වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
තේරෙන බසින් ඡ්‍යොතිෂය කියා දුන් ආචාර්ය පියසේන රතුවිතාන
ජීවිතයට ආත්මීය බැඳීමක් එක්කළ තම පියාගේත් පුතුගේත් කේන්දර පරීක්ෂා කර බැලූ නක්ෂත්‍රකරුවන් පැවැසූ අසුබ අනාවැකි කන වැකෙනාතුරු ජ්‍යෝතිෂ ශාස්ත්‍රය පිළිබඳව කිසිවක් ඔහු දැන සිටියේ නැත. එනමුත් ජ්‍යෝතිෂවේදීන් පැවැසූ ඒ අනාවැකි අසත්‍ය යැයි සිතා පසෙක ලන්නට ද ඔහුට සිත ඉඩ දුන්නේ නැත. මේ අනාවැකිවල සත්‍ය අසත්‍යතාවය තමා විසින්ම දැන ගන්නට ඔහුට අවශ්‍ය විය. එනිසාම තමා නොදන්නා ජ්‍යෝතිෂ ශාස්ත්‍රය ඉගැනුමට ඔහු අත්පොත් තැබුවේය. ‘‘මට මේ ශාස්ත්‍රය ප්‍රගුණ කළ හැකියි.‘‘ දෙගිඩියාවක් සිතේ නොතබාම ඔහු සිතුවේය. එලෙස උට්ඨාන වීර්යයෙන් පැමිණි ගමන් මඟ අවසන කෙළවර වූයේ ආචාර්ය පියසේන රතුවිතාන යන නාමය ජ්‍යෝතිෂ්‍ය අඹරේ නොමැකෙන ලෙස සනිටුහන් වීමෙනි. මේ ලියැවෙන්නේ ඔහු පැමිණි ඒ ගමන් මඟ පිළිබඳවයි.
‘‘මගේ ලොකු පුතා උපන් අවස්ථාවේ ඔහුගේ උපන් වෙලාව බැලූ දෛවඥයකු පවසා සිටියේ අවුරුදු දොළහේ දී පුතාට මාරකයක් පවතින බවයි. මා එයින් බලවත් කම්පාවටත් තිගැස්මටත් පත් වුණා. මෙයට විසඳුමක් සෙවීමට මම ජ්‍යෝතිෂය ප්‍රගුණ කරන්නට වුණා. ඕ.ඒ. පෙරේරා, මානවසිංහ වැනි ජ්‍යොතිෂවේදීන්ගෙන් මම යම් යම් කරුණු ඉගෙන ගත්තා. ඊට අමතරව ජ්‍යොතිෂවේදය ගැන පොත්පත් කියෙව්වා. ජ්‍යෝතිෂ ශාස්ත්‍රය හැදෑරීමේ දී මට ගුරුවරයා වුණේ කෑගල්ලේ සාර ගුරුන්නාන්සේයි. ‘‘
ඔහු තමන් ජ්‍යෝතිෂය හැදෑරීමට මුල් වූ හේතූන් සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතට එලෙස විස්තර කර තිබුණා. ඒ වගේම ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය ප්‍රගුණ කරන්නට හේතු වූ තවත් සිදුවීමක් වූයේ පියසේන රතුවිතානයන්ගේ පියාට ද මාරකයක් උදාව ඇති බව හඳහනේ සටහන්ව තිබෙනු දැකීමයි. ඒ පිළිබඳව වරෙක ඔහු මෙලෙස පවසා තිබිණි.
