ඡ්‍යොතිෂයෙන් ගුප්තශාස්ත්‍රයෙන් දැනුම බෙදන ඡ්‍යොතිෂවේදියා

මීපේ ගණිතගේ රංජිත් විද්‍යාරත්න
ජනවාරි 12, 2024

‘ඡ්‍යොතිෂය වූ කලී කිසිදු විද්‍යාඥයකුට බොරු කළ නොහැකි ගැඹුරු විද්‍යාවකි. මේ විෂයය කිසිදු ආගමකට අයත් නැති හේතුඵලවාදී දර්ශනයක් හැටියට ද හඳුන්වා දිය හැකිය. ප්‍රකට විද්‍යාඥයන්ගේ මත පවා යුගයෙන් යුගයට වෙනස්වන සුලුය. එහෙත් ඡ්‍යොතිෂයේ ගැඹුරු සිද්ධාන්ත එදා මෙන්ම අදත් නොවෙනස්ව පවතී. ‘ ඔහු ඡ්‍යොතිෂය පිළිබඳ තම මතය ගෙනහැර පාන්නේ එලෙසිනි. ඡ්‍යොතිෂය පිළිබඳව මෙන්ම ගුප්ත විද්‍යා ශාස්ත්‍රය පිළිබඳ මනා දැනුමක් ඔහු සතුය.

 

උපත හා අධ්‍යාපනය

කළුතර දිස්ත්‍රීක්කයේ ප්‍රකට ඡ්‍යොතිෂවේදියකු මෙන්ම ගුප්ත ශාස්ත්‍රඥයකු වූ මීපේ ගණිතගේ සරාලිස් ගුරුන්නාන්සේ සහ ජේ. ඇඩ්ලින් යුවළට දාව 1948 සැප්තැම්බර් මස 06 දින පින්වත් පුත් රුවනක් මෙලොව එළිය දුටුවේය. මේ පින්වත් ජන්මියා උපත ලබන විට නැගෙනහිර ක්ෂිතිජයේ උදාව පැවැතියේ කන්‍යා රාශියයි. සුබ ග්‍රහ පිහිටීම් මත මේ බිළිඳාට නම් තැබුණේ රංජිත් විද්‍යාරත්න ලෙසයි. ඔහු පසුකලෙක රටේම ජනප්‍රියත්වයට පත්වන්නේ මීපේ ගණිතගේ රංජිත් විද්‍යාරත්න ලෙසයි. කුඩා කල පටන්ම සඳහම් සෙවණේ උගැනුම ලබන්නට ඔහු වාසනාවන්ත විය. පල්ලියගොඩැල්ල විදුහලටත්, මොරටුව වේල්ස් කුමර විදුහලටත් කොළඹ ග්‍රීන්ලන්ඩ් විදුහලටත් ඔහු අධ්‍යපන කටයුතු සඳහා පියමැන්නේය. එසමයේ සිටම ලේඛනයට මෙන්ම ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට ද, දක්ෂතා දැක්වූ ඔහු අධ්‍යාපනයෙන් පසු පොලිස් සේවයට එක් වන්නට වාසනාවන්ත විය. ඒ කාල සීමාවේ ද ඡ්‍යොතිෂය මෙන්ම ලේඛනය ද අත්නොහැර එහි නිරත වූයේ එය පරම්පරාවෙන් උරුම වූ සුවිශේෂ ශාස්ත්‍රයක් වූ බැවිණි. ඔහු තම යටගිය අතීතය පිළිබඳ මෙලෙස පවසයි.

