බද්දේගම ඡ්‍යොතිෂ පරපුර බබළවන ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයා

තිස්ස මහානාම
ජනවාරි 5, 2024

 

පරම්පරාවෙන් පරම්පරාවට ඡ්‍යොතිෂ ශාස්ත්‍රය උරුමවන අතළොස්සක් වාසනාවන්තයන් අතර ඡ්‍යොතිෂවේදී තිස්ස මහානාම යන ප්‍රවීණ ඡ්‍යොතිෂවේදියාගේ නාමයද ඉදිරියෙන්ම කියැවෙන්නෙකි. හෙළ රජ දවස පටන් පැවත එන බද්දේගම ඡ්‍යොතිෂ පරපුරේ ප්‍රමුඛතම ඡ්‍යොතිෂවේදියකු ලෙස වර්තමානයේ කටයුතු කරන තිස්ස මහානාමයන් මේ වන විට මොරටුව පුරවරයෙන් මෙරට ඡ්‍යොතිෂ ක්ෂේත්‍රයට දායාද වූ ප්‍රවීණ පාරම්පරික ඡ්‍යොතිෂවේදියෙකි.

එකල සීතාවක රාජසිංහ රජුට ඡ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් අනුශාසනා කළ ඡ්‍යොතිෂවේදීන් අතර බද්දේගම ඡ්‍යොතිෂ පරපුර නියෝජනය කළ ඡ්‍යොතිෂවේදීන්ද සිටි බවට පැරැණි පොත පත අදට ද සාක්ෂි සපයයි. මේ පරපුර නියෝජනය කරන ඡ්‍යොතිෂවේදී තිස්ස මහානාමයන් වසර පනහකට වැඩි කාලයක සිට තම වටිනා ඡ්‍යොතිෂ දැනුමෙන් මෙරට සමාජයට සිදු කරමින් පවතින සේවය සුළුපටු නොවේ. මේ පෙළගැසෙන්නේ ප්‍රකට ඡ්‍යොතිෂවේදී තිස්ස මහානාමයන් ඡ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් මෙරට සමාජයට සිදුකළ හා සිදුකරමින් පවතින සේවය පිළිබඳවය.

උපත

මොරටුවේ කීර්තිමත් ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයකු වූ සැමී බද්දේගම සහ එම මහත්මියට දාව 1952 වසරේ නොවැම්බර් මස 27 වැනි දා පින්වත් පුත් කුමරකු මෙලොව එළිය දුටුවේ ය. මෙම පින්වත් කුමරා උපදින මොහොතේ නැඟෙනහිර ක්ෂිතිජයේ උදාව පැවතියේ තුලා රාශියයි. උපන් මොහොත අනුව ග්‍රහබල පරීක්ෂා කළ සැමී බද්දේගම මහතාට පෙනී ගියේ මේ තම කුඩා පුතු ඡ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් මෙන්ම ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් ද ඉහළ නමක් සමාජයේ රඳවමින් කීර්තියට පත්වන බවයි. කේන්දරයේ සියලු ග්‍රහබල අනුව තම කුඩා පුතු එසේ මෙසේ පුද්ගලයකු නොවන බව කල්තියාම දැනගත් සැමී බද්දේගමයන් කුළුදුල් පුතුට නම් තබන ලද්දේ සුබ ගණ පිහිටුවමිනි. ඒ අනුව මේ පුත් රුවනට තිස්ස මහානාම යන නාමය තබන්නට ඔහු කටයුතු කළේ ය. එපමණක් නොව කුඩා කල සිටම හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නට ද කටයුතු කළේ ය. නව යොවුන් වියට පත්වන විට තමා දැන සිටි ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ද තම වැඩිමහල් පුතුට ඉගැන්වීමට සැමී බද්දේගම මහතා කටයුතු කළේ පුතුගේ කේන්දරයේ ප්‍රබලත්වය මනාව හඳුනාගෙන සිටි බැවිනි.

අධ්‍යාපනය

තිස්ස මහානාම මහතා ඔහුගේ පාසල් අධ්‍යයනය පිළිබඳව මතකය අවදි කරන්නේ මෙලෙසයි. “ මම මූලික අධ්‍යාපනය ලබන්නේ මගේ නිවස අසල පැවැති බෞද්ධ පාසලක් වූ පල්ලිය ගොඩැල්ල පාසලෙන්. පසුව ද්විතීයික අධ්‍යයනය සඳහා මොරටුවේ වේල්ස් කුමර විදුහලට ඇතුළත් වෙනවා. එහිදී සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙනවා. උසස් පෙළ කොළඹ ඇලෙක්සැන්ඩ්‍රා විද්‍යාලයෙන් හදාරනවා. මේ සමයේ තමයි මම ඡ්‍යොතිෂවේදයට අත්පොත් තබන්නේ. ඒ මගේ පියාගේ මඟ පෙන්වීම මතයි. ඡ්‍යොතිෂය උගැන්මට පටන් ගත්තේ වයස අවුරුදු 15 දී වගෙයි.”

ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ප්‍රගුණ කිරීම

ඔහු ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ප්‍රගුණ කිරීමට අත්පොත් තැබූ අන්දම අද ද සිහිපත් කරන්නේ මහත් වූ භක්තියකිනි. “මට මතකයි තාත්තා ඡ්‍යොතිෂ වැඩකටයුතුවල නියැළෙන විට මම ඔහුගේ මේසය අද්දරට වී ඒ වැඩ කටයුතු දෙස බලා සිටිය යුතුයි. ඔහු ගයන ශ්ලෝක මාද ගැයිය යුතුයි. ක්‍රම ක්‍රමයෙන් ඡ්‍යොතිෂය පොත පත පාඩම් කරන්නට මට සිදුවුණා. මගේ පියා කේන්දරයක් හදන විට ඒ දෙස හොඳින් බලා ඉදිමින් මා එය අධ්‍යයනය කළ යුතු වුණා. ඒත් පොඩ්ඩක් වැරදුණු විට තාත්තාගෙන් බැනුම් අහන්න වගේම ගුටියක් දෙකක් කන්නත් ඒ කාලෙ මට සිදුවුණා. මේ ආකාරයට තාත්තාගෙන් ඉගෙන ගන්න විට තාත්තා සංස්කෘත හා පාලි සිංහල භාෂාව පිළිබඳ දැනුම ලබා ගන්න පූජ්‍ය පණ්ඩිත වරකාගොඩ සීලරතන හිමියන් වෙත මා යොමු කළා. උන්වහන්සේගෙන් බොහෝ දේ ඉගෙනුමට මට අවස්ථාව ලැබුණා. විශේෂයෙන් සෙත්කවි කලාව පිළිබඳ මා මගේ පියාගෙන් ඉගෙන ගත්ත ද සීලරතන හිමියන්ගේ මග පෙන්වීම අනුව තව තවත් එය වැඩිදියුණුූ කර ගන්නට මට හැකිවුණා. සෙත් කවි සෑදීම රටේ අද බහුල ව සිදුවෙනවා. ආවාට ගියාට සෙත් කවි හැම දෙනාටම හදන්න පුළුවන්කමක් නැහැ. ඒ සඳහා හොඳ දැනුමක් අවශ්‍යයි. ගණ පිහිටුවමින් මාත්‍රා හතරකින් සෙත් කවි ලියන්නට මට සීලරතන හිමියන් මඟ පෙන්වූවා.

එතැන් පටන් මම ඡ්‍යොතිෂ ශාස්ත්‍රයද තවත් ගුරුවරු කිහිප දෙනෙක් යටතේ ප්‍රගුණ කළා. විශේෂයෙන් මගේ බාප්පාවරුන් වූ ගාල්ලේ එම්.ජී. සාර්ලිස්, සේදිරිස් විද්‍යාරත්න යන ඥාතීන් යටතේ ඡ්‍යොතිෂය හදාරන්නනට මට අවස්ථාව හිමි වුණා. අද වන විට වසර පනහකට අධික කාලයක් පුරා මම ඡ්‍යොතිෂ ශාස්ත්‍රයෙන්, සෙත් කවි කලාවෙන් සමාජයට සේවය කරනවා. තිස්ස මහානාම මහතා පවසන්නේ සැබෑම සතුටකිනි.

මොරටුවේ ප්‍රකට ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයකු වූ එච්.ජී. විද්‍යාරත්න මහතා තිස්ස මහානාම මහතාගේ මුත්තණුවන් කෙනකු වූ අතර ඔහු විසින් ප්‍රකාශයට පත් කරන ලද විද්‍යාරත්න පංචාංග ලිත එවකට ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥයින් අතර මහත් ප්‍රසිද්ධියට පත්විය. ශත වර්ෂ එක්දහස් අටසිය හතළිහ වසරේ දී ප්‍රකාශයට පත් කොට ඇති මෙම ලිත අද ද තිස්ස මහහානාමයන් තම සුරතට ගන්නේ මහත් භක්තියෙන් යුතුවය.

 

ඡ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් කළ සේවය

අද ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ බොහෝ දුරක් එන්නට මට හැකි වී තිබෙනවා. ඇත්තටම මේ ආගමන වෙහෙසකර ගමනක් නොවුණත් මේ උතුම් ශාස්ත්‍රය පිළිබඳ හොඳ අවබෝධයෙන් වගේම උසස් අත් දැකීම් ලබමින් ආ ගමනක්. එහිදී රටට සමාජයට මේ ශාස්ත්‍රයෙන් කරන්නට ලැබුණු සේවය වගේම තවමත් කරමින් සිටින සේවය ගැන මට බොහෝ සේ සතුටු වෙන්නට පුළුවන්. මට සහෝදරයින් දෙදෙනෙක් සිටිනවා. අද ඒ අතුරින් එක් සොහොයුරෙක් ජීවතුන් අතර නැහැ. ඒ දෙදෙනා ම ඡ්‍යොතිෂ ශාස්ත්‍රය හදාරන්නට යොමු වුණේ නැහැ. තාත්තා, මාව තෝරාගෙන ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ඉගැන්වීමට හේතු වූ කරුණු තියෙන්නට ඇතැයි මම අදත් විශ්වාස කරන්නේ මගේ කේන්දරෙත් ප්‍රබලත්වය මම ම අද අත්දකින නිසා. මට තවමත් අමතක නොවන එක්තරා සිදුවීමක් තිබෙනවා.

