කඩවර කංකාරියේ සුල මුල

කතරගමදී 30දා පැවැත්වෙන අතිශය දුර්ලභ කඩවර යක් කංකාරිය වෙනුවෙනි.
ජුනි 23, 2023

මම මුහුණු පොතේ සැරිසරන අතර කාලෙකින් හමුවන අමුතු පෝස්ටුවක් දුටුවෙමි. එය පළ කර තිබුණේ ආචාර්ය රංග කලන්සූරිය සොයුරාගේ වෝලයේය. ‘කඩවර යක් කංකාරිය‘- අතිශය දුර්ලභ ශාන්තිකර්මයක් යනුවෙන් එහි සඳහවන්ව තිබිණි. නිසගයෙන්ම මෙවැනි  පිළිබඳ ඇති කුහුල ඇවිස්සී ගිය මම ඔහුට දුරකථනයෙන් ඇමතුවෙමි. මෙවර ශාන්තිකර්මයට සාම්ප්‍රදායිකව බුලත් දී ආරාධනා කර ඇත්තේ ඔහුය. ඒ පිළිබඳ කෙටි විස්තරයක් සමඟ මේ ශාන්තිකර්මයේ ප්‍රධාන යකැදුරා ඇතුළු පිරිස මා හට හඳුන්වා දීමට ඔහු නිර්ලෝභී විය.“අපි 2019 තමයි මුල් වරට මේ ශාන්තිකර්මය එවක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කළේ. එවර කප් සිටුවීම ආදිය සිදු කරලා ශාන්තිකර්මයට මුල පිරුවා. කොවිඩ් නිසා පසුගිය කාලයේ ඒ කටයුතු ඇනහිටියත් මේ වසරේ අපි එය පවත්වන්න තීරණය කළා. සඳුදා කතරගම පෙරහැර පටන්ගන්න මොහොතේ සිට අප ඉන්නේ ඒ පෙදෙසේ.

 

“අපි 2019 තමයි මුල් වරට මේ ශාන්තිකර්මය එවක ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කළේ. එවර කප් සිටුවීම ආදිය සිදු කරලා ශාන්තිකර්මයට මුල පිරුවා. කොවිඩ් නිසා පසුගිය කාලයේ ඒ කටයුතු ඇනහිටියත් මේ වසරේ අපි එය පවත්වන්න තීරණය කළා. සඳුදා කතරගම පෙරහැර පටන්ගන්න මොහොතේ සිට අප ඉන්නේ ඒ පෙදෙසේ.

මෙවර අපි ලෙලි පොල් ගෙඩියක් පේ කරලා තමයි පටන් ගත්තේ. ඒ පොල් ගෙඩිය ගහෙන් බිමට කඩන්නේ නෑ. අතින් අරගෙන බිමට බහින්නේ. ලෙලිපොල් ගෙඩියේ ත්‍රිශූලයක් හුණුවලින් ඇඳලා තමයි පේ කරන්නේ. චාරිත්‍රානුකූලව ශාන්තිකර්මයට ආරාධනා කරන කෙනා කංකාරිය නටන්න කලින්දා යකැදුරන්ට දානයක් සූදානම් කරන්න ඕනෙ. මෙවර ඒ පේබත අප දෙන්නේ 29 වැනිදා. එයට වෙනම කෑම වට්ටෝරුවක් තිබෙනවා සකසන්න. එහි පුළුටු හැටියට හාල්මැස්සන් කරවල අයත් වුණත් කතරගම පෙරහැර වෙනුවෙන් අප නිර්මාංශව සිටින නිසා පුළුටු නැති පේබතක් තමයි සූදානම් කරන්නේ.

සෙනෙවිරත්න මුල් කඩවර ඇතුළු කඩවර කට්ටුව වෙත පිදෙන කඩවර කංකාරි ශාන්තිකර්මය රජරට ප්‍රදේශයෙන් ආරම්භ වෙලා උඩරට, පහත රට, සබරගමු සම්ප්‍රදායන් ඔස්සේ රටපුරා ව්‍යාප්ත වෙලා තිබුණත් ඒ ගුරු පරම්පරාවල පිරිස අහිමි වීමත් සමඟ ක්‍රමයෙන් අභාවයට යමින් තිබෙන්නේ.