‘‘මං කොළඹ නාලන්දා විද්‍යාලයේ උගන්වන කාලෙදි ගමේ ගෙදර සිටි තාත්තා වැටුණා. මං තාත්තගේ කේන්දරේ බලලා තිබුණේ. මාරකයක් තිබුණොත් තාත්තා මැරෙන්නේ තිර රාශියේ. ඒ කියන්නේ ගෙදරදී. කෙනකුගේ මරණය තිර, චර, උභය කියලා බෙදෙනවා. තිර නම් ගෙදර. උභය නම් ඉස්පිරිතාලේ. චර නම් මහා මාර්ගයේ. කළුතර රෝහලේ වෛද්‍යවරයෙක් ළඟට තාත්තා ගෙනිච්චා. දොස්තර මහත්තයා කිව්වේ වැඩක් නැහැ ගෙදර ගෙනියන්න කියලා. මං කිව්වා ඉන්ජෙක්ෂන් එකක් හරි ගහන්න කියලා. මට ඕන වුණේ තාත්තා ඉස්පිරිතාලෙට ගෙනියන්න. එහෙම ගෙනිච්චොත් තාත්තා ජීවතුන් අතර ඉන්නවා කියලා මං දන්නවා. වින්ටෝ බෝතලයක් මඟදි පොවලා තාත්තාව මං කොළඹ ජාතික රෝහලට ගෙනිච්චා. කොහොමහරි විශේෂඥ වෛද්‍යවරයකු ප්‍රතිකාර කරලා තාත්තා සනීප කළා. එදා ජ්‍යෝතිෂය ගැන මට ඇති වුණු විශ්වාසය සමඟ ඡ්‍යොතිෂවේදය පැත්තට මං නැඹුරු වෙන්න ගත්තා.‘‘ එලෙස ජ්‍යෝතිෂ ශාස්ත්‍රය හැදෑරූ ආචාර්ය පියසේන රතුවිතානයන් ජ්‍යෝතිෂයට මෙන්ම ගුරුවරයකු ලෙස සමාජයට කළ සේවය අපමණය.
උපත
1931 ඔක්තෝම්බර් මස 15 වැනිදා කළුතර කොහොලාන ගම් පියසේ දරුවන් හත් දෙනකුගෙන් යුතු ගොවි පවුලකට දාව උපත ලද පියසේන රතුවිතානයන් එම පවුලේ වාසනාවන්ත මද්දුමයා විය. උඳුපිටිය කංකානම්ගේ මැන්සි නෝනා සහ සයිමන් රතුවිතාන යුවළ පියසේන රතුවිතානයන්ගේ මවත් පියාත් වූහ. පියසේන රතුවිතානයන් උපත ලබන විට උදාවී පැවැතියේ මිථුන ලග්නයයි. වේලාපත්කඩ බැලූ ජ්‍යෝතිෂවේදියා රතුවිතාන යුවළට පවසා තිබුණේ මේ දරුවාගේ කේන්දරයේ ග්‍රහ පිහිටීම් අනුව කෙදිනක හෝ රටේ ප්‍රසිද්ධ විද්වතෙක් වනු ඇති බවයි. එනිසාම කිසිදා පාසල් නොගිය අකුරු නොදත් ඔහුගේ මව් පියන්ගේ ඒකායන අරමුණ වූයේ කෙසේ හෝ තම පුතු අධ්‍යාපනයෙන් ඉහළට යනවා දැකීමයි. ජීවිකාව ලෙස ගොවිතැන් බත් කළ රතුවිතාන පවුලේ ජීවිත කොපමණ අඟහිඟකම් තිබුණද සතුට සෙනෙහස පිරී කළුගඟේ සිහිල් දිය දහරාවෙන් පෝෂණය වෙමින් ගලා ගියේ අපූර්වත්වයෙන් යුතුවය.
අධ්‍යාපනය
මවු පියන්ගේ මඟ පෙන්වීම මත තම මුලික අධ්‍යාපනය සඳහා කුඩා පියසේන ඇතුළත් කරනු ලැබුවේ කොහොලාන බෞද්ධ මිශ්‍ර පාඨශාලාවටයි. පාසල් කල සිටම පුවත්පත් කියැවීමටත් ඒවාට ලිපි ලිවීමටත් ඔහු දක්ෂතා දැක් වූයේය. තම අතට අසුවන කුමන හෝ පොතක් කියවීමත් දිනමිණ, සිළුමිණ, සිංහල ජාතිය පුවත්පත් කියවීමත් කුඩා කල සිටම ඔහුගේ දිවියේම කොටසක් විය. බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන්ම ජ්‍යේෂ්ඨ පාඨශාලා විභාගය සමත්වීමට රතු විතානයන් භාග්‍යය ලැබුවේය. උසස් අධ්‍යාපනයෙන් පසුව ඉංග්‍රීසි භාෂාව හැදෑරීම සඳහා ඔහු විලියම් මහතා නැමැති දුම්රිය ස්ථානාධිපතිවරයා වෙත ගියේය. එමඟින් ඉංග්‍රීසි බස ප්‍රගුණ කළ රතුවිතානයන් ඉන් පසුව 1959 වසරේ දී ගුරු සහතික පත්‍ර විභාගයට මුහුණ දී ගුරු පුහුණු පාසලට ඇතුළත්ව ගුරුවරයකු ලෙස කළ යුතු සේවය පිළිබඳව මනා පුහුණුවක් ලබා ගුරු ජීවිතය ඇරැඹීය. එදා විලියම් ඉංග්‍රීසි ගුරුවරයාගෙන් ඉංග්‍රීසි බස උගැනුමට ගිය ගමන රතුවිතානයන්ගේ දිවියම වෙනස් කරන මාවතකට ඔහු යොමු කරවන්නට සමත් විය. එහිදී වෝල්ටර් පෙරේරා නම් වූ ජායාරූප මාධ්‍යවේදියා ඔහුට මුණ ගැසුණි. ඒ ඇසුර නිසාම ඔහුට මාධ්‍යවේදීන් මෙන්ම පන්සල් ගණනාවක උගත් ස්වාමීන්වහන්සේලා ද ඇසුරු කරන්නට හැකි විය. ඒ ඔස්සේ සිංහල සාහිත්‍ය දැනුම, ආගම දහම පිළිබඳ බොහෝ දේ ඉගෙනුමට ඔහුට හැකි විය. එලෙසම පුවත්පත් සඳහා නිරන්තරව ලිපි ලිවීමට ද හැකි විය.