මොරටුව මම උපන් නිවාසයෙහි ලී බඩු ප්‍රදර්ශනාගාරයක් සකසන්නට තාත්තා කටයුතු කළා. ඒ සඳහා මුල්ගල තබන්නට කටයුතු කළේ මගේ සුරතින්. මම පසුකලෙක මේ ගැන මවගෙන් විමසුවා. ඇයි මල්ලී ඉද්දී මට මුල්ගල තියන්න යැයි පැවසුවේ කියා. අම්මා පැවැසුවේ තාත්තාගේ අදහසක් මත මුල් ගල තියන්නට මා තෝරාගත් බවයි. මට අදත් හිතෙන්නේ තාත්තා මගේ කේන්දරයේ ග්‍රහ පිහිටීම් මත එය සිදු කරන්නට ඇති බවයි. තිස්ස මහානාමයන් අද වන විට මෙරට ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයන් හා රාජ්‍ය නායිකාවන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ ඡ්‍යොතිෂවේදියා ලෙස කටයුතු කරයි. එලෙසම ඔහු වෙතට විත් තම කේන්දරය පරීක්ෂා කර ගන්නට දෙවරක් ඔවුන් නොසිතන්නේ හරියට නිවැරැදි පලාපලයත්, සෙත්කවි රචනයක් තිස්ස මහානාමයන් වෙතින් සිදුවන බැවිනි.

මාතර කපුගම ඡ්‍යොතිෂවේදී පරපුරකින් පැවැත එන ඩී.ඩී.සී. මංගලිකා මෙනවිය සමඟ විවාහ වූ තිස්ස මහානාම මහතා ආදරණීය පුතුන් දෙදෙනෙකුගේ පියෙකි. මේ වන විට වැඩිමහල් පුතු විදේශගතව සිටින අතර බාල පුතු කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරයි. ඔවුන් ද ඡ්‍යොතිෂය ප්‍රගුණ කර ඇත.

“සාම්ප්‍රදායික ඡ්‍යොතිෂ ශාස්ත්‍රය අප හැදෑරුවේ මෙරට වටිනා ඡ්‍යොතිෂ ග්‍රන්ථ ඇසුරින් ඒවාහි ශ්ලෝක අපිට කටපාඩම්. අද වන විට ඡ්‍යොතිෂ ශාස්ත්‍රය කැප වී ප්‍රගුණ කරන්නන් අල්ප පිරිසක් ඉන්නේ. ලංකාවේ මේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ආයුර්වේදය හා එකට බැඳුණු දෙයක්. ඇත්තෙන්ම කිව්වොත් ඡ්‍යොතිෂ ශාස්ත්‍රය මම දකින්නේ උතුම් සමාජ සේවයක් ලෙසයි. මෙය වෘත්තියක් නෙමෙයි. සේවයක්. මම මේ ක්ෂේත්‍රයට එන ආධුනිකයන්ට පවසන්නේ, මේ ශාස්ත්‍රය හොඳින් ඉගෙන ගන්න. මේ තුළ මනුෂ්‍යත්වය ඉහ වහා ගිහින් තිබෙනවා. එනිසා මනුෂ්‍යත්වයට මුල්තැන දී වැඩ කරන්න කියන එක මම ආධුනිකයන්ට මතක් කරනවා. එවිට මනුෂ්‍යත්වය හා බැඳුණු මේ උතුම් ශාස්ත්‍රයෙන් ඔබට වටිනා මෙහෙවරක් සමාජයට ඉටුකරන්න ලැබෙයි කියන පණිවුඩය මම ඔවුනට ලබා දෙනවා. තිස්ස මහානාම මහතා පවසන්නේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳ උතුරා ගිය ගෞරවයකිනි.

ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ඔස්සේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රවේදී සම්මානයෙන් ද ඡ්‍යොතිර්වේදී ප්‍රභූ සම්මානයෙන්ද සුබසෙත ප්‍රභාශ්වර සම්මානය ඇතුළු තවත් සම්මාන රැසකින් පිදුම් ලද මේ ප්‍රවීණයා අද ගත කරන්නේ නිස්කලංක සරල දිවි පෙවතකි. ලී බඩු ව්‍යාපාරයත්, ඡ්‍යොතිෂ ශාස්ත්‍රයත් සමබරව පවත්වාගෙන යමින් මනුෂ්‍යත්වයට මුල් තැන දෙමින් ඔහු සමාජයට සිදුකරන සේවය අපමණය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.