තත්කාලයෙන් අනාවැකි කියන කතෝලික ඡ්‍යොතිෂවේදියා

උදම් පෙරේරා
ජනවාරි 19, 2024

ජීවිතයට සදාතනික බැඳීමක් එක් කළ ඔහුගේ පියා අප කතානායකයාගේ කේන්දරය පරීක්ෂා කරවාගෙන නිවෙසට පැමිණ ඔහුගේ අධ්‍යාපනය පිළිබඳ පැවැසූ අසුබ අනාවැකිය කන වැකෙනා තුරු ඡ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳව ඔහු කිසිවක් විශ්වාස නොකළ අතර ඒ පිළිබඳ කිසිවක් ඔහු දැන සිටියේ ද නැත.

එනමුත් ඡ්‍යොතිෂවේදියා පැවැසූ ඒ අනාවැකි අසත්‍ය යැයි සිතා පසෙක ලන්නට ද ඔහුට සිත ඉඩ දුන්නේ නැත. මේ අනාවැකිවල සත්‍ය අසත්‍යතාවය තමා විසින්ම දැන ගන්නට ඔහුට අවශ්‍ය විය. එනිසාම තමා නොදන්නා ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ඉගැනුමට ඔහු අත්පොත් තැබුවේය. එලෙස පැමිණි ගමන් මඟ අවසන කෙළවර වූයේ උදම් පෙරේරා යන නම ද මෙරට සිටින ඡ්‍යොතිෂවේදීන් අතරට එක්කාසු කරමිනි. මේ ලියැවෙන්නේ උදම් පෙරේරා ඡ්‍යොතිෂඥයා ක්‍ෂේත්‍රයේ පැමිණි ගමන් මඟ පිළිබඳවයි.

ඡ්‍යොතිෂයට යොමුවීම

‘‘අපි කතෝලික පවුලක්. ආගමික පරිසරයක හැදුණත් සිංහල පවුලක් නිසා අපේ පවුලේ හැම දෙනාටම හඳහනක් තිබුණා. මගේ තාත්තාට ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ගැන පැහැදීමක් තිබුණා. කොහොම හරි තාත්තා දිනක් මගේ හඳහන බලවා ගෙන ආවා. ඒ වෙන කොට මට අවුරුදු 16ක් වගේ ඇති. ඔහු ඇවිත් මට කිව්වා ඔයාට නරක කාලයක් ලබලා තිබෙනවා කියලා. මේ කාලයේ ඔයාගෙ දියුණුව කඩා කප්පල් වෙන්න පුළුවන්. රාහු මහ දසාව ගත වන නිසා අධ්‍යාපනයට බාධා එන්න පුළුවන් කියල කිව්වා. මම එදා එය විශ්වාස කළේ නැහැ. මම ඔහුට කිව්වේ අපි කතෝලික. ඒ නිසා අපි ඒවා විශ්වාස කරන්න හොඳ නැහැ කියලා. ඒ තාත්තා කියපු දේවල් ඒ විදිහටම සිද්ධ වුණා. කරදර පීඩා ආවා. එතකොට තමයි මම මේකෙ මොනවා හරි ඇත්තක් තිබෙනවා කියලා හිතුවේ. ඒ අනුව මේ ශාස්ත්‍රය හදාරන්නට ඕන කියන සිතුවිල්ල මට ඇති වුණේ.‘‘

ඔහු තමන් ඡ්‍යොතිෂය හැදෑරීමට මුල් වූ හේතූන් එලෙස විස්තර කර සිටියේය. ඒ මෙන්ම තමන් මුල් කාලයේ ඡ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රය ප්‍රගුණ කළ අන්දම ඔහු මෙලෙස පවසයි.