‘ගුරු පුහුණු විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ මං ලේඛන කලාව ආරම්භ කළා. පත්තරවලට ලිපි, කවි එහෙම ලිව්වා. ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ මහතා කර්තෘ වූ “නවයුගය” සඟරාවට හුඟක් ලිපි ලිව්වා. “මිහිර” පුවත්පතට “වැලිබත” “මහදැනමුත්තා ආපසු එයි” , “කවි පැටව්” සහ “පචගහයට” යන රස හැඟුමන් ජනිත කරවන විචිත්‍රාංග ලිව්වා. ‘ යැයි වරෙක ඔහු පවසා තිබුණි. 60 - 70 දශකයේ උපත ලැබූ වැඩි පිරිසක් ‘වැලිබත‘ ඇතුළු රතුවිතානයන්ගේ විචිත්‍රාංග කියවීම පුරුද්දක් කර ගෙන තිබුණි. එලෙසම ළමයින් වෙනුවෙන් මෙන්ම වැඩිහිටියන් වෙනුවෙන් ඔහු ලියූ පොතපත විශාලය. ඒ අතර කවි, කතාන්දර පොත් බහුලය. එලෙසම පසුකලෙක ජ්‍යෝතිෂ ශාස්ත්‍රය වෙනුවෙන් රචනා කරන ලද පොත් විශාල ගණනකි.
ගුරු සේවය
පරමවිඥානාර්ථ බෞද්ධ සමාගමේ දෙහිවල පිහිටි විද්‍යාලයක වසර දෙකක් පමණ ඉගැන්වූ පියසේන රතුවිතාන ගුරුවරයා ඉන්පසුව රටේ විවිධ පාළාත්වල පාසල් 27ක පමණ ඉගැන්වීම් කටයුතු සිදුකළේය. කොළඹ නාලන්දා විද්‍යාලය, මාතර රාහුල විද්‍යාලය, කඹුරුගමුව මහා විද්‍යාලය ඒ පාසල් අතර කිහිපයකි. ඔහු විදුහල්පතිවරයකු බවට පත්වන්නේ ද අරුම පුදුම ලෙසය. ඒ බැව් ඔහු පැවැසූ අයුරු ලිපියක මෙලෙස දැක්වේ. ‘මට විදුහල්පති ධුරය ලැබුණේ හිටිවන කවියක් කියලා. ඒක රසවත් කතාවක්. මාතර කවි සම්මේලනය තිබුණේ මාතර සුජාතා විද්‍යාලයේ. ඊට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූයේ එවකට අධ්‍යාපන ඇමැති බී.වයි. තුඩාවේ මහතා. හවස්වරුවක කවි සම්මේලනය තිබුණේ. එකපාරටම විදුලිය විසන්ධි වුණා. විදුලිය නැති නිසා සභාවේ පොඩි පොඩි කෑකෝ ගැසීම් ඇති වුණා. මං අමාරුවෙන් කළුවරේ වේදිකාවට ගියා. ගිහිල්ලා හිටිවන කවියක් කිව්වා. ඒ කවි අහගෙන සිටි අධ්‍යාපන ඇමැතිවරයා මා ගැන සතුතට පත්වුණා. පැපිලියානේ මෙතෝදිස්ත විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස වැඩ බාර ගන්න කිව්වා. පසු කළෙක පැපිලියාන සිරි පැරකුම් විද්‍යාලය කියලා මං ඒ ඉස්කෝලේ නමත් වෙනස් කළා.‘ සාහිත්‍යයෙන් කවියෙන් මෙන්ම භාෂාවෙන් ද පිරිපුන් මෙම ගුරුවරයාගේ ඉගැනුම් ක්‍රමවේදය පාසලේ සියලු සිසු සිසුවියන්ගේ ගෞරවාදරයට ලක් වූයේය. එලෙස ඔහු දශක හතරකට වැඩි කාලයක් තිස්සේ සුවහසක් දූ දරුවන්ගේ නැණැස පෑදුවේ උතුම් ගුරු පියකු ලෙසත් ග්‍රන්ථ රැසක් රටට දායාද කළ ලේඛකයකු, සාහිත්‍යකරුවකු, කවියකු හා ගීතරචකයකු ලෙසය.
