ අතර එය අසාර්ථක වූ පසුබිමක ඉහළම පෙළේ පෞද්ගලික රෝහලක ක්ෂණික ප්‍රතිකාර මාලාවක් ක්‍රියාත්මක කිරීමෙන් පසු ඔහුගේ දිවි ගළවා ගත හැකි විය.

ඔහු ජන්ම ඒරාෂ්ටකයක් ගත කළ ද ජීවිතය රැක ගත හැකි වූයේ කිසියම් වාසනා ගුණයක් නිසා යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. කෙසේ වෙතත්, අප මෙහිදී හඳුනා ගත යුතු සුවිශේෂී කාරණයක් වන්නේ තදබල ඒරාෂ්ටක කාල වකවානුවලදී ශල්‍යකර්ම ආදිය යෙදීමේ ඉඩකඩ අන් කාලවලට වඩා වැඩි බව ය. කෙසේ වෙතත්, ශල්‍ය කර්මයක් මඟින් බොහෝ විට, ශල්‍යකර්මයක් කිරීමට පෙර පවතින රෝගී තත්ත්වයක් සම්පූර්ණයෙන්ම හෝ බොහෝ දුරට සුවපත් වීමට අනුව ශල්‍යකර්මය සිදු කළේ වාසනාවකට යැයි ද කෙනෙකුට තර්ක කළ හැකිය.

ඉහත කී ඒරාෂ්ටක කාල වකවානුව තුළට, මා පෙර කී පුද්ගලයාගේ දෙවැනි ශල්‍යකර්මය ඉහළම පෙළේ පෞද්ගලික රෝහලක් තුළ ඉතා සුවපහසු ලෙස සහ ඉතා සාර්ථක ලෙස සිදු කරන ලදී.

ඒරාෂ්ටක කාලවකවානු ඉතා තදබල ලෙස ගතවද්දී තවත් ප්‍රසිද්ධ පුද්ගලයන්ට සහ පෞද්ගලික වශයෙන් දන්නා පුද්ගලයන් කිහිප දෙනෙකුලද අත්දැකීම් පිළිබඳව කතාබහ කරන්නට මීළඟ ලිපියෙන්ද බලාපොරොත්තු වෙමි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.