“මීපේ ගණිතගේ ජ්‍යොතිෂ පරම්පරාව අනෙකුත් ඡ්‍යොතිෂ පරම්පරා වගේම මේ රටේ කීර්තියට පත්ව තිබෙන පරම්පරාවක්. එදා රාජසිංහ රජුට නැකැත් සැපයූ බරණ ගණිතයාගෙන් පැවත එන පරපුරක්. මගේ තාත්තා තමයි මීපේ ගණිතගේ සරාලිස් ගුරුන්නාන්සේ. සීයා තමයි මීපේ ගණිතගේ සරදියෙල් ගුරුන්නාන්සේ. මුත්තා. බබල ගුරුන්නාන්සේ. ඒ නිසා මමත් අයත් වන්නේ මීපේ ගණිතගේ ඡ්‍යොතිෂ පරම්පරාවටයි. අපි අනුගමනය කරනු ලබන ඡ්‍යොතිෂ ශාස්ත්‍රය පැවැත එන්නේ ගණිත ක්‍රම මුලික කොට ගෙනයි. මගේ පියා කළුතර සිට මොරටුවේ පල්ලියගොඩැල්ල ප්‍රදේශයේ රාවතාවත්තට පදිංචියට ආවේ මම කුඩා කාලයේදීමයි. එතැන් සිට මොරටුව ප්‍රදේශයේ සිට තමයි අපේ ඡ්‍යොතිෂ ශාස්ත්‍ර කටයුතු සිදු වූයේ. අපි රාවතාවත්ත ප්‍රදේශයට පැමිණෙන විට මට අවුරුදු 05ක් පමණ ඇති. මට මතකයි රාවතාවත්ත ප්‍රදේශයේ පල්ලිය ගොඩැල්ලේ පෞරාණික පන්සලක් තිබුණා. මෙහි වැඩවාසය කළේ මේධංකර නායක හාමුදුරුවෝ. ඉන්පසුව රත්මලානේ සංඝරත්න හිමයන්. ඉන්පසුව යටිපහුවේ රතනසාර හිමියන් දැන් ඌරගහ නාගිත හිමි වැඩවසනවා.” රංජිත් විද්‍යරත්නයන්ට ඡ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳ ඇල්ම ඇති වන්නේ කුඩා කලදීය. ඒ පිළිබඳ ඔහු මෙලෙස තම මතකය අවදි කරයි.

 

ඡ්‍යොතිෂයට අත්පොත් තැබීම

‘‘මම ඡ්‍යොතිෂ ශාස්ත්‍රය උගැනුමට පටන් ගත්තේ වයස අවුරුදු පහළොවේදී පමණ සිටයි. ඒ මගේ පියාගේ අඩි පාරේ යමින්. මුලින්ම අපේ පවුලෙන් ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට අත්පොත් තබන්නේ මගේ සහෝදරිය මීපේ ගණිතගේ ධම්මිකා. ඇය විදුහල්පතිනියක්. ඉන්පසුව මගේ අයියා මීපේ ගණිතගේ චන්ද්‍රභාරතී. මේ වන විට මම. මා මගේ පියාගෙන් ඡ්‍යොතිෂය පිළිබඳ මූලික දැනුම ලබාගත්තා. ඉන්පසුව ඡ්‍යොතිෂ පොතපත කියවීමෙන් හා විෂය පිළිබඳ දන්නා අය ඇසුරු කිරීමෙන් ඒ පිළිබඳ දැනුම දියුණු කර ගත්තා. මේ විෂය පොතපත කියැවීමෙන් පමණක් ඉගෙන ගත හැකි විෂයක් නොවේ. ප්‍රායෝගික වශයෙන් යොදා ගැනීමෙන්මයි මේ විෂය පිළිබඳ දැනුම දියුණු කරගත හැකි වන්නේ. ඉතා ගැඹුරු විෂයයක් වුවත් ක්‍රමාණුකූලව හැදෑරීමෙන් ඉතාම පහසු විෂයක් බවට එය පත්කර ගත හැකියි. මම ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ප්‍රගුණ කරන්නට අවශ්‍ය වන සිංහල, සංස්කෘත, පාලි ඉගෙනුමට ගියේ පඤ්ඤාසාර නාහිමියන් ළඟටයි. උන්වහන්සේගෙන් එම දැනුම මට නොඅඩුව ලැබුණා. ඔහු ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට අවතීර්ණ වන අන්දම එලෙස පවසන්නේ සතුටිනි.

