කෙලෙස් රෝග දුරලන බුදු දහම

මැයි 24, 2024

ලෝවැසි බෞද්ධ ජනතාවට ඉතාමත්ම වැදගත් පොහොය වන්නේ වෙසක් පොහොයයි. බෞද්ධ අපිට වෙසක් පොහොය වඩාත් වැදගත් වන්නේ ලොවට අසිරියක් ගෙන දුන් උතුම් මංගල කරුණු තුනක් වෙසක් පුන් පොහොය දවසේ සිදුවීම නිසාය.

ආරෝග්‍යා පරමා ලාභා
සන්තුට්ඨි පරමං ධනං
විශ්වාසා පරමා ඤාතී
නිබ්බාණං පරමං සුඛං

බුදුරජාණන් වහන්සේ මෙලොව ලාභ අතරින් උතුම්ම ලාභය නීරෝගී බව වශයෙන් හැඳින්වූයේ රජෙක් වුවත් ලෙඩෙක් නම් වැඩක් නැති නිසාවෙනි. රෝගියෙකුට කොතරම් ධනය තිබුණත් සතුටක් නැත. විශ්වාසවන්ත ඥාතීන් බොහොමයක් සිටියත් වැඩක් නැත. කොයි මොහොතේ හෝ නැති වේ. දුක්වේදනා නැති රෝග නැති නිර්වාණය සැපතට හේතු වේ. නැවත නැවත ඉපදෙන්නට මෙන්ම ශාරීරික හා මානසික රෝගවලට සිත ප්‍රධාන වන නිසා නිතර බුද්ධිමත්ව සිතන්න ධර්මය තුළින් අවස්ථාව ලැබී ඇත.

අපේ ජීවිතයේ අස්ථිර බව දුක් සහිත බව රෝගවලට ගොදුරු වන මරණයෙන් කෙළවර වන බව අවබෝධ වන ලෙස බුදු දහම දේශනා කර ඇත. කායික රෝගවලට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් කායික වෛද්‍යවරුන් වශයෙන්ද මානසික රෝගවලට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් මානසික වෛද්‍යවරුන් වශයෙන්ද කොටස් 02ක් ඇත. කායික හා මානසික රෝග සඳහා නිවැරදි ප්‍රතිකාර කළ එකම ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයා අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේය.

පූතිගත්තතිස්ස හාමුදුරුවන්ගේ ඇඟෙහි සැරව පිරි තුවාල ගෙඩි ඇතිව පිළිකුල නිසා කිසිවකුත් ළං නොවීම නිසා අසාධ්‍ය තත්ත්වයට පත් වී ඇති බව දුටු බුදුරජාණන් වහන්සේ ඉතාම ආදරයෙන්, කරුණාවෙන් සැරව සහිත තුවාල පිරිසුදු කර ගතෙහි වේදනාත් සිතෙහි දුකත් නැතිකර ආදර්ශයෙන් පෙන්වා දෙමින් කෙනකු ලෙඩ වන්නටත් මුළු සමාජයම විනාශ කරන්නටත් කෙලෙස් ඝාතනවලින් අංගවිකල බවට පත්කිරීමටත් මානසික රෝගීන් පත් කිරීමටත් වෛරය, ක්‍රෝධය, පළිගැනීම හේතුවන බවත් නීරෝගි සමාජයක් ගොඩනගන්නට වෛරය අවෛරයෙන් සුවපත් කරන්න හැකි බව පෙන්වා දුන් සේක.

නහී වේරේන වේරානී
සම්මන්තීධ කුදාචනං
අවෙරෙනෙච සම්මන්තී
එස ධම්මෝ සනන්තනො

ආදී වශයෙන් වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත් අවෛරයෙන් වෛරය සන්සිඳෙන බවත් පෙන්වා දුන් සේක. බුදුරජාණන් වහන්සේ මිනිසාගේ සිත සෑදීමට මුල් තැන දුන්නේ ආගම අදහන මනුෂ්‍යයන්ට පමණක් නොව ආහාර ගන්නා විට සතෙකුටවත් වරදක් කර තිබුණත් දඬුවම් කරන්නෙ නැති සමාජයක් බුදුදහම තුළින් මිනිසාගේ මනස සාදා තිබුණු නිසාය. දරුවා මියගිය දුකින් කිසාගෝතමී මියගිය දරුවාව වඩාගෙන වෛද්‍යවරුන් සොය සොයා යන විට හොඳම වෛද්‍යවරයා බුදුරජාණන් වහන්සේ බව දැනගෙන උන්වහන්සේ ළඟට යෑමෙන් නිසි ප්‍රතිකාර ලැබෙන බව බොහෝදෙනා දැනගෙන සිටිය නිසාය.

අනු ජානාමික භික්ඛවේ චක්ඛ මනං

යනුවෙන් මෙලොව වශයෙන් කායික සුවයක් සිහි නුවණින් ඇවිදීම නිසා සිහි කල්පනාවත් දියුණු වී කෙලෙස් රෝගද සුව වීමෙන් ස්ථිර නීරෝගි සුවය වූ නිවන් සුවය ලැබේ.

උපදෙස්

පූගොඩ දංගල්ල

ආයුර්වේද වෛද්‍ය

නන්දා කස්තුරිආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.