විවාහය
තම වෘත්තීය දිවියේ මෙන්ම පෞද්ගලික දිවියේද ඉතා වාසනාවන්ත වූ එතුමා විවාහ වුයේ 1965 වසරේ ජනවාරි 08 වැනිදාය. ඒ ගුරුවරියක වූ පල්ලේ කංකානම්ගේ දෝන දොස්ලින් විජේගුණවර්ධන සමඟිනි. පුතුන් දෙදෙනකුගේ සහ දූවරුන් දෙදෙනකුගේ මවුපියන් වූ රතුවිතාන යුවළට මුනුපුරු මිනිපිරියන් පස්දෙනෙකි.
ජ්‍යෝතිෂ මෙහෙවර
2009 වසරේ දී ආචාර්ය පියසේන රතුවිතාන මහතා ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබුවේ ජ්‍යෝතිෂය වෙනුවෙන් හා සාහිත්‍ය කලාව වෙනුවෙන් කළ සේවය උදෙසාය. ඡ්‍යොතිෂයේ ඇති ග්‍රහ යෝග පිළිබඳව තොරතුරු එක් රැස් කර රචනා කළ “යෝග 550” නම් කෘතියට එතුමා “ආචාර්ය” උපාධිය එලෙස හිමිකර ගත්තේ ය. සුබසෙත පුවත්පතේ ද හිටපු උපදේශක කර්තෘවරයකු වූ ඒ මහතා සංකීර්ණ ඡ්‍යොතිෂ සිද්ධාන්ත සරල සුමඟ භාෂාවෙන් සාමාන්‍ය ජනතාවට පැහැදිළි කිරීමේ අති දක්ෂයකු විය. ජ්‍යෝතිෂවේදයේ පර්යේෂණ හා ගවේෂණ කටයුතු සාමාන්‍ය ජනතාවට වඩා ප්‍රයෝජනවත් වන ලෙසත් ජ්‍යෝතිෂ ආචාර්යවරයකු භාෂා විශාරදයකු ලෙස ඔහු ඉටු කළේ සද්චේතනාවෙනි. ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ 40 වසරක පමණ අද්දැකීම් සහිත මෙතුමා මිනිස් ජීවිතයේ දුක්කම්කටොළු දෙස විනිවිදව බලා ඒවාට පිළියම් ලබා දුන්නේය. මෙරට සිටි රාජ්‍ය නායකයින්ගේ සමීප ඇසුර ලැබූ ඡ්‍යොතිෂවේදීන් අතළොස්ස අතර මෙතුමාද විශේෂ වෙයි.
වර්තමානයේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳව රචනා කර ඇති කෘති අතර මෙතුමාගේ පොත් 66ක් පමණ වන අතර නවකතා කෙටිකතා සමඟ සියලු පොත් සංඛ්‍යාව 100ක් පමණ වේ. වසර ගණනාවක් තිස්සේ මෙරට පරම්පරා ගණනාවක් වෙනුවෙන් සුවිශාල දායකත්වයක් සපයනු ලැබූ මේ විද්වතා අනූ එක් වසරක් ආයු වලඳා 2022 වසරේ අප්‍රේල් 14 වැනි දා දිවි රඟමඬලෙන් බැස ගියේය.