පවුලේ බාලයා වූ රංජිත් විද්‍යාරත්නයන් සහෝදර සහෝදරියන් සමඟ ගෙවී ගිය බාල කාලයේ සුන්දරත්වය මෙන්ම නිවෙසේ පැවැති ඡ්‍යොතිෂමය වටපිටාව පිළිබඳ මෙලෙස සිහිපත් කරයි. ‘මට අවුරුදු 15ක් පමණ වන විට මගේ පියා නැති වෙනවා. ඒ වෙනකොට අපි හැම දෙනාටම ඡ්‍යොතිෂය පිළිබඳ මූලික අවබෝධය තිබුණා. මගේ අක්කා මීපේ ගණිතගේ ධම්මිකා. ඡ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් සමාජයට වටිනා සේවයක් සිදු කළා. ඉන්පසුව මගේ අයියා මීපේ ගණිතගේ චන්ද්‍රභාරතී. ඔහුත් ප්‍රකට ඡ්‍යොතිෂවේදියෙක්. මේ වන විට මම අපේ පරපුර ඉදිරයට ගෙන යමින් ඡ්‍යොතිෂ කටයුතුවල නිරත වෙනවා. එය මට සැබෑම සතුටක්.‘

මීපේ ගණිතගේ පරම්පරාවේ සහෝදර සහෝදරියන් දෙදෙනෙක් එකවර ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ නියැලුණේ නැත. එය සම්ප්‍රදායකි. වරකට එක්කෙනා බැඟින් එය තම පරම්පරාව උදෙසා ප්‍රගුණ කරයි. එමඟින් සමාජයට සේවය කිරීම ඔවුන්ගේ අභිප්‍රායයි. ‘ඡ්‍යොතිෂය අපිට පාරම්පරිකව උරුම වූ දෙයක් නිසා අපි කුමන රැකියාවක නිරත වුවත් මීපේ ගණිතගේ පරම්පරාව වෙනුවෙන් අපි මේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ඉගෙන ගත යුතුයි. අපේ පරම්පාරාව වේලාපත්කඩ පරීක්ෂාව පමණක් නොවෙයි ගුප්ත ශාස්ත්‍රය ඔස්සේත් සමාජයට සේවය කළා. මල්වර නිමිති, බලි තොවිල් සිදුකළා. බරණ ගණිතයාගෙන් පැවත එන මේ පරම්පරාව අද වන විට පරම්පරා ගණනාවකට බෙදී ගිහින්. ඒ කොහොම වුණත් මේ ශාස්ත්‍රයේ වටිනාකම අපි ඉගෙන ගන්න ඕන. මගෙන් පසුව මේ ශාස්ත්‍රය මගේ පුතා ඉදිරියට ගෙන යාවි. ‘ රංජිත් විද්‍යාරත්නයන් පවසන්නේ ඉදිරියටත් තම පරම්පරාව ඡ්‍යොතිෂ කටයුතු ඔස්සේ සමාජයට සේවය කරනවා දැකීමේ නොනිත් ආශාවෙනි.

ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට මහඟු සේවයක් කළ එයට දැඩිසේ ඇල්ම දැක්වන්නෙකු ලෙස රංජිත් විද්‍යාරත්නයන් තම දැනුම සමාජයට බෙදා දෙන්නට කිසිවිටෙක පසුබට නොවෙන්නෙකි. ඔහු රචනා කරන ලද ඡ්‍යොතිෂ ලිපි ලේඛන බොහෝය. ඒ අතරින්ද නිතර දෙවේලේ සුබසෙත, ඉසිරවර වැනි පුවත්පත්වලට රචනා කරන ලද ඡ්‍යොතිෂ ලිපි රැසකි. එලෙස පළ වූ ලිපි කා අතරත් එකල සේම අදටත් ජනප්‍රියය. එලෙසම ඔහු මෙලෙස ඡ්‍යොතිෂ ශාස්ත්‍රය අළලා රචනා කරන ලිපි ඡ්‍යොතිෂ ශාස්ත්‍රය හදාරන්නන්ට ද අත්වැලක් වී ඇත.