ඡ්‍යොතිෂය හැදෑරීම

‘මම ඡ්‍යොතිෂය ශාස්ත්‍රයක් වශයෙන් ප්‍රගුණ කරන විට මට අවුරුදු 20ක් වගේ ඇති. ඒ කාලෙ මම නිතරම සුබසෙත පුවත්පත කියවුවා. හොඳ ලිපි එහි පළවුණා. ඒ ලිපි කියැවීමෙන් මගේ දැනුම දියුණු කර ගන්නට මට හැකි වුණා. ඉන්පසුව ජී.එම්. ගුණපාල මහත්මයාගේ සම්මන්ත්‍රණවලට නිතර සම්බන්ධ වෙලා ඡ්‍යොතිෂය පිළිබඳ දැනුම ලබා ගත්තා. විශේෂයෙන් මම මේ ක්ෂේත්‍රයට යොමු වුණේ මට තිබූ සුවිශේෂී හැකියාවන් නිසා කියලා හිතෙනවා. මට මතකයි කුඩා කාලෙ ඉඳල මට යම් යම් අනාවැකි කියන්නට පුළුවන්කම පැවතියා. පාසල් අවධියේදී මිතුරන් සමඟ චිත්‍රපටයක් නරඹන විට එහි අවසානය මට ඉවෙන් මෙන් කියන්න පුළුවන් කම තිබුණා. මම පවසන දේට මගේ මිතුරන් පුදුම වුණා. ඔවුන් මගෙන් විමසා සිටියා එහෙම කොහොමද කියන්නේ කියලා. ඒ ආකාරයෙන් යම් කිසි විදහකට මට ගුප්ත ඥානයකුත් පැවතියා. සමහර වෙලාවට මනුෂ්‍යයින් දිහා බලලත් අනාවැකි කිව්වා. ඒ හැකියාවන් ඡ්‍යොතිෂය ඉගෙන ගෙන එයට එකතු කළ විට හුඟක් අනාවැකි කීමේ හැකියාව දියුණු කර ගන්නට පුළුවන් වුණා. ‘‘ ඔහු තමාගේ ඡ්‍යොතිෂ හැදෑරීමේ ඇරැඹුම පිළිබඳව පවසන්නේ එලෙසිනි. පසුව ජ්‍යෙෂ්ඨ ඡ්‍යොතිෂවේදී පියසේන රතුවිතානයන් සුබසෙත පුවත්පත ඔස්සේ ආරම්භ කළ ඡ්‍යොතිෂ විද්‍යා පාඨමාලාව සාර්ථක ලෙස ලියන්නට උදම් පෙරේරාට හැකි විය. ඒ ඔස්සේ තම ඡ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳ දැනුම දියුණු කරගත් ඔහු ඡ්‍යොතිෂ ලිපි පුවත්පත්වලට ලියන්නට කටයුතු කළේය. ඔහු ඒ පිළිබඳ මෙලෙස පවසයි.

වරක් ජී.ඇම්. ගුණපාල මහත්මයා කේන්දරයක් විග්‍රහ කරමින් එනම් ඡ්‍යොතිෂ සිද්ධාන්ත විග්‍රහ කරමින් ලියන්නට ආධුනික ඡ්‍යොතිෂවේදීන්ට තරඟ අවස්ථාවක් පුවත්පතකින් ලබා දී තිබුණා. එලෙස ඉදිරිපත් කර තිබූ හඳහනට අනුව මෙයා මොනවගේ කෙනෙක්ද? යනාදී වශයෙන් කේන්දරය විස්තර කරමින් ලියන්නට තිබූ තරගයක්. මම එයට ලිව්වා. එය පැවැත්වූයේ අග්නිදිග ආසියාවේ රටවල්වලින් එකතු වූ දක්ෂ ඡ්‍යොතිෂවේදීන්ගේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස මහහෝටලයේ. එයින් මට මහෝපාද්‍ය සහතිකය හිමි වුණා. ඒ විදිහට තමයි මම ජෙයාතිෂයට යොමු වුණේ.‘

රාජගිරිය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ උදම් පෙරේරා ක්‍රීඩාවට ද දක්ෂයෙකි. ඔහු තම මව් පියන් පිළිබඳ මෙලෙස සිහිපත් කරන්නේය.

‘ මගේ මව රෝස් පෙරේරා. පියා රෙජී පෙරේරා. පියානම් දැන් ජීවතුන් අතර නැහැ. මගේ එකම සහෝදරිය දිලුම් පෙරේරා. ඇය විදෙස් ගතවී ඉන්නේ. 1970 ජනවාරි අටවැනිදා තමයි මම උපන්නේ ඒ කන්‍යා ලග්නයෙන්.‘ ඔහු පවසයි.

පුද්ගලයින්ගේ ජීවිත ගමන කෙසේ වේදැයි දැනගන්නට මේ ශාස්ත්‍රය උපකාරී වෙයි. හැම පුද්ගයකුටම මුල, මැද, අග යනාදී ලෙස ජීවිතය කොටස් තුනකින් යුතු වන බව කවුරුත් දනියි. මේ එක් එක් පුද්ගලයන් අතුරෙන් සමහරකුට මුල හොඳ වන අතර සමහර අයට අග හොඳ වේ. සමහර අයට මැද හොඳ වේ. එලෙස යමකු දියුණුවක් බලාපොරොත්තු වෙනවා නම් ඒ මොන කාලෙද දියුණුවක් ඇති වන්නේ? එලෙස තම දිවිය පිළිබඳ දැනගෙන අන්ධකාරයේ යන්නාට එළියක් ලබා දෙනවා මෙන් එම පුද්ගලයා ඉදිරියට යායුතු හරි මාර්ගය දැගන්න. කාහටත් ඡ්‍යොතිෂය උපකාරී වෙන බව උදම් පෙරේරාගේ අදහස වේ.

