ජය පැරදුම දෙකම ලබාදෙන තරු සලකුණ සහ කතිර සලකුණ

සැප්තැම්බර් 22, 2023

විවාහ රේඛාවක් තරුවකින් ආරම්භ වන්නේ නම් (A) මුදල් දුෂ්කරතා රෝගී තත්ත්වයක් නිසා හෝ එසේත් නොමැති නම් දුර පළාතක හෝ වෙනත් රටක ජීවත්වීම නිසා විවාහය ප්‍රමාදවීම සිදුවන බව පෙන්වන ලක්ෂණයකි. එසේත් නැතිනම් දහසකුත් බාධක මැද ඇති කරගන්නා ප්‍රේම සම්බන්ධතාවය පසුව ස්ථාවර වීමක්ද පෙන්නුම් කරයි. සිකුරු මණ්ඩලයෙන් තරුවක් සමඟ ආරම්භ වන රේඛාවක් B) ජීවන රේඛාව කපාගෙන විහිදෙන්නේ නම් ආදර සහකරු හෝ සහකාරිය නොලැබීම නිසා ඇතිවු විරහ වේදනාවක් පෙන්වයි. බොහෝවිට සහකරු හෝ සහකාරිය මියයාම නිසා හෝ ප්‍රේම සම්බන්ධතාවය බිදියාම නිසා ද විය හැකිය. මෙහිදි ජීවන රේඛාව කපාගෙන නොයයි නම් විරහා දුක ජීවිතයට බලපාන්නේ නැත. සිකුරු මණ්ඩලයෙන් ඇරඹෙන රේඛාවක් ගුරු මණ්ඩලය දක්වා විහිදි ඇත්නම් තමන්ගේ ආදර වන්තිය හෝ ආදරවන්තයාගේ උපකාර ඇතිව අරමුණු ඉටුකර ගැනීමට අවස්ථාව ලැබෙන පිහිටීමකි. ඉඩකඩම් දේපල යාන වාහන ධනය බලය සහිත සහකරුවෙකු හෝ සහකාරියක ලැබෙන බව කියාපාන ලක්ෂණයකි.

ස්ථානෝචිත ප්‍රඥාා රේඛාව අග තරුවකින් අවසන් වන්නේ නම් (C) සහජ දක්ෂතා මඟින් අති විශාල දියුණුවක් සමග විශාල ප්‍රසිද්ධියක් ලැබේ. බුධ රේඛාවක්ද ඇත්නම් ආර්ථීකමය වශයෙන් පුද්ගලයා ශක්තිමත් වේ. ප්‍රබල ශීර්ෂ රේඛාව ඉහළ චන්ද්‍ර මණ්ඩලයේ තරුවක් සමඟ සම්බන්ධ වන්නේ නම් (D) හොද තර්කනයක් සහිත පුද්ගලයෙක් බිහිවේ. සියලු කරුණු කරණා තර්කානුකූලව ඉදිරිපත් කිරිමටත් යම් කරුණක් වෙතොත් තර්කාණුකූලව විශ්ලේෂණය කිරීමටත් හැකියාව ඔහුට හිමිය. එසේම පහළ වන්ද්‍ර මණ්ඩලයේ තරු සලකුණක් සහිත අත්ලක එකාකාරී වක්‍රයකින් ශීර්ෂ රේඛාව චන්ද්‍ර මණ්ඩලයට ගමන් කර ඇත්නම් සහ ශනි මණ්ඩලය දුර්වලනම් දියේ ගිලී මියයාමේ ප්‍රවණතාවයක් ඇතිවිය හැකි බැවින් ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් විය යුතුය.

ශිර්ෂ රේඛාව සහ ජීවන රේඛාව එකම ලක්ෂ්‍යයකින් ආරම්භ වි ඒ අතර කෝණය තුළ තරු සලකුණත් පිහිටා ඇත්නම් (E) ඉතාමත් සාධාරණව කටයුතු කරන එමෙන්ම ත්‍යාගශීලි පුද්ගලයෙකු බවට පත්වේ. එමෙන්ම ඉතාම කෙටි කාලයක් තුල ප්‍රසිද්ධියට පත් වීම සිදුවේ.නමුත් ජීවන රේඛාව සහ ශීර්ෂ රේඛාව වෙන්වී ආරම්භ වී ඇත්නම් පුද්ගලයා ආරම්භ කරන වැඩ අවසානය දක්වා නොකරන පිහිටීමකි.

