මේෂ ලග්නයෙන් උපන් ඔබට හිමි අහිමි දේ

මැයි 10, 2024

 

මේෂය රාශි චක්‍රයේ ප්‍රධාන රාශිය වන අතර චර රාශියකි. තේජෝ බලය අඩංගු වේ. පි‍්‍රයමනාප රැවුල බෙල්ල ඇති බැවින්ද යුක්ත වන අතර ඉතා කඩිසර ගති ඇතිවේ. එළුවකුගේ රූපසටහන මේෂයේ සංකේතයයි.

තදබල සටන්කාමී බල ලෝභී අඟහරු හෙවත් කුජට අයත් උෂ්ණ රාශියකි. මේ ලග්නයෙහි උපත ලද අය සටන්කාමී අදහස් ඇති ඉදිරියට යන තේජවන්ත ගති ඇති ජයග්‍රහණ ලබන අනුන්ට යටත් නැති භාර්යාවට ස්වාමි පුරුෂායට ආදරය ශක්තිය ඇති නිතරම කෑම බීම ඕනෑ කරන ආඩම්බර ගති ඇති අයවලුන් වේ.

තියුණු නුවණක් ඇති සටනට කැමති විශාල දේවල් ගැනම හිතන ඒවා කරගෙනයාමට හැකි යුක්ති සහගත අය වේ. ඉවසිලි නැති ගතිය සමාදානයට ගරු නොකිරීම සුළු දේවල් කිරීමට ඇති අකමැත්ත දුර්වලකම් හැටියට පෙනේ.

මේෂ ලග්නයෙන් උපන් අයගේ දෙවැනි ස්ථානය වෘෂභ රාශියයි. ධනස්ථානය අයත් වන්නේ කිවි හෙවත් සිකුරු ග්‍රහයාටයි. මේ වෘෂභය චන්ද්‍රයාගේ උච්ච රාශියයි. ඔබේ ජීවිතයේ සෑම දෙයක්ම සිදු වන්නේ මේ සිකුරුගේ බලයෙහි කලාකාමී කටයුතු ඇඳුම් කර්මාන්තය වැනි දේවලින් මුදල් ඉපැයීමට හැකිවේ. විවාහයෙන් ධනය ලැබීමට වාසනාව ඇත. යටවරකම හා ඉවසීම ඇති කර ගත යුතුය. නැතිනම් ධනය සම්බන්ධ විරුද්ධවාදීකම් ද නඩු හබද ඇති වීමට ඉඩ ඇත.

මේෂ ලග්නයෙන් තුන්වැනි ස්ථානය මිථුනයයි. සහජ ස්ථානය වන මෙය අයිතිවන්නේ බුධ ග්‍රහයාටයි. ඉගෙනීමේ හා ලිවීමේ ශක්තිය ඇතිවන අතර චංචල ගතිය සිතේ බල පැවැත්වේ. ස්ථාන වෙනස්වීම් ඇති වේ. ඔබට සහෝදර සහෝදරියන් ඇත්නම් ඔවුන් උගත් බුද්ධිමත් අය වනවා මෙන්ම වෙළෙඳ ව්‍යාපාර ආදී කටයුතුවලට දක්ෂ අය වෙති. නෑයන් අතර ඔබේ සම්බන්ධය අඩුවේ. පවුලේ කැපී පෙනෙන තැනැත්තා ඔබම වේ. ගරු සම්මාන ලබන අතර ජීවිතය උසස් තත්ත්වයට පත්වේ. උපාය සහගත ඥානය නිසි ලෙස යොදා ගැනීමෙන් ඔබ දියුණුවට පත්වේ.

මේෂ ලග්නයෙන් ජනිත ඔබගේ කේන්ද්‍රයේ සිව්වැන්න අයිති වන්නේ චන්ද්‍රයාට වේ. කටක රාශිය වන එය ගුරුගේ උච්ච රාශිය වේ. ඉඩම් කඩම් යාන වාහන හිමිකම් ලැබීමට වාසනාව ඇත. සමහර වැඩ කටයුතු සැක සහිත වේ. නැතිනම් එම වැඩ අවසානයක් නොවේ.

මේෂ රාශියෙන් පස්වැනි රාශිය වන්නේ සිංහ රාශියයි. එය රවිට හෙවත් ඉරුට අයත් ස්වක්ෂේත්‍ර භවන වේ. ව්‍යාපාර කටයුතුවලින් සැපත සතුට පී‍්‍රතිය ඇතිවේ. ව්‍යාපාර කටයුතු සාර්ථකව කිරීමටද හැකිවේ. හිතුවක්කාර ගති පැවතුම් නිසා කලහකාරී අවස්ථා උදාවේ.

මේෂ රාශියෙන් හයවැනි රාශිය කන්‍යා රාශියයි. එය බුධට අයත් වේ. රාහුගේ උච්ච රාශිය වශයෙන් ද සැලකේ. ස්නායු සම්බන්ධ රෝග ලෙහෙසියෙන් වැලඳේ. ශරීරයේ අධික උෂ්ණ ගතියක් පවතී නෑමට අපි‍්‍රය ගතියක් ඇතිවේ. වතුර නිසාම රෝග පීඩාවලට ගොදුරුවේ. නින්ද නොයෑම, හදිසි ක්ලාන්ත ගති ඇති වීම, උෂ්ණ රෝග මේ රෝගාබාධ රෝග වශයෙන් සෑදේ.