ජනප්‍රවාදවල හැටියට කඩවර කංකාරිය මහනුවර, කුරුණෑගල, පොළොන්නරුව, බිම්තැන්න වැනි ප්‍රදේශවල කංකාරි පරම්පරාවලට උරුම වුණත් මේ වනවිට ඉන් ඉතිරිව සිටින්නේ කීප දෙනයි. මම ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කළ කාලේ එක්තරා දේවාලයකදි මට ඒ බව දැනගන්න ලැබුණා. පසුව ඒ පරම්පරා ගැන සෑහෙන්න හෙව්වා. අනුෂා ගෝකුල හිටපු සංස්කෘතික අධ්‍යක්ෂවරිය මට එක් ගුරුකුලයක අංක ලබා දුන්නා.

ඒ යකැදුරු මහත්මයා ඉතා වයසයි. ඒත් වැඩේ බාරගෙන තුන්මසකින් විතර මට කතා කරන්න කීවා. අදාළ කාලේ මම කතා කරද්දි එතුමා මෙලොව හැර ගිහින්. පසුව උපුලි පණිභාරත මහත්මිය මට නිශාන්ත රණපිටිය ගුරුන්නාන්සෙට කතා කරන්න කීවා. ඔහු කංකාරි ශිල්පියෙක්. ඔහු මඟින් තමයි මට බිම්තැන්න කඩවර ශාන්තිකර්ම පරපුරට අයත් බිම්තැන්නේ වනසිංහ මුදියන්සේලාගේ පරපුරේ අවසන් පුරුක ලෙස සැලකෙන හෝලිය බණ්ඩාර මහගෙදර සමන් කුමාර සමරනායක කියන මේ ශාන්ති කර්මයේ ප්‍රධාන යකැදුරු මුණගැහෙන්නේ. ඔහු මගේ පෙරැත්තයට කන් දීලා මේ කටයුත්තට එකඟ වුණා. කඩවර ඇත්තෝ දේවත්වයට පත් වුණ මූලස්ථානය හැටියට සලකන්නේ කතරගම නිසායි අප මෙහි ශාන්තිකර්මය කතරගම පෙරහැරට සමගාමීව පවත්වන්ට තීරණය කළේ. “

ඔහු ලබාදුන් තොරතුරු අනුව අපි සමන් කුමාර මහත්මා හමු වීමු. ඔහු වයස අවුරුදු හතළිහක පමණ පෙනුමැත්තෙකි. මගේ පළමු පැනය වූයේ ඔහු කෙසේ මේ ශාන්තිකර්ම කෙරෙහි නැඹුරු වූයේද යන්නයි.

“මට මේ උරුමය ලැබෙන්නේ මවු පාර්ශ්වයෙන්. මගේ සීයා මුදියන්සේ ඇදුරුතුමා සමඟ අවුරුදු හත අට කාලේ ඉඳන් මම මේ ශාන්තිකර්මවලට සහභාගී වෙනවා. මම අයිති මේ පරපුරේ 18 වැනි පුරුකට. මේ වයසට මම කඩවර කංකාරි හැට හැත්තෑවකට පමණ සහභාගී වී තිබෙනවා. මගේ පුතා තවම පුංචියි. මම විශ්වාස කරනවා මම වගේම පුතත් මේ දේවල් රැකගෙන අපේ උරුමය ප්‍රචලිත කරන්න දායක වෙයි කියලා.“

ඉන් පසු මගේ පැනය වූයේ කඩවර කංකාරිය යනු කුමක්ද යන්නයි. පැනය කෙටි වුවද විස්තරය දීර්ඝ බව දැනගෙන මම ඔහුට නිදහසේ එය පවසන්නට ඉඩ හළෙමි. “රංග මහත්තයා බුලත් දී ආරාධනා කළාම හුරුල්ලේ මුල් කොළය ආදි ඇත්තන්ට වෙන් කරලයි මුල පිරුවේ. මේ කංකාරියේ අතීත කතාව මෙහෙමයි.