‘‘ මම ඡ්‍යොතිෂ කටයුතු වැඩි වශයෙන් සිදු කරන්නේ තත්කාලය ඔස්සේයි. ඒ ඔස්සේ අනාවැකි කියන්න ඉතා පහසුයි. සමහර අය ඉන්නවා තත්කාලයට අකමැති අය. අද වන විට සමාජයේ බොහෝදෙනා මුදල් බලාපොරොත්තුවෙන් තමයි ඡ්‍යොතිෂය කරන්නේ. සමහර අය මේක ඉගෙන ගන්නෙම මුදල් හම්බ කරන්න. එහෙම අය හින්දා මේ ශාස්ත්‍රය බොරුවක් බවට පත්වෙන අවස්ථා තිබෙනවා. ඔවුන් පවසන අනාවැකි පවා වැරදියි. අපලයක් තිබුණොත් ශාන්තිකර්මයක් තියෙනවා. ඒක කරන්න ඕන. එයට මෙච්චර ගාණක් යනවා යනාදි වශයෙන් තමන් ළඟට පිහිටක් බලාපොරොත්තුවෙන් එන අයට පවසනවා. ඒ මදිවට යන්ත්‍රයක් තියෙනවා. එය මෙච්චර ගාණක් වෙනවා. යනාදී වශයෙන් පවසමින් ජනතාවගේ මුදල් ගසා කනවා. හැබෑවටම ඒ යන්නත්‍රය පලඳීන්න අවශ්‍ය නොවන්නත් පුළුවන්. මේ විදිහට ඡ්‍යොතිෂවේදීන් කටයුතු කරන කොට ඡ්‍යොතිෂය කෙරෙහි සාමාන්‍ය ජනතාවට විශ්වාසය නැතිව යනවා. එවිට බොරුකාරයෙක් විදිහට ඡ්‍යොතිෂවේදියාව හඳුන්වන්නට සමාජය පෙලඹෙනවා. ඇත්තටම සමාජයේ අවංකව කටයුතු කරන ඡ්‍යොතිෂවේදියාට කේන්දරය හෝ වෙනත් සෙත් ශාන්තියක් කරගන්නට එන පුද්ගලයා ඒ සේවයට යම් පඬුරක් දියයුතුයි. එය යුතුකමක්. එහෙත් මම දකින විදිහට ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයාට තමා ළඟට එන පුද්ගලයාගෙන් වවාගෙන කන්නට අයිතියක් නැහැ. අද හැමතැනම ඡ්‍යොතිෂ පාඨමාලා. මාස හයෙන් කාර්යාල විවෘත කරනවා. මේවා මොනතරම් දුරට ඇත්ත ද යන්න පිළිබඳ සමාජය විමසිලිමත් විය යුතුයි.‘

හුඟක් දෙනෙක් ඡ්‍යොතිෂයෙන් පලාපල කියද්දී ගැඹුරු ක්‍රම වෙත යනවා. නමුත් මම කියන්නේ භාව කේන්දරයෙන්, තත්කාලයෙන් ඉතා පැහැදිලි පලාපලයක් පවසන්නට පුළුවන්. සරල විදිහට ඡ්‍යොතිෂය හදාරල සරල පලාපලයක් ජනතාවට පැවැසිය යුතුයි. එය තමයි මගේ ක්‍රමය වන්නේ.

ඡ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් සමාජයට වගේම ඡ්‍යොතිෂ ශාස්ත්‍රය හදාරන ආධුනිකයන්ට ද තමා රචනා කරන ලිපි ඔස්සේ මනා දැනුමක් ලබා දෙන උදම් පෙරේරා ඡ්‍යොතිෂවේදියා ඡ්‍යොතිෂ ශාස්ත්‍ර යෙන් සමාජයට සිදු කරමින් සිටින සේවය අපමණය. රාජගිරිය පෙදෙසේ නිහඬ පරිසරයකට වී පොත් පත් අතර ගැවසෙමින් ඡ්‍යොතිෂ කටයුතු සිදු කරන ඔහු ඡ්‍යොතිෂ ශාස්ත්‍රය වෙනුවෙන් කරන ලද සේවය උදෙසා ලබා ගත් සම්මාන සහතික බොහෝය. ඒ සියල්ල ඔහුට සතුටකි.

 

ඡායාරූප - රුක්මල් ගමගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.