වාස්තු ශාස්ත්‍රයට එකඟත්වය පෑ උතුරට හිස දැමූපිරිනිවන් මංචකය

මැයි 24, 2024

පානදුර ප්‍රදේශයේ දෙමහල් නිවසකි. බැලූ බැල්මට එතරම් දෝෂයක් නැතැයි හැඟෙන පරිසරයකි. විධිමත්ව සකස් කර ඇති උද්‍යානයකින්ද යුතු මේ නිවසේ ජීවත් වන්නන් යම් කනස්සලු සහගතව ජීවත්වන බවක් පෙනෙන්නට ඇතත් එයට පැහැදිලි හේතුවක් දැනෙන්නට නොතිබිණි. ගරාජයේ සුඛෝපභෝගී ජීප් රථයක් හා මිදුලේ නවතා ඇති නවීන වෑන් රථයද යම් ආර්ථික ස්ථාවරත්වයක් සහිත බව අපට පසක් කර දෙයි.

නිවෙස සහිත ඉඩමට ගාලු පාරේ සිට අප වාස්තු පරික්ෂාවක් සඳහා ඇතුළු වූයේ ඉඩමේ නැඟෙනහිර පිහිටි ස්වංක්‍රීය ගේට්ටුවකිනි. ඊට යාබද කුඩා ගේට්ටුවක් තිබුණද අපගේම වාහනයකින් එනු ඇතැයි සිතා අයිතිකරුවන් විශාල ගේට්ටුව විවෘත කරන්නට ඇත. නිවෙසේ දොරටුව දක්වා සැලකිය යුතු දුරක් සහිත පුළුල් මිදුල පිහිටා ඇත්තේ නැඟෙනහිර දිශාවට වන්නටය. අපි මිදුලෙන් නිවෙසට ඇතුළු වීමු. නිවෙසේ සාලය පිහිටා ඇත්තේද නැඟෙනහිර, ඊශාන කොටස ඇතුළත් වන පරිදිය. සාලයෙන් මුළුතැන්ගෙය පැත්තට යා යුතු කෙටි කොරිඩෝවේ වම්පැත්තට වන්නට එක් නිදන කාමරයක දොරක් පෙනෙන්නට තිබිණි. දකුණු පැත්තට වන්නට මුළුතැන්ගෙය හා පොදු වැසිකිලියක් දක්නට ලැබිණි. එයට මෑතින් පිහිටි කුඩා කෑම සාලය සරල වෙන්වීමක් සහිතව ප්‍රධාන සාලය හා බද්ධ වී තිබිණි. ඉහත කී සරල වෙන්වීම යෙදී තිබුණේ පටු පඩිපෙළකිනි.

නිවෙසේ මධ්‍යය සරල ලෙස සෙවිය හැකි වූයේ මේ නිවස ඍජුකෝණාස්‍රාකාර (හතරැස්) එකක් වූ බැවිනි. එසේ සොයාගත් මධ්‍යයේ සිට පෙර කී ගෘහ අංගයන් පිහිටි දිශා සැලකීමේදී ඒවා ඉතා නිවැරැදි ලෙස ස්ථානගත වී ඇති බව අපට මැනැවින් අවබෝධ විය. පෙරද දැක්වූ පරිදි සාලය නැඟෙනහිර - ඊශාන දිශාවනට පිහිටා ඇති අතර පහළ මහලේ පෙර දුටු නිදන කාමරය දකුණු - නිරිත කොටසේ පිහිටා තිබිණි. මුළුතැන්ගෙය නිරිත, බස්නාහිර, වයඹ කොටස්වල පිහිටා තිබුණද එහි ළිප පිහිටා තිබුණේ වයඹ කොටසට වන්නට ය. පොදු වැසිකිළියද වයඹට ඉතා නිවැරදි ලෙස දිශාගැන්වී තිබිණි. ඒ අනුව කිය යුතු මට්ටමේ වාස්තු දෝෂයක් සොයා ගැනීමට අපි අපොහොසත් වීමු.

අනතුරුව අපි පඩිපෙළ දිගේ ඉහළ මහලට යනු ලැබුයේ එහි හෝ යම් බරපතළ දෝෂයක් පැවතිය හැකි යැයි අනුමාන කරමිනි. පහළ මහලේ නිරිතෙහි පිහිටි නිදන කාමරයට හරියටම ඉහළින් එක් නිදන කාමරයක් හා නැඟෙනහිර ගිනිකොන කොටසේ තවත් නිදන කාමරයක් ඉහළ මහලේ දක්නට ලැබිණි. නිරිතේ පිහිටි නිදන කාමරයට වයඹ දිශාවෙන් බද්ධ කොට ඇති වැසිකිලිය සහිත නාන කාමරය පොදුවේ පිහිටා ඇත්තේද වයඹ දිශාවෙන් බව පෙනෙන්නට තිබිණි. ඒ අනුව ඉහළ මහලේද සැලකිය යුතු දෝෂයක් සොයා ගත නොහැකි විය.

පසුව සාලයේ අප වෙනුවෙන් සකස් කර ඇති කුඩා මේසය හා පුටුව යොදා ගනිමින් නිවසේ දිග පළල අනුව සැලැස්ම ඇඳ දිශා අටද එහි ලකුණු කර තවදුරටත් අප දිශා දක්නය (මාලිමාව) භාවිතයෙන් ලබා ගත් නිරීක්ෂණයන් ඔස්සේ වූ නිගමනයන් තවදුරටත් තහවුරු කර ගත හැකි විය. එසේ වුවත් අපට එහිදී බරපතළ ගැටලුවක් මතු වූයේ කිය යුතු දෝෂයක් නොමැති නිවසකින් අපට වාස්තු පරික්ෂාව සඳහා ආරාධනා කරනු ලැබුවේ කවර හේතුවක් නිසාද යන හේතුවෙනි.