“ධාතුසේන රජ සමයේ රජරට ප්‍රදේශයේ සෙනෙවිරත්න කියලා අහිංසක ගම්බද තරුණයෙක් තමන්ගේ බිරියත් සමඟ ජීවත් වුණා. දවසක් මේ බිරිය සමඟ ඇති වෙච්චි අඬදබරයක් දුරදිග ගිහින් ඒ බිරිඳ සෙනෙවිරත්නට වළඳකින් දමා ගැසුවා. වළං කට ඔහුගේ කර වටේ රැඳුණා. එයින් කලකිරුණු තරුණයා බිරිඳව අතහැර වන වැදී මුව රංචුවක් සමඟ අවුරුදු දොළහක් ජීවත් වුණා. රජ වාසලට දඩමස් සපයන වැද්දා මොහු සමඟ හාදයි. ඒ අතර වනය හරහා ගිය ගම්මුලෑදෑනියකු මේ හැඩි දැඩි තරුණයා කැලයේ සතුන් සමඟ වෙසෙනු දුටුවා. ඔවුන් මඟින් රජු මේ පුද්ගලයා පිළිබඳ දැනගෙන ඔහු වාසලට කැඳවන ලෙස සෙබළුන්ට අණ කළා.

රජු බැහැ දකින්නට ගිය සෙනෙවිරත්නට ඒ වන විට භාෂාව පවා අමතකව ගොස් තිබුණා. ගස් පොතු ආදිය බුදිමින් සිටි නිසා ඔහුගේ දිව ගොරෝසුයි. ඒ රළු ගතිය යන්න කොච්චි සම්බෝල සමඟ කැකුළු හාලේ බත් කන්න දෙන්න රජු නියම කළා. කතා කරන්න පුළුවන් තත්ත්වයට පත් වූ පසු සෙනෙවිරත්නගෙන් ධාතුසේන රජු විමසුවා මෙතෙක් කල් වනයේ දුටු නිධානය කුමක්ද කියලා.

කලවැලකින් වට වූ මහා ජලාශය තමන් දුටු විශාලම ධනය බව සෙනෙවිරත්න තරුණයා රජුට පැවසුවා. කලවැලක් තිබෙනවා කියන්නේ ජලය නොසිඳෙන තැනක් බව දැනමුත්තන් පැවසුවා. රජු පිරිවර සහ මේ තරුණයා සමඟ ඒ ජලාශය බලන්නට කැලයට ගියා. ඒ ජලාශය වටකොට බැම්මක් බැඳ මහා වැවක් තැනුවා නම් රටම සශ්‍රික කළ හැකි බව තරුණයා රජුට යෝජනා කළා. එයින් සතුටට පත් රජ ඒ කටයුත්ත සෙනෙවිරත්නටම බාර දී ඔහුට සිටුවර පදවියකුත් ගම්වරයකුත් දුන්නා.

ඔහු කලා වැව තනා නිම කරන්න මහත් උනන්දුවෙන් වෙහෙස මහන්සි වී කටයුතු කළා. සෙනෙවිරත්න නව සිටාණෝ පිළිබඳ ඇමැති මණ්ඩලය හිටියේ ඊර්ෂ්‍යාවෙන්. ඒ නිසා ඔහුට විරුද්ධව කටයුතු කළ හැකි අවස්ථාවක් එළැඹෙන තුරු බලාගෙන හිටියා.