යම් පුද්ගලයෙකුගේ ශීර්ෂ රේඛාව ඉතාම කෙටිව පිහිටා එහි අග තරු සලකුණක් පිහිටා ඇත්නම් එම පුද්ගලයාට හදිසි අනතුරුවලට මුහුණ පෑමට සිදුවේ. එම නිසා බොහෝ දුරට හිසට සිදුවන අනතුරුවලින් වැළකීම සඳහා කටයුතු කළ යුතුය. බුධ රේඛාව මත තරු සලකුණක් පිහිටා තිබීම (F) බලාපොරොත්තු නොවන ආකාරයේ ධනය ලැබීමට හේතු වන නමුත් ස්ත්‍රින්ට දරු ප්‍රසුතියේදි යම් අපහසුතාවලට මුහුණ දීමට සිදුවේ. එසේම බුධ රේඛාව සිකුරු මණ්ඩලයෙන් ආරම්භ වී බුධ මණ්ඩලයේදි තරු සලකුණකින් අවසන් වන්නේ නම් (G) සියලු ලැබීම් සහිත වසනාවන්ත අයෙකු ලෙස ඉදිරියට යා හැකිය. නමුත් බුධ රේඛාව ප්‍රබලව පිහිටා ඇත්නම් ප්‍රජණන පද්ධතියේ දෝෂ සහ පෙනීමේ දෝෂ ඇතිවිය හැකිය.

සමහර පුද්ගලයන්ගේ ඇඟිලිවලද තරු සලකුණූ දක්නට ලැබෙන අතර එම සලකුණුවලින්ද පුද්ගලයා සම්බන්ධ කරුණු කරනා රැසක් ඉදිරිපත් කෙරේ. ගුරු ඇඟිල්ලේ පළමු පුරුකේ තරු සලකුණ සහිත අයෙකුට දිර්ඝ සංචාර සහ කිර්තිය හිමිය. ඒ වගේම ඔවුන් වසනාවන්ත ධනවත් පුද්ගලයන් බවට පත්වේ. නමුත් තරු සලකුණු දෙකක් පිහිටා ඇත්නම් මේ තත්ත්වය වෙනස් වන අතර අත්ල හිමියා සොරකම් කිරීමට හෝ වෙනත් අපරාධයක් කිරීමට යාමෙන් මරණයට පත්වේ. එම ඇඟිල්ලේම දෙවැනි පුරුකේ තරු සලකුණ නිර්භිත පුද්ගලයකු බිහි කරන අතර තරු සලකුණ තුන්වන පුරුකේ නම් ඔවුන් දුෂ්චරිතවත් වේ. ශනි ඇඟිල්ලේ හෙවත් මැදඟිල්ලේ පළමුවැනි පුරුකේ තරු සලකුන දුකින් පිරුණු ජීවිතයක් උරුම බව කියාපායි. දෙවැනි පුරුකේ අත් දෙකෙහිම තරු සලකුණ ඇත්නම් මිනිමැරුම්වලට ඔවුන් යොමුවේ. තුන්වැනි පුරුකේ නම් තරු සලකුණ ඇත්තේ ඔහුන්ට අවි ආයුධ වස විසවලින් මරණය උරුමය. රවි ඇඟිල්ලේ තරු සලකුණ පළමු පුරුකේ නම් අනවශ්‍ය වියදම් සඳහා පුද්ගලයා යොමු කරයි. නමුත් සියුම් චිත්‍රවලට ඔවුන් දක්ෂය. මැද පුරුකේ තරුව සහජ දක්ෂතා හරහා දියුණුවන බව කියාපායි. තුන්වැනි පුරුකේ තරුව නිර්මාණාත්මක ආත්ම වර්ණනාවට කැමති අයෙකු වේ. සුළැඟිල්ල හෙවත් බුධ ඇඟිල්ලේ පළමු පුරුකේ තරු සලකුණ දක්ෂ කථිකයෙකු බිහි කරන අතර දෙවැනි පුරුකේ නම් අයහපත් නරක ආකල්ප නිසා නොහොඹිනා පුද්ගලයකු ලෙස ප්‍රසිද්ධ වේ. තරුව බුධ ඇඟිල්ලේ තුන්වැනි පුරුකේ නම් දක්ෂ කථිකයකු වේ.තරුව මහපට ඇගිල්ලේ පලමු පුරුකේ නම් ඔහු විවාදශීලිය.නමුත් අනුන්ගේ වැරැදි සොයන්නකු වේ. දෙවැනි පුරුකේ තරු සලකුණ අයහපත් ලෙස පුද්ගලයා වැරැදි වැඩවලට පොලඹවයි.