පැය තුනක පමණ කාලයක් තිස්සේ සිදු කළ වාස්තු පරික්ෂාවේ සංක්ෂිප්ත සටහන හා අප විසින්ම මැන සකස් කරන ලද ඉදිකිරීම් සැලැස්ම විස්තර සහිතව නිර්දේශ සහිතව ගොනු කරමින් සිටියදී නිවැසියන් සමීපයට පැමිණ විවිධ කරුණු විමසීමටත් ඔවුන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමටත් පටන් ගත් විට වඩා අවධාරණයෙන් විමසිය යුතු තැන් පිළිබඳව අපගේ අවධානය යොමු විය.

සියලු නිවැසියනට පාහේ විවිධ රෝගාබාධයන් වැලඳීමේ බරපතළ, තත්ත්වයක් පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු විය. එකී රෝගයන් බොහෝමයක් බෝ නොවන රෝග බවත් අපට සැණින් අවබෝධ විය. රෝගාබාධයනට බලපාන දිශා දෝෂ හා නිවසේ මැද හෙවත් බ්‍රහ්ම පාදයේ පීඩාවීමත් දක්නට නොහැකි බැවින් නිශ්චිතව අපගේ අවධානය ඒ ඒ ගෘහ අංගවල අභ්‍යන්තර සැකසීම් පිළිබඳව යොමු විය. මුළුතැන්ගෙයි ළිප හා සේදුම් බේසම මැනැවින් වඩාත් දුරින් වයඹ දිශාවට ළිප වැටෙන පරිදි පිහිටුවා තිබීමෙන් එකී අධ්‍යයනයෙන්ද දෝෂයක් මතු නොවීය. නොමැති දෝෂයක් පිළිබඳව කියමින් අසත්‍ය කරුණු මත බිය ගැන්වීමේ පාපකාරි ක්‍රියා සිදු නොකර අනෙකුත් ගෘහ අංග පිළිබඳව අපි සොයා බැලීමු.

නිදන කාමරවලට පිවිසීමේදී ඒ සියලු කාමරවල නිදන ඇඳවල් පිහිටුවා තිබුණේ හිස උතුරට වැටෙන පරිදි ය. මෙය බරපතළ දෝෂයක් බව දැන සිටියත් මෙතරම් නිශ්චිත දුර්විපාක හිමි කර දෙන්නක් යැයි එකල අපිදු නොසිතුවෙමු. එසේ වුවත් වාස්තු සිද්ධාන්ත මෙන්ම නූතන බටහිර විද්‍යාව අනුව සලකා බැලීමේදී පොළොවේ පවත්නා කාන්දම් (චුම්බක) බලය විසින් සිරුරේ ස්නායු ක්‍රියාකාරිත්වයට හා රතු රුධිරානුවල මරණයට ඉතා අයහපත් වන පිහිටුමක් ලෙස උතුරට හිස දමා නිදා ගැනීම දක්වා ඇති බව පැහැදිලි කරමින් එසැණින්ම සියලු නිදන දිශාව වෙනස් කිරීමට ක්‍රියා කළෙමු. බොහෝ ඇඳවල හිස දකුණටත්, සමහර ඒවා නැඟෙනහිරටත් හරවනු ලබා මාසයක් යෑමට පෙර බොහෝ රෝග වැලඳීමේ ස්වභාවය වැළකුණු බව ඔවුන් දුරකතනයෙන් අපට දන්වා සිටි බැවින් පිරමිඩ ආදි වෙනත් ප්‍රතිකාර සඳහා ඉන් ඔබ්බට අපි යොමු නොවීමු.

කිසියම් හේතුවක් මත නිසැක ඉක්මන් මරණයකට තීරණය වී ඇති අයකුගේ ස්නායු ක්‍රියාකාරිත්වය දුර්වල කර හැකි මෙකී උතුරට හිස දැමීම පිළිබඳ ඉපැරණි මූලාශ්‍රය අපට හමු වන්නේ “මහා පරිනිබ්බාන සූත්‍රයෙනි’ එහි දැක්වෙන පරිදි පරිනිර්වාණය සඳහා බුදුන් වහන්සේ විසින් උතුරට හිස දමා සයනය පනවන ලෙස කරන දැනුම්දීම පෙන්වා දිය හැකියි. 'භාග්‍යවතුන් වහන්සේ මහත් බික් සඟන කැටුව හිරණ්‍යවතී නදියෙන් එතෙර කුසිනාරා නුවර මල්ලයන්ගේ උපවර්තන නම් සල් උයන කරා වැඩියාහ. වැඩ අනඳ තෙරුන් අමතා 'අනඳයෙනි, මා සල් රුක් අතර හිස උතුරු දෙසට සිටුනා සේ කොට මට ඇඳක් පනවුව. අනඳයෙනි, ක්ලාන්තයෙමි, වැදැහෙනු කැමැත්තෙමි යි වදාළ සේක' යනුවෙන් එම සූත්‍රයේ සිංහල පරිවර්තනයේ ද දැක්වෙයි. එයින් උන්වහන්සේ අනුපාදිශේෂ නිර්වාණධාතුවෙන් පිරි නිවීමට වඩාත්ම සුදුසු දිශාව තෝරාගත් අයුරු අපට අවබෝධ කරගත හැකිය. මෙවැනි ඉතා සියුම් අදටත් වටහාගත නොහැකි ලෞකික ඥාන සම්භාරයන් පවා අපට සද්ධර්ම ග්‍රන්ථ පරිශීලනයෙන් ලබා ගත හැකි බව අවසන මෙසේ අවධාරණය කර සිටිමු.

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.