කලකදී නියං සමයක් පැමිණ කලා වැව සි¼දීයන්නට වුණා. වැව දියවරින් යළි පුරවන්නට නම් පිරිතක් කිව යුතු බව සියලු දෙනා පැවසුවා. හැට නමක් ස්වාමීන්වහන්සේලා වැව් තාවුල්ලට වඩම්මා මහ පිරිතක් සජ්ඣායනා කරන්න සියලු කටයුතු සූදානම් වුණා. පිරිත නිම කළ යුත්තේ වැව පිරෙන විටයි. එය මනින්නේ වැවට සාපේක්ෂව වැසි දිය ප්‍රමාණය මනින කොරහට වැටෙන වතුර අනුපාතය අනුවයි. ඊර්ෂ්‍යාවෙන් පෙළුණු ඇමැති මණ්ඩලය මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන මහලු ශ්‍රමණ වේශධාරියකු ගෙන්වා මැනුම් කොරහට හැරමිටියෙන් හොරෙන් ඇණ යන්නට සැලසුම් කළා. පිරිත් ඇරඹුණා.

වැස්ස වලාහක දෙවියන් එයට කන් දුන්නා. වැව පිරෙන්න ගත්තා. ඒත් කොරහ හිල් වෙලා නිසා අනුපාතය සොයන්න බැරි වුණා. බැම්මට දරාගත නොහැකි තරම් දියවර පිරුණු නිසා වැව් බැම්ම එක් තැනකින් දෙකඩව පුපුරා ගියා. සෙනෙවිරත්න මෙය දකින විට විය යුතු සියල්ල සිදු වී හමාරයි. ඔහු මෙහෙම කෑ ගසා ඒ කඩ වුණු තැනට පැන්නා.

අය්යෝ මගේ වැව බිඳුණට දෙයියෝ වත් නැද්ද මෙමට

හයියෝ හඬ තලා එවිට පැන නැහුණයි එකඩවලට

කඩවල පැනලා නැසුණට කඩවර නම යෙදුණෙ ඔබට

මෙහෙම විස්ම දෙවියෙකු නැත ඔබින මෙ මුළු ලක් දෙරණට

සමන් කුමාර ඇදුරුගේ කවි තාලය මනරම්ය. ඔහු කී ඒ කවිය පිළිබඳ මම පසුව මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස සහ එච්. එම්. එස්. තුන්දෙනිය විසින් සංග්‍රහ කරන ලද සිංහල දේව පුරාණය කෘතියේ සොයා බැලුවෙමි. සුළු සුළු වෙනස්කම් සහිතව එය ඒ අයුරින්ම 194 පිටුවේ සඳහන් වන්නේ වැව්ගම් වාසීන්ගේ කඩවර දෙවියන් යටතේය. එහි කඩවර ඇත්තන්ගේ ස්වරූපය ද මෙසේ සඳහන් වෙයි.

පම්මුල්ලා රතු තොප්පිය සිරස දරාලා ඔප කොට

රැලි අල්ලා පේස රත්න නීලවර්ණ සළුව ඉණට

රත් නිල්ලා බීත රාම සැට්ටේ පොරවා දෙඋරට

බිසිබිල්ලා වැඳපල්ලා සෙනෙවිරත්න කඩවර හට

ඔවුන්ට අනුව කලා සිටාණන් ලෙසින් හැඳීන්වූයේ ද මේ සෙනෙවිරත්න සිටාණෝම ය. දෙපාර්ශ්වයේම කරුණු අනුව සෙනෙවිරත්න උන්නැහේ වැව් බැම්ම ආරක්ෂා කිරීමට ගත් වෑයම අසාර්ථක වීම නිසා අවසන කඩ වූ තැනින් පැන මිය ගොස් ඉපදුණේ රාක්ෂයකු ලෙස බව පැහැදිලි වෙයි.

සමන් කුමාර ඇදුරන්ට අනුව රාක්ෂයන් යනු යකුන්ට වඩා බල මහිමයක් ඇති පිරිසකි. ඔවුන්ට අහසින් යෑම වැනි දේට වරම් තිබේ. කඩවර වැව තැනුවේ ගොවියන්ට නිසා මේ රාක්ෂ තෙම ද ගොවියන්ට බෙහෙවින් එකතුය. එනිසා ගොවීන් විසින් ද ගොවතැන් කරන්නට පෙර ගසෙන් බිමට නොකැඩූ ලෙලි පොල් ගෙඩියක හුණුවලින් ත්‍රිශූලයක් ඇඳ කඩවර මුත්තා වෙනුවෙන් වෙන්කොට තම ගොවිබිම උන්වහන්සේට බාර දෙනු ලැබේ. එයින් ගොවි තැන් සාර්ථක වන බවත්, කෘමි උවදුරු, වන සතුන්ගේ හානි වළක්වා හොඳීන් අස්වනු නෙළා ගන්නට අවස්ථාව උදාවන බව ඔවුන්ගේ විශ්වාසයයි.