හස්ත පරික්ෂාවේදි තවත් වැදගත් ලක්ෂණයක් වන්නේ කතිර සලකුණය. එය බොහෝ දුරට තරුවෙහි විරුද්ධ ලක්ෂණ පෙන්නුම් කරයි. එනම් කතිර යහපත් වන්නේ ඉතාම කලාතුරකිනි.බලාපොරොත්තු කඩවීම් අනතුරු සහ සමහර විට ජීවිතයේ තත්ත්වය කරදරයකින් පසුව කඩා වැටීම සිදුවීම වැනිදේ කතිර සලකුණකින් පෙන්නුම් කෙරේ.නමුත් ගුරු මණ්ඩලය මත පිහිටි කතිර සලකුණ (H) ඉතාම යහපත් වන අතර හොද ආදර සම්බන්ධයක් වගේම හොඳ විවාහ ජීවිතයක් උරුම වන ලක්ෂණයකි. විශේෂයෙන් දෛව්‍ය රේඛාව චන්ද්‍ර මණ්ඩලයෙන් ආරම්භ වන දෛව්‍ය රේඛාවක් සහිත අත්ලවල මේ තත්ත්වය දැකිය හැකිය. කතිර සලකුණ පිහිටීම පෙන්නුම් කරන්නේ ශනි මණ්ඩලයේ නම් (I) පුද්ගලයා ගුප්ත ශාස්ත්‍ර වැරදි වැඩවලට යොදාගනී. එමෙන්ම ප්‍රචණ්ඩව අනතුරකින් සිදුවන මරණයක් සිදුවීම පෙන්නුම් කරයි. එම කතිරය සඳහා පහළ කුජ මණ්ඩලයෙන් රේඛාවක් ගමන් කර ස්පර්ෂ වී ඇතිනම් වාහන අනතුරුවලට භාජනය විය හැකි අතර එම අනතුර මාරාන්තික වේ. කතිරය රවි මණ්ඩලයේදි (J) රවි රේඛාවක් ඇතිවිට යහපත් වන අතර එසේ නැතිනම් අයහපත්වේ. බුධ මණ්ඩලයේදි කතිරය (K) පිහිටීම නිසා සූදුවට පෙළඹේ.

ශීර්ෂ රේඛාව ස්පර්ෂව කතිර සලකුණු පිහිටා ඇත්නම් එය සුබදායක ලක්ෂණයක් නොවේ. එම තත්ත්වයන් යටතේ කතිර සලකුණ පිහිටා ඇත්තේ ගුරු මණ්ඩලය යට නම් (L) දුෂ්ඨ හෝ ඒකාධිපති පාලනය නිසා තම හිසට තුවාල සිදුවන බව පෙන්වන ලක්ෂණයකි.කතිරය පිහිටා ඇත්තේ ශනි මණ්ඩලය යට ශිර්ෂ රේඛාව උඩනම් (P) සතුන්ගෙන් හෝ පිපිරීම්වලින් පුද්ගලයාට හානී සිදුවේ. කතිර සලකුණ ඇත්තේ රවි මණ්ඩලය යට නම්(Q) හදිසි වැටීම් නිසා හිසට සිදුවන අනතුරක අනාවැකියකි.කතිරය ඇත්තේ බුධ මණ්ඩලය යට ශිර්ෂ රේඛාව උඩ නම් (R) විද්‍යාත්මක හෝ කර්මාන්තවලදී පිපිරිම් නිසා හිසට අනතුරු සිදුවන බව පෙන්නුම් කරන ලක්ෂණයකි.

සංචාරක රේඛා හෙවත් විදේශ ගමන් රේඛා අත්ලේ කිහිප ස්ථානයකින් ආරම්භ වන අතර කුමන ස්ථානයකින් ආරම්භ වුවත් එම සංචාරක රේඛාවක් කතිර සලකුණකින් අවසන් වන්නේ නම් (L) බලාපොරොත්තු කඩවුණ සංචාරයක් පුද්ගලයාට හිමිවේ. බොහෝ දුරට විදෙස් ගමන අවසන් කර පැමිණියත් ගමන ආරම්භයේදි ඇති කරගත් සැලසුම් කිසිවක් ඉටු කර ගැනීමට නොහැකි වේ. බන්ධන රේඛාවක හෙවත් විවාහ රේඛාවේ කතිරයක් ඇති වි රේඛාව පහතට නැවේ නම් (M) හදිසි අනතුරකින් සහකාරිය හෝ සහකරු මිය යාම සිදුවන ලක්ෂණයකි.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ

මනෝ විද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක, මාතලේ නාඋල

බී.ඒ ජයවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.