මේෂ රාශියෙන් හත්වැනි රාශිය වන්නේ තුලා රාශියයි. එය සිකුරුට අයත්වේ. සෙනසුරු හෙවත් ශනිගේ උච්ච රාශියයි. අභිවෘද්ධිය ඇතිවන සුහද විවාහයත් සිදුවේ. විවාහ ජීවිතය සාර්ථක ලෙස ගෙනගිය හැකිය. දූ දරුවන් නිසා පී‍්‍රතිය සැනසීම ගෙන දෙයි. සිකුරුටම දෙවැනි ස්ථානය අයිතිවන නිසා අපලකාරී හිරි හැර දායක විවාහ ජීවිතයක් ඇති වීමට හේතු ඇත. හදිසි තීරණ ඇතිවීමටද හේතු මතුවේ. විවාහ වීමේ දී පොරොන්දම් පරීක්ෂණයත් කළ යුතුය. කරදරවලින් මිදීමට එය හේතුවනු ඇත.

දේශපාලන කටයුතුවල නියැළීමේදී හිතුවක්කාරගති බලපැවැත්වීම නිසා විරුද්ධවාදීන් ඇතිවේ. කේන්ද්‍රයේ උප්පත්ති ග්‍රහබලය අනුව සතුරන් මර්දනය කිරීමට හැකිවේ.

මේෂ රාශියේ අටවැනි රාශිය වන්නේ වෘශ්චික රාශියයි. එය කුජට හෙවත් අඟහරුට අයත් වේ. මරණය සිදු වන්නේ ඉතා හදිසියෙනි. මහජනයා අතර ප්‍රසිද්ධියට පත්වන මරණයක් වන අතර ශරීර සෞඛ්‍ය නොසලකා ක්‍රියා කිරීම වීර ක්‍රියාවකට සම්බන්ධ වීම හේතු කොටගෙන මරණය සිදුවේ.

මේෂ රාශියෙන් නවවැන්න අයත් වන්නේ ධනු රාශියටයි. ධර්මස්ථානය භාග්‍යස්ථානය වන මේ ස්ථානය ගුරුට හෙවත් බ්‍රහස්පතිට අයත්වේ. ආගම ධර්මය කෙරෙහි සිත ඇදී ගියහොත් හොඳ භක්තිමතෙක් වේ. එසේ නොවුණහොත් ආගම කෙරෙහි කිසිම තැකීමක් කරන්නේ නැති අයකු වෙයි. ක්ෂණික අදහස් ස්වභාවයෙන් බලපැවැත්වෙන බැවින් අමනාපකම් හා විරුද්ධකම් සිත තුළ තබා නොගනී. සතුරු කරදර හේතු කොටගෙන ඒවායින් ගැලවීම සඳහා ස්ථාන වෙනස් කිරීමට සිදුවේ. නින්දා අපහාස කරන සතුරු පිරිසක් ද ඇතිවේ.

මේෂ රාශියෙන් දසවැනි රාශිය වන්නේ මකර රාශියයි. එය සෙනසුරුට අයිති වේ. කුජගේ උච්ච රාශියයි. උසස් සමාජ තත්ත්වයක් හිමිකර ගැනීමේ බලය ඇත. වීර ක්‍රියාවලට කැමැත්තක්ද දක්වයි.

කඳුකර ප්‍රදේශවලට කැමතිය. ගරු සම්මාන මෙන්ම උසස් සමාජ තත්ත්වයක් ලබා ගැනීමට වාසනාව ඇත. සිත කය වෙහෙසා කරන වැඩවලින් හමුදා පොලිස් සේවය, මහජන කටයුතුවලින් උසස් තත්ත්වයක් හිමි කර ගත හැකිවේ.

මේෂ රාශියේ උපන් අයගේ එකොළොස්වැනි රාශිය වන්නේ කුම්භ රාශියයි. එය සෙනසුරුටම අයත් වේ. නා නා විවිධ ක්‍රමවලින් ධනය ලබන මාර්ග ඇතිවේ. මිතුරන්ට ඉතා කැමැතියි. උසස් මිතුරන් ආශ්‍රයට ලැබේ.

මේෂ රාශියෙන් උපන් අයගේ වැයස්ථානය හෙවත් දොළොස්වැනි රාශිය වන්නේ මීන රාශියයි. එය ගුරුට අයත් වේ. සිකුරුගේ උච්ච රාශියය. මිත්‍ර වේශයෙන් පැමිණ හතුරුකම් කරන පිරිසක් ඇතිවේ. මේ නිසා දියුණුවට බාධා ඇතිවේ. පිට පළාත්වලද ඇතිවන සතුරන් නිසා අනතුරු අලාභහානි ඇති වේ. උප්පත්ති ග්‍රහ තත්ත්වය අනුව මේ කරුණුූවල පල අඩුවැඩිවීමට හේතුවේ.

මේෂ ලග්නයෙන් උපන් අයට රවි, ගුරු හැමවිමට සුබපල ගෙන දෙන දෙයි. පහ, නවය යන ත්‍රිකෝණ ස්ථාන මේ දෙදෙනාට අයිති බැවිනි. මේ දෙදෙනාගේ මහ දශා අතුරු දශා විදශාවලදී යහපත් සුබපල උදාකරයි. දියමන්ති සුදුනිල් මැණික් පැලඳීම සුබයි.

 

 

ඡ්‍යොතිෂවේදී, සෝමපාල විජේසූරිය 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.