අස්වනු නෙළූ පසු සෙනසුරාදා දිනෙක විෂ්ණු කතරගම ආදී දෙළොස් දෙවියන්ට ද කිරි උතුරවා, අලුත් සහලෙන් කිරිබතක් උයා, ඇඹුල් කෙසෙල් ගෙඩියක්, අල්ලෙන් පිට පනින තරමට පිසූ හැඳී කැවුමක්, බුලත් විටක්, රත්මල් කීපයක් සහ විලක්කුවක් තබා තැඹිලි ගෙඩියකින් ගොටුවට පැන් වඩා කඩවර දෙවියන් වෙනුවෙන් ගොටු තුනක් හෝ හතක් පුද කරනු ලබයි.

එයින් ඔවුන් ලබන කන්නයේ ද අස්වැන්න සරු වන්නට කඩවර මුත්තාගේ බැල්ම පතනු ඇත. වැව් බැඳී රාජ්‍යයේ අදටත් මේ පිළිවෙත් ඒ අයුරින්ම කඩවර මුත්තා වෙනුවෙන් සිදු කරනු දක්නට ලැබේ.

වැවගම් වාසීන්ගේ කඩවර දෙවියන්ගේ උපත එසේ සිදු වුවද කොහොඹා යක් කංකාරියේ කඩවර ලක්දිවට පැමිණියේ කොහොඹා කංකාරිය සඳහා තුන් බෑ රජුන් ලංකාවට එන විට ඔවුන්ගේ අතවැසියකු ලෙස බව සිංහල දේව පුරාණයේ සඳහන් වෙයි. ප්‍රධානීන් සන්තානෙට පැමිණ බලද්දී කඩවර නොවූ හෙයින් උදහස් ව දුන් දඬුවම වූයේ ඉරුගල් බණ්ඩාර සමඟ එක්ව තේවය කරන ලෙසට අණ කිරීමයි. ඒ අනුව

මීන රාශියේ රේවත නැකතින්නේ

මන්ත්‍රි සහෝදර යාමේ උපදින්නේ

යන්ත්‍ර මන්ත්‍ර මඳකුත් නාසන්නේ

කළුගල් යකු හට ජාතක වන්නේ

ලෙසින් කඩවර කවිවල දක්වා ඇති බව සඳහන්ය.

ඒ ග්‍රන්ථයේ දැක්වෙන හියු නෙවිල් කාව්‍ය සමුච්ඡයේ ඇති කඩවර උපත අනුව මොනර වේශයෙන් පෙනී සිටින කඩවර මලයහල දේශයේ මහ රජුගේ අගමැතිවරයාය. ඔහු මලය රජු සමඟ සන්තාන තොටට විත් කෙළි පුද ගන්නෙකි. ඒ කඩවරත් මේ කඩවරත් අතර උත්පත්ති කතාවේ යම් යම් වෙනස්කම් තිබුණ ද බොහෝ කරුණුවල ඇත්තේ සමාන ස්වරූපයන්ය.

වැවගම වාසීන්ගේ කඩවර උන්නැහේ හෙවත් මේ සෙනෙවිරත්නගේ අභාවයෙන් උපන් කඩවර රාක්ෂයා ගොවීන්ට හිතවත් වුවද සාමාන්‍ය මිනිසුන්ට වරෙක හොඳත් වරෙක කේන්තියත් පාන්නෙකි. විශේෂයෙන් කාන්තාවන් සමඟ ඔහුට ඇත්තේ තරහකි. ඒ බිරිය වළඳෙන් ගැසූ සිදුවීම නිසාය. මෙසේ රාක්ෂස ස්වරූපයෙන් උපන් කඩවර උන්නැහේට පරිවාර සේනාවක් ද එකතු වෙයි.