 

ගුප්ත ශාස්ත්‍රය හා බලිතොවිල් කලාව

මෙලෙස ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ දශක ගණනක සිට යැළෙමින් සිටින රංජිත් විද්‍යාරත්න තම වෘත්තීය ජීවිතයෙන් විශ්‍රාම ලැබුමෙන් පසුවද පුවත්පත්වලට ඡ්‍යොතිෂයේ විවිධ ක්‍ෂේත්‍ර අළලා ලිපි සැපයීමටත්, ජ්‍යෙතිෂ කටයුතු කෙරෙහි තව තවත් නැඹුරු වී තම දැනුම ඉදිරි පරපුරට බෙදා දීමටත්, සරල බසින් ඡ්‍යොතිෂ ලිපි ලිවීමටත් කටයුතු කරමින් සිටියි. එමෙන්ම තමා දන්නා ගුප්ත ශාස්ත්‍රීය කලාව ඔස්සේ රටේ නිවැරැදි ගුප්ත ශාස්ත්‍රයක් ගොඩනැඟිම කෙරෙහි ද ඔහුගේ අවධානය යොමු කර ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටියි. එලෙස සමාජය වෙලාගෙන පැවැති ගැටලුවලට සේම මිනිස් සිත් සුවපත් කිරීමට ඔහු තමා දන්නා ඡ්‍යොතිෂ ශාස්ත්‍රය, ගුප්ත ශාස්ත්‍රය, බලිතොවිල් කලාව අවියක් කර ගෙන ඇති සෙයකි.

මිනිස් සිත් සතන් සුවපත් කිරීමට ඔහුගේ සෙත් ශාන්ති ඔස්සේ අගනා මෙහෙවරක් සමාජයට ඉටුකරන්නේය. එලෙස අනුනට මේ ශාස්ත්‍රයෙන් පිහිට ලබාදෙන ඔහු මෙය මුදලට අලෙවි විය යුතු ශාස්ත්‍රයක් නොවන බව තරයේ අවධාරණය කරන්නේය.

මේ ශාස්ත්‍රය ගැන මා ගොඩක් සතුටු වෙනවා. මේ ශාස්ත්‍රය අද වන විට පරිගණකයට සීමා වෙලා. නමුත් එය එසේ විය යුතු නැහැ. මෙය මොළයෙන් කළ යුතු ශාස්ත්‍රයක්. අනෙක මේ ශාස්ත්‍රයට මුදලක් ගන්න නෙමෙයි අපට නියම කරලා තිබෙන්නේ පඬුරක් ගන්න කියලයි. බුලත් අතක් දීලා තමාගේ ගැටලුවට පිහිටක් වෙන්නට කියා අප කරා පැමිණෙන මනුෂ්‍යයාට අපි උපරිමයෙන් අපේ ශාස්ත්‍රයෙන් පිහිට විය යුතුයි. එය තමයි මගේ පරමාර්ථය.

දරුවන් තිදෙනකුගේ දයාබර පියකු වන රංජිත් විද්‍යාරත්න මහතා මොරටුව පුරවරයේ පදිංචිව සිටිමින් ඡ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් සිදු කරමින් සිටින සේවය අපමණය. නිසංසල පරිසරයකට වී පොත් පත් අතර ගැවසීමට බොහෝ සේ ඇලුම් කරන ඔහු ඡ්‍යොතිෂ ශාස්ත්‍රය වෙනුවෙන් කරන ලද සේවය උදෙසා ලබා ගත් ගෞරව සමිමාන බොහෝය. ඒ අතර සුබසෙත පුවත්පතින් පිදුම් දුන් ප්‍රභාෂ්වර සම්මානයට ඔහු බෙහෙවින් ඇලුම් කරන්නේය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.