මුලින්ම එක් වන්නේ දෙතිස් කඩවර පිරිවරයි. ඔවුන් නම් වශයෙන් ගත් කල හේලං කඩවර, මෝලං කඩවර, අවෙල් දෙවෙල් කඩවර, සැන්දෑ කඩවර, මද්දිම කඩවර, අලුයම් කඩවර, රීරි යක් කඩවර, දුමමාල කඩවර, පුළුටු කඩවර, වැදියක් කඩවර, කැලෑ කඩවර, කුමාර කඩවර, ගිනි කඩවර, සොහොන් කඩවර, භෛරව කඩවර, පිස්සු කඩවර, යම කඩවර, හිනා කවර, මදන කඩවර, සමයං කඩවර, තොට කඩවර, මල් කඩවර, විෂ්ණු කඩවර, වලියක්කුං කඩවර, සන්නාසි කඩවර, අභීමාන කඩවර, තෙල් කඩවර ආදී වශයෙන් නම්වලින් හඳුන්වන බව සමන් මහතා පවසයි. එවැනිම නම් රැසක් සිංහල දේව පුරාණයේ ද දක්වා ඇත. කෙසේ වෙතත් අපේ අරමුණ කොහොඹා කංකාරිය පිළිබඳ නොව කඩවර යක් කංකාරිය පිළිබඳ බැවින් සමන් ඇදුරුගේ කතාව වෙත වැඩිපුර යොමු වෙමු.

මේ දෙතිස් කඩවර හට ඇති පිරිවරත් සමඟ බලයට දෑලේ වඩින සමස්ත පිරිවර සැට දහසකි. දේව සභාවේ කඩවර දෙවියන්ට ඇති ස්ථානය පිළිබඳ අදහසක් මේ කවියෙන් ගත හැකිය.

රන් තොරණේ මුරකර සිටින කඩවර

වම් අතිනේ ගෙනයන මුගුරු හරසැර

රන් විමනේ වන් සල් ජනෙල් දොර හැර

ඉන් ඉතිනේ මල් තලු තේව කඩවර

මෙවැනි ස්ථානයක් කඩවර දෙවියන්ට ලැබුණේ පළමුව පත්තිනි මෑණියන් හමු වී ලබාගත් වරයෙන් නොසෑහී නොපැහැදීමෙන් පැමිණ ඇත් රජෙකු සමඟ ද සටන් කර ඌගේ දල කඩාගෙන එන අතර කතරගම දෙවියන් හමු වී පැවරූ දේවකාරිය නිසාය. ඒ දේවකාරිය ඉටු කිරීමට බාර ගැනීමෙන් පසු කඩවර දිව්‍යරාජයකු බවට පත් වූ බව ගැමි විශ්වාසයයි.

ඒ රාජකාරිය කුමක්ද? එය සිදු වූයේ කෙසේද යන්නත්, කඩවර දෙවියන්ගේ බලමහිමයත්, කඩවර දිව්‍ය රාජයාගේ පිරිවර විසින් තරුණියන්ට කරන බලපෑම් මෙන්ම තරුණයන්ට ඇති කරන අමුතු රෝගාබාධ හා ඒවායින් අත් මිදීමට කළ යුතු පිළියම් පිළිබඳවත් ලබන සතියේ හෙළි කරමු.

එයට හේතුව මේ කඩවරයක් කංකාරිය ලබන සිකුරාදා එනම් ජුනි 30 වැනිද පස්වරු 4.30 සිට කතරගම මහ දේවාලයේ පරිවාර කඩවර දේවාල පරිශ්‍රයේදී සිදු කෙරෙන බැවිනි. අහිමි වී යන අපේ සාම්ප්‍රදායික උරුමයන් දැක ගැනීමට කැමැත්තෝ මෙහි පැමිණෙත